ශ්‍රී ලංකාව

මෙරට මුහුදු කලාපයේ සිදුවූ අනතුරකින් ජීවිතක්‍ෂයට පත්වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙකුගේ (04) මෘත දේහයන් ඉන්දියානු වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව භාරයට

2021 ජනවාරි 18 දින ඩෙල්ෆ්ට් දූපතට වයඹ දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු කලාපයේ සිදුවූ අනතුරකින් ගිලීගිය නීතිවිරෝධීව ධීවර කටයුතුවල නිරතවූ ඉන්දීය ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් සිව්දෙනෙකුගේ (04) මෘත දේහයන් ඉන්දියානු වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව වෙත භාරදීම 2021 ජනවාරි 23 දින ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර වූ අන්තර් ජාතික මුහුදු සීමාවේදී සිදු වී ඇත.

අන්තර් ජාතික මුහුදු සීමාවන්ට පටහැනිව යමින් මෙරට මුහුදු කලාපයට ඇතුළු වී නීතිවිරෝධි ලෙස ධීවර කටයුතු වල නිරතව සිටියදී සිදුවූ අනතුරකින් අතුරුදන්වූ ධීවරයින් සෙවීමේ හා මුදවා ගැනීමේ මෙහෙයුම් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කරන ලද අතර, එහිදී අනතුර හේතුවෙන් ජීවිතක්‍ෂයට පත්වු ධීවරයින් 04 දෙනෙකුගේ මෘත දේහයන් සොයා ගැනීමට නාවික හමුදාවට හැකිවී ඇත.

මෙම මෘත දේහ ඉන්දියානු ජාතිකයින් තිදෙනෙකුගේ සහ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ඉන්දියාවේ වාසය කරන පුද්ගලයෙකුගේ බව මරණ පරීක්‍ෂණයේදී අන‌ාවරණය වී ඇති අතර එම මෘත දේහ පිළිබඳව මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණය මගින් නීතිමය කටයුතු සිදු කිරීමෙන් අනතුරුව යාපනයේ පිහිටි ඉන්දියානු කොන්සල් ජෙනරල් කාර්යාලය වෙත නිල වශයෙන් භාරදී ඇත.

පසුව එම කාර්යාලයේ ඉල්ලීම මත ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් යාත්‍රාවක් මගින් මෘත දේහයන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර, අන්තර් ජාතික මුහුදු සීමාවේදී ඉන්දියානු වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අතුල්යා (ICGS ATULYA) නෞකාව වෙත භාරදීම සිදු කර ඇත.

පුවත සහ ඡායාරූප මුලාශ්‍රය – navy.lk

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button