ශ්‍රී ලංකාව

“ඔබ ඉල්ලා සිටි නායකයා මමයි. ඔබ මට භාරදුන් වගකීම මම නොපිරිහෙළා ඉටු කරනවා”

- ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ

අද (04) දින කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේ පැවති 73 වැනි ජාතික නිදහස් දින සැමරුම් උළෙලේ දී ජාතිය අැමතූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මෙරට සුවහසක් ජනතාව තමා වෙත ලබාදුන් වගකීම නොපිරිහෙළා ඉටුකරන බවත්, ඉතිහාසය පුරා ශක්තිමත් ශිෂ්ටාචාර ගොඩනැගුවේ සහ රටවල් සංවර්ධනය කළේ ඉලක්ක හඹා ගිය මිනිසුන් බවත්, වර්තමානයට අවශ්‍ය වන්නෙත් එවැනි චින්තනයක් බවත් අවධාරණය කළේය.

තමා සිංහල බෞද්ධ නායකයකු බව කියන්නට කිසිවිටක නොපැකිලෙන බවත්, තමා රට පාලනය කරන්නේ බෞද්ධ ඉගැන්වීම් අනුව බවත්, බෞද්ධ දර්ශනය සෑම ආගමිකයෙකුටම සහ ජාතිකයෙකුටම පවතින නීති රාමුව තුළ සමානව නිදහස භුක්ති විදීමේ අයිතිය සහතික කරන බවත් එතුමා කියා සිටියේය.

පාස්කු ප්‍රහාරය විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිෂමේ සහ පසුගිය පාර්ලිමේන්තුව පත් කළ ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ නිර්දේශ සැලකිල්ලට ගෙන අපරාධකරුවන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවත්, අපරාධය සැලසුම් කළ, අනුබල දුන් කිසිවෙකුට නීතියෙන් ගැලවී යන්නට ඉඩ නොදෙන බව ජනාධිපතිතුමා වැඩිදුරටත් අවධාරණය කළේය.

එමෙන්ම රටේ ආර්ථික මර්මස්ථාන විදේශිකයන්ට විකුණන්නේ නැත යන ප්‍රතිපත්තියෙහි කිසිදු වෙනසක් නැති බවත්, දේශීය හා විදේශීය ව්‍යාපාරවලට බලපාන යල් පැන ගිය නීති හා රෙගුලාසි සංශෝධනයට හා යාවත්කාලීන කිරීමට පියවර ගන්නා බවත් සඳහන් කළේය.

මිට අමතරව නිවැරදි තීන්දු ගෙන රට වෙනුවෙන් වැඩ කරන රාජ්‍ය සේවකයන් ආරක්ෂා කිරීමට අවශ්‍ය නීති සැකසෙමින් ඇති බව සඳහන් කළ එතුමා ඒ තුලින් සංවර්ධන ඉලක්ක සපුරාගැනීම වෙනුවෙන් රාජ්‍ය සේවය බලගැන්වීමට ක්‍රියාකරන බවද සඳහන් කළේය.

දූෂණය සහ නාස්තිය රටක සංවර්ධනයට දැඩි බාධාවක් බැවින් ඊට වැරදිකරුවන් වන කිසිවෙකුට සමාවක් නොලැබෙන බවත්, එබැවින් දුෂණය සහ නාස්තිය පිටුදැකීම සඳහා රට පුරා මතයක් නිර්මාණය කිරීමට එකතුවන්නැයි එතුමා සියලුදෙනාට ආරාධනා කළේය.

රට වෙනුවෙන් තමාගෙන් සේවයක් බලාපොරොත්තු වූ සියලුදෙනා එසේ කළේ පොදු අපේක්ෂා ඉටු කර ගැනීම වෙනුවෙන් බවත් ඒ සඳහා තමා සෑම විමට කැපවන අතර, පටු චේතනාවෙන් සහය දුන් අය සතුටු කිරීමට රටට අහිතකර තීන්දු නොගන්නා බව ද අවධාරණය කළේය.

කොවිඩ් මර්දන සෞඛ්‍ය නිර්දේශයන්ට යටත්ව අභිමානය ප්‍රදර්ශනය වන අයුරින් සංවිධාන කර තිබූ 73 වන ජාතික නිදහස් දින උළෙල සඳහා යුධ, නාවික, ගුවන්, පොලිස්, සිවිල් ආරක්ෂක සහ ජාතික ශිෂ්‍ය භට බලකාය ආචාර පෙළපාලියට එක් වූහ. ශ්‍රී ලංකාවේ සියලු ජන කොටස් නියෝජනය කළ දැකුම්කළු සංස්කෘතික සංදර්ශනයකින් නිදහස් සමරු උළෙල වර්ණවත් විය. මනාව පුහුණු කරන ලද අලංකාර ඇදුමින් සැරසුන යෞවන යෞවනියෝ විශාල පිරිසක් නර්තනයෙන් සහ වාදනයෙන් ඊට දායක වූහ.

මහා සංඝරත්නය සහ සෙසු ආගමික පූජකවරු, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා, කථානායක මහින්ද යාපා අබේවර්ධන මැතිතුමා, කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, තානාපතිවරු හා මහ කොමසාරිස්වරු, ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු ආරාක්ෂක අංශ ප්‍රධානීහූ, රාජ්‍ය නිලධාරීහු සහ රණවිරුවෝ මේ අවස්ථාවට එක්ව සිටියහ.


පුවත් මූලාශය – රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button