විශේෂාංග

සත්‍යෝදය යනු ප්‍රේමයයි….!

මේ සටහන මේ පොතට වඩා යමක් ගැන....

ලෝකයේ ආගමික දර්ශන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. පළමු එක බුද්ධිවාදී ආගමික දර්ශන සහ ප්‍රේමවාදී ආගමික දර්ශන. ප්‍රසිද්ධම බුද්ධිවාදී ආගමික දර්ශන විදියට බෞද්ධ දර්ශනය සහ ජෛන දර්ශනය හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ක්‍රිස්තු දර්ශනය සහ ඉස්ලාමීය දර්ශනය ප්‍රේමවාදී ආගමික දර්ශන කියන කොටසට අයත් වෙනවා. හින්දු ආගමික දර්ශනය තියෙන්නේ බුද්ධිවාදය සහ ප්‍රේමවාදය අතර මැද.

මේ කියන්නේ බැලූ බැල්මටම පෙනෙන ආගමික ස්වභාවයන් ගැන.

වර්තමානයේ ඉස්ලාම් ආගම ඉතා රළු සහ අමානුෂීය එකක් වුනත් එහි සත්‍ය පදනම ප්‍රේමවාදී සංකල්පයක්. විශේෂයෙන්ම ක්‍රිස්තු දර්ශනයේ අතිශය ගැඹුරු තැන දෙවියන් වහන්සේ යනු ස්වභාවධර්මයම වන නිසා දේවවාදී ආගමක් විදියට මතුපිටින් පෙනුනත්, ඇත්තටම ක්‍රිස්තු දර්ශනය කියන්නේ දේවවාදී ආගමක් නෙමෙයි….

මම මේ කතාව ටිකක් විස්තර කලේ සත්‍යෝදය ගැන වෙනස් විදියක කියවීමක් ඔබට කියන්න.

සත්‍යෝදය කියවන හැම වතාවකම මට මතක් වෙන්නේ PK හින්දි චිත්‍රපටය. වෙනත් ලෝකයකින් ඇවිත්, මේ පෘථිවියේ අතරමං වෙන පිටසක්වල ජීවී තරුණයා, මේ ලෝකෙන් ගැලවෙන විදිය විවිධ ආගම්වලින් හොයාගන්න ගිහින් තව තවත් මේ ලෝකයේ අතරමං වෙනවා, මුලා වෙනවා…. මේ ලෝකයේ තියෙන අමනුස්සකම, රැවටීම, අතරේ ආගමික සංස්ථාව විසින් තව තවත් මිනිසුන්ව හෙම්බත් කරන අතරේ තමන්ගේ ලෝකයට යන්න පිටසක්වල ජීවී තරුණයා කරන අරගලය තමයි චිත්‍රපටයේ පෙන්වන්නේ. ඒ අරගලයට ලෝකයේ පවතින ප්‍රධාන ආගම් කිහිපයක ඇදහිලි පාවිච්චි කරලා තියෙනවා හරි අපූරුවට. ඒවා බොහෝ විට විවේචනය කරන්න තමයි එහෙම පාවිච්චි කරලා තියෙන්නෙම. හුඟක් අය කියන දෙයක් තමයි ඒ චිත්‍රපටයේ බුද්ධාගම විවේචනය කරලා නැහැ ඒ නිසා බුද්ධාගම තමා හොඳම එක කියලා. හැබැයි ඇදහිලි කියන තැන ඉඳන් ආගමික සංකල්ප අමතක කරලා චිත්‍රපටය බැලුවොත් බෞද්ධ, කතෝලික, හින්දු, ඉස්ලාම් හෝ වෙනත්…. කියලා වෙනසක් නැතුව බොහෝ දේවල් විවේචනය වෙනවා. නමුත් චිත්‍රපටය අවසානයට එද්දී ඒ චිත්‍රපටයේ කතා කරන්නේ ප්‍රේමය ගැන. ආගමික සංස්ථාව විසින් විනාශ කරපු මනුස්සකම ගැන.

බුද්ධ දර්ශනය කියන්නේ ‘මම’ සහ ‘මගේ විමුක්තිය උදෙසා මා අතහැරීම’ ගැන කියන ආගමික දර්ශනයක් කියලා බොහෝ අය කිව්වට ඇත්තටම බුද්ධ දර්ශනය කියන්නේ පරාර්ථකාමීබව පදනම් වුනු ජීවන ක්‍රමයක්. ඒ වගේමයි ජෛන දර්ශනයත්, ක්‍රිස්තු දර්ශනය සහ ඉස්ලාමීය දර්ශනවල කියන්නෙත් ‘අනෙකා වෙනුවෙන් තමාව අතහැරීම’ ගැන…. කොහොම හරි මේ හැම දර්ශනයකින්ම අවසානයේ කියන්නේ අතහැරීම ගැන….

