ව්‍යාපාරික

Sysco LABS Sri Lanka සමාගම මෙරට කුසගින්න මැඬලීමේ අලුත් මෙහෙයුමක් අරඹයි

කොවිඩ්-19 (Covid-19) වසංගතය හේතුවෙන් ලොව පුරා විශාල ජනකායක් ආර්ථික, සෞඛ්‍ය හා ආරක්ෂක ගැටලුවලට මුහුණ දී ඇති අවස්ථාවක, ජනතාවගේ කුසගින්න මැඬලීම වෙනුවෙන් සුවිශේෂී වැඩසටහනක් දියත් කිරීමට Sysco LABS Sri Lanka ආයතනය පසුගියදා පියවර ගත්තේය. ‘ආහාර සමඟ සතුටත් බෙදාගමු’ (Share a meal. Share a moment) යනුවෙන් නම් කර තිබුණු මෙම වැඩසටහන මගින් කොළඹ හා තදාසන්න ප්‍රදේශවල වෙසෙන අසරණ මිනිසුන් වෙනුවෙන් සෞඛ්‍යාරක්ෂිතව සැකසූ ආහාර පාර්සල් බෙදා දීම සිදු විය. පසුගිය දෙසැම්බර් 31 වන විට ආහාර පාර්සල් 10,000ක් බෙදා දීම ඉලක්කය වූ නමුත්, ඒ සඳහා ලැබුණු දැවැන්ත ප්‍රතිචාර හමුවේ එම කාලය තුළ, ආහාර පාර්සල් 12,000කට වැඩි සංඛ්‍යාවක් පරිත්‍යාග කිරීමට හැකිවිය.

මෙම වැඩසටහන යටතේ, ආහාර සපයා ගැනීමේ දැඩි දුෂ්කරතාවයෙන් පෙළෙන පුද්ගලයින් සොයාගැනීමේ වගකීම ‘ද රොබින්හුඩ් ආමි‘ (The Robin Hood Army) සහ ‘ගේදොර කනෙක්ට්ස්‘ (Ghedora-Connects) යන ප්‍රකට සමාජ සේවා සංවිධානවලට භාර විය. විශේෂයෙන් ම කුසගින්න මැඬලීමේ සමාජ සේවා කාර්යභාරය තුළ එම සංවිධාන සතුව විශාල අත්දැකීම් සම්භාරයක් පවතින අතර, ඒ හරහා ආහාර පරිත්‍යාග ඒවා ලැබිය යුතු ම පුද්ගලයින්ට පිරිනැමීමට හැකි විය. තව ද මෙම ආහාර බෙදා දීමේ කටයුතු සඳහා Achievers Lanka ව්‍යාපාර පාසලේ රොටරැක්ට් සමාජයේ සාමාජිකයෝ ද ස්වේච්ඡාවෙන් සම්බන්ධ වූහ.

මෙම සියලු ආහාර පාර්සල් පිළියෙල කෙරුණේ කොළඹ Curries Kitchen හා Curry Pot අවන්හල් මගින් උපරිම සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමිනි. ‘ද රොබින්හුඩ් ආමි‘ (The Robin Hood Army) යනු ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක ස්වේච්ඡා සංවිධානයකි. කිසිදු අරමුදල් රැස්කිරීමකින් තොරව ක්‍රියාත්මක වන ඔවුහු, අවන්හල් හරහා ඉවත දමන ආහාර අතිරික්තය, ආහාර සපයාගැනීමේ දුෂ්කරතාවයෙන් පෙළෙන ජනතාව වෙත ලබාදෙති. ලොව නගර 195කට වැඩි සංඛ්‍යාවක් කේන්ද්‍ර කරගනිමින් ස්වේච්ඡා සේවකයින් 70,000කට අධික පිරිසකගේ ශ්‍රම දායකත්වයෙන් ක්‍රියාත්මක වන එම සංවිධානය හරහා පසුගිය වසර කිහිපය තුළදී ලොව පුරා මිලියන 62කට අධික පිරිසකට ආහාර පිළිගන්වා තිබේ. ‘ගේදොර කනෙක්ට්ස්‘ (Ghedora-Connects) යනු කොළඹ නගරයේ දිළිඳු ජනතාව වාසය කරන ප්‍රදේශ හා මෙරට ග්‍රාමීය ප්‍රදේශවල වෙසෙන අඩු වරප්‍රසාද ලත් කාන්තාවන් හා ළමුන් සඳහා සහාය වන සංවිධානයකි.

”2020 වර්ෂය බොහෝ දෙනෙකුට ඉතා ම දුෂ්කර වසරක් විය. වසංගතය නිසා බොහෝ අයට රක්ෂා, ආදායම් මාර්ග අහිමි විය. මෙම ව්‍යාපෘතිය හරහා Sysco LABS ආයතනයට අවශ්‍ය වී තිබුණේ සමාජය තුළ පවතින අනිවාර්ය අවශ්‍යතාවක් වන සෞඛ්‍යාරක්ෂිතව පිළියෙල කළ, ඒ වගේම උණුසුම් ආහාර වේලක් සියලු දෙනා වෙත ලබාදීමේ කාර්යයට හැකි පමණින් දායක වීමයි“, යනුවෙන් Sysco LABS Sri Lanka ආයතනයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති (ඉංජිනේරු) සහ කළමනාකාර අධ්‍යක්ෂ ශනිල් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය. ඔහු වැඩිදුරටත් විස්තර කළ පරිදි, මෙය ජාත්‍යන්තර Sysco ආයතන ජාලය හඳුන්වා දී ඇති, කුසගින්න මැඬලීමේ ගෝලීය වැඩපිළිවෙල යටතේ ක්‍රියාත්මක වූ වැඩසටහනