ශ්‍රී ලංකාව

මදුරු බඳුනෙන් ඩෙංගු පාලනය කිරීම යලිත් ආරම්භ කෙරේ

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මාස 04 ක පමණ කාලයක් තාවකාලිකව නවතා තිබූ ලෝක මදුරු වැඩසටහනේ ක්ෂේත්‍ර කටයුතු මෙම මාසය තුල නැවත ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගනිමින් සිටියි.

වොල්බැකියා බැක්ටීරියා අන්තර්ගත ඊඩ්ස් ඊඩිප්ටයි මදුරුවන් පොදු ස්ථාන ඉලක්ක කරගනිමින් සාර්ථකව මුදාහැරීම තුළින් ඩෙංගු, චිකන්ගුන්යා, සිකා සහ කහ උණ වයිරස්වලට සම්ප්‍රේෂණය වීමට ඇති හැකියාව අවම කිරීම මෙම වැඩසටහනේ අරමුණයි.

මෙහි නියමු ව්‍යාපෘතිය, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය සමඟ එක්ව ලෝක මදුරු වැඩසටහන මගින් ඩෙංගු රෝගය පිටු දැකීමේ අරමුණින් කොළඹ මහනගර සභා දිස්ත්‍රික් අංක 1 (CMC – D1) සහ නුගේගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ වල ආරම්භ කිරීමට නියමිත අතර පසුව දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතයි.

මෙම වැඩසටහන යටතේ ඉහත ප්‍රදේශවල “මදුරු බඳුන” (Mozzie Box) නැමැති බහාලුමක් උපයෝගී කර ගනිමින් වොල්බැකීයා බැක්ටීරියාව අන්තර්ගත මදුරුවන් මුදා හරිනු ඇත. මෙම මදුරු බඳුන ජලයෙන් පිරී පවතින අතර මදුරු බිත්තර සහ ආහාර අඩංගු කැප්සියුලයකින් සමන්විතයි. මදුරුවන් බෝ කිරීම සඳහා වීදි, උද්‍යාන සහ සෙවණ සහිත ප්‍රදේශවල මෙම මදුරු බඳුන එල්ලා තැබේ.

මෙම මදුරු බඳුන මගින් සති දෙකක පමණ කාලයකදී මේරූ බිත්තර තුළින් මදුරුවන් සෑදී එම මදුරුවන් මදුරු බඳුනෙන් පිටතට පියාසර කරනු ඇත. මෙසේ මුදා හරින මදුරුවන් එම ප්‍රදේශවල සිටින මදුරුවන් සමඟ එක්ව වොල්බැකියා බැක්ටීරියා අඩංගු නව මදුරුවන් පරම්පරාවක් බිහි කරනු ඇත. මෙම මදුරුවන් ආරක්ෂිත වන අතර ප්‍රජාව ඩෙංගු රෝගයෙන් ආරක්ෂා කිරීමටද උපකාරී වේ. කොරෝනා වසංගත තත්ත්වය වැළැක්වීමේ මාර්ගෝපදේශයන්ට මෙම වැඩපිළිවෙල ආරම්භ කිරීමට නියමිතයි.


පුවත් මූලාශය – රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button