මම මේ විදියට ප්‍රධාන ආගම් ටික ගැන බුද්ධිවාදී සහ ප්‍රේමවාදී සංකල්පයෙන් විස්තර කරන්න හේතුව මේ සටහනේ අන්තිමට පැහැදිලි කරන්න බලාගෙන, දැන් මම සත්‍යෝදය පොත ගැන මගේ අදහස ඔබට කියන්නම්….

සත්‍යෝදය යනු වල්පොල රාහුල හිමියන් විසින් රචිත “බෞද්ධයන්ට සිතන්නට උගන්වන ලිපි පෙළකි” ලෙස පිටකවරයේම සඳහන් කළ, ප්‍රමාණයෙන් ඉතා කුඩා පොතක්.

සියලු ආගමික ශාස්තෘවරයන්ගෙන් පසුව ඔවුන් වදාළ ජීවන දර්ශනය විකාර රූපී ආගමක් බවට පත්කරගෙන ඉන් පසු පවත්වාගෙන ආ ආගමික සංස්ථාවල බොහෝ දෙනා සේවය කළේ දේශපාලකයන්ටම ය. එමෙන්ම වටිනා හරයන් විනාශ කර විවිධ ඇදහිලි නිසා දැන් නාඩගමක් වී පවතින ‘වර්තමාන බුද්ධාගම’ පිළිබඳව මීට අවුරුදු ගණනාවකට පෙර වල්පොල රාහුල හිමියන් විසින් රචිත මෙම පොත මඟින් එකී ආගමේ එකී විකාර රූපී නාඩගම් පිළිබඳව බලවත් ලෙස විවේචනයට ලක් කරනවා.

දර්ශනයක් ආගමක් වී ආගම විකාර නාඩගමක් වී, එම විකාර නාඩගම සංස්කෘතියක් බවට පත්වී පරම්පරාවෙන් පරම්පරාවට උරුම වී ඇති නිසා, විවිධ ආශ්‍රම, අසපු, පන්සල්, ආරාම, ආරණ්‍ය සහ විවිධ ආයතන පසුපස්සේ දුවන, ‘වර්තමාන බුද්ධාගම’ අදහන්නන්ට මෙම පොතෙහි අඩංගු සැබෑ සත්‍යය තේරුම් ගැනීමට තියා මෙම පොතේ පිටු කිහිපයක් කියවීම පවා ඇඟේ මාළු නටන්නා වැනි හැඟීමක් ඇතිවෙන සුළු බව අරුමයක් නෙමෙයි. මොකද, මේ පොත හරහා වල්පොල රාහුල හාමුදුරුවෝ විවිධ ඇදහිලි, ඇදහිලි ක්‍රම, සංකල්ප විවේචනයට ලක් කරන නිසා ඇදහිල්ලෙන් තොර ජීවන දර්ශනයක් ගැන නොසිතන බෞද්ධයන්ට මේ පොත පෙනෙන්නේ තමන්ගේ නිර්මලාගම විනාශ කරන්නට ලියැවුණු වෛරක්කාරී පොතක් විදියට.

නමුත් මට අනුව නම් සත්‍යෝදය කියන්නේ අතිශය ප්‍රේමණීය විදියට ලියපු පොතක්….

මේ පොත ලියවිලා තියෙන්නේ පොත කියවන්නා විසින් පොතේ කාතෘවරයා ප්‍රශ්න කරන ආකාරයෙන්….

එහි එක තැනක කියවන්නා කතෘවරයාගෙන් ප්‍රශ්න කරනවා, ප්‍රතිමාවකට ආහාරපාන පූජා කරන එකද, ඒ ආහාර අසරනයෙකුට ලබාදෙන ක්‍රියාවෙන්ද වඩා පින් සිදුවෙන්නේ කියලා….

ඒ ගැන කෙටි විස්තරයකින් පසුව කතෘවරයා හෙවත් වල්පොල රාහුල හාමුදුරුවෝ,

“ප්‍රතිමාවක් ඉදිරියේ ආහාර තබන්නේ තමන් පින් ගන්නා ආශාවෙනි. එය තෘෂ්ණාවයි. ප්‍රතිමාවකට ආහාර පූජා කිරීමේදී කරුණා, මෛත්‍රී ගුණයන් උපදවන්නට ඉඩක් නැති බැවිනි. නමුත්, අසරනයෙකුට සංග්‍රහ කිරීමේදී නියම අන්දමින් කරුණා, මෛත්‍රී ආදී ගුණයෝ සිත්හි පහළ වෙති.”

කියලා සටහන් කරනවා.

“තමන් වෙනුවෙන් දේවල් රැස් කරගැනීම තෘෂ්ණාව” කියලා උන්වහන්සේ සඳහන් කරනවා. ඒ වගේම මේ පිළිතුරට කලින් උන්වහන්සේ සඳහන් කරනවා “තමාට පින් බලාපොරොත්තුවෙන් යම් කිසි වැඩක් එය සැබවින්ම වෙළඳාමකි” කියලා…. පොත පුරාම මේ වගේ තමා අතහැර අනෙකා ගැන සිතීම පිළිබඳව බොහෝ උදාහරණ ඇතුලත් අදහස් තියෙනවා. තමන් තමන් වෙනුවෙන් දේවල් රැස් කිරීම, තමන්ගේ විමුක්තිය උදෙසා සිතා මතා පින් රැස් කිරීම, ඒවා මතක තබාගෙන මෙනෙහි කරමින් සතුටු වීම කියන හැම දෙයක්ම මමත්වයට අදාළ වෙන කාරණා බව උන්වහන්සේ පැහැදිලි කරන, බුද්ධ දර්ශනයේ හරයේ ගැබ්වෙලා තියෙනවා.

මේ පොත ගැන කියන්න තවත් එකම එක කොටසක් මම උපුටා ගන්නවා….

බුදු රජාණන් වහන්සේගේ ධර්මය පරාර්ථය පදනම් කොට ඇත්තේය. අඳින්නට නැතියවුන්ට වස්ත්‍ර දිය යුතුයි. නවාතැන් නැති අයට නවාතැන් දිය යුතුයි. රෝගීන්ට කරුණාවෙන් ආදරයෙන් සංග්‍රහ කළ යුතුයි. එය උන්වහන්සේ වෙනුවෙන් අපට කළහැකි පූජාවයි. දිනපතා කෑම උයන්නට කලින් හාල්මිට බැගින් භාජනයකට දමා, සෑහෙන්න පමණ එක්වූ විට එය අසරණසරණ ව්‍යාපාරයකට පරිත්‍යාග කළයුතුයි. එය බුදුන්ට කරන ගෞරවයකි, එය බුද්ධ වචනයට ගරු කිරීමකි. ‍සතය බැගින් එක්කොට සෑහෙන මුදලක් වූවිට, පොතක් ගන්නට වත්කම නැති බැවින් ඉගෙනගත නොහැකිව සිටින සරණ දරුවෙකුට පොතක් සපයා දියයුතුයි. පහනට තෙල් නැති කමින් කළුවරේ දුක් විඳින අසල්වැසියාට එලිය දිය යුතුයි. එය ප්‍රතිමාවකට ආහාරපාන පිදීමට වඩා විශාල බුද්ධපූජාවකි. නිකරුනේ පහන් අසූහාර දහසක් දැල්වීමට වඩා විශාල පින්කමකි.

“ජගදුපකෘතිරෙව බුද්ධ පූජා, තදපකෘතිස්තව ලෝකනාථ, පීඩා”

ලෝකයාට උපකාර කිරීමම බුද්ධ පූජාවයි…. ලෝකනාථයන් වහන්ස, ලෝකයාට වරදක් කිරීම නුඹවහන්සේට කරන පීඩාවකි.”

කියලා වල්පොල රාහුල හාමුදුරුවෝ සත්‍යෝදයේ සටහන් කරනවා….

බුද්ධ දර්ශනය, බුදු දහම කියන්නේ පරාර්ථකාමී ජීවිත දැක්මකින් තමාට වඩා අනෙකා ගැන සිතීම, තමාව සතුටු කිරීමට වඩා ලෝකයා සතුටින් තැබීම, ලෝකයාගෙ සතුටම තමන්ගේ සතුට කර ගැනීම, පීඩිතයා වෙනුවෙන් පෙනී සිටීමේ අරගලය විමුක්තියේ මාර්ගය ලෙස තෝරා ගැනීමේ “දුෂ්කර මාර්ගය” අත්හැරීමේ මාර්ගය ලෙස පෙන්වන, නියම බුද්ධ දර්ශනය පැහැදිලි කරන මේ මහා අනර්ඝ පොත ඇත්තටම බෞද්ධයන්ට පමණක් නෙමෙයි, සිතා බලා තේරුම් ගතහැකි සියලු මනුෂයන්ට වෙනස් වෙන්නට ආරාධනා කරන පොතක් විදියට හඳුන්වන්න පුළුවන්.

මොකද අපේ බුද්ධිය සීමිතයි…. අපි කොච්චර කිව්වත් බුද්ධියට යන්න පුළුවන් සීමා තියෙනවා. ඒ වගේම බුද්ධිය විතරක් තියෙන, ප්‍රේමය නැති කෙනෙකුට බුද්ධියෙන් ඉතාම නරක දේවල් පවා කරන්න ඉතාම පහසු වෙන්නත් ඉඩකඩ තියෙනවා…. අන්න ඒ නිසා අපේ බුද්ධිය හෙවත් ඥානය වුවද සම්පුර්ණයි…. අන්න ඒ නිසා බුද්ධිය තියෙනවට වඩා ඉහලින් අපිට ප්‍රේමය තිබිය යුතුම වෙනවා. ප්‍රේමය කියන්නේ බුද්ධිය වගේ අසම්පුර්ණ දෙයක් නෙමෙයි. අන්න එතකොට තමයි සම්පුර්ණ දේ පැමිණි විට අසම්පුර්ණ දේ පහව යන්නේ…. එතකොට තමයි මේ සියලු දේවල් තුල තියෙන මහා කරුණාව අපිට පෙන්න පටන් ගන්නේ….

යම් යම් කාලවලදී කතෝලික ආගම සහ සමහරවිට දැනටත් ඉස්ලාම් ආගමිකයන් තමන්ගේ බලය නතුකර ගන්න ඉතාම විනාශකාරී ලෙස හැසිරිලා තියෙන්නෙම බුද්ධියෙන් විතරක් තීරණ ගත්ත නිසා කියලා ඉතිහාසය හොඳින් අධ්‍යයනය කලොත් තේරුම් ගන්න පුළුවන් වෙනවා….

දැන් මම කියන්නම් මම මුලින්ම බුද්ධ දර්ශනය සහ අනෙක් ආගමික දර්ශන ගැන බුද්ධිවාදී සහ ප්‍රේමවාදී ආකාරයෙන් විග්‍රහයක් කලේ ඇයි කියලා….

සරලයි…. හැම ආගමික දර්ශනයකින්ම කියන්නේ යම්කිසි විමුක්තියක් ගැන. ස්වර්ගය, නිවන වගේ එක එක නම් වලින් කිව්වත් මේ කියන්නේ අතහැරීමක් ගැන. තමන්ගේ එක විතරක් දන්නා අනෙක් ආගමික දර්ශන ගැන හරියට නොදැන මතුපිටින් බලන බොහෝ අය කියන කාරනාවක් තමයි තමන්ගේ විමුක්තියට සාපේක්ෂව අනෙකාගේ විමුක්තිය මිත්‍යාවක් කියන එක. නමුත් මේ එක එක නම්වලින් කිව්වත් අවසානයේ නවතින්නේ එකම තැනක. හරියට ලංකාවේ ඉඳන් ඉන්දියාවට ගුවන්යානයක යන්න පුළුවන් වගේම, නැවක, සබ්මැරීන් එකක, බෝට්ටුවක, හෙලිකොප්ටර් එකක වුනත් යන්න පුළුවන්…. ඒ පාර සහ යන විදිය මොකක් වුණත් ගමනාන්තය එකයි….

ඉතින් සත්‍යෝදය කියන්නේ බෞද්ධයන්ට විතරක් නෙමෙයි, හිතන්න පුළුවන් හැම මිනිහෙක්ටම, හැම ආගමිකයෙක්ටම, නිරාගමිකයෙක්ටම ප්‍රේමය විවෘත කරන පිටු කිහිපයක්…. තමන්ගේ ආගමික සංකල්ප ඇදහිලි ක්‍රම වෙනස් වුණත්, සත්‍යෝදය කියවන ගමන් තමන්ගේ ආගමික සංකල්ප සහ ඇදහිලි ආදේශ කරලා තමන්ම විග්‍රහ කර ගත්තෝතින් ලෝකයා හෙවත් අසල්වැසියාට ප්‍රේම කරන්නට ඔබට අවස්ථාවක් ලැබේවි….


– ප්‍රේමවාදියා (AdaHas)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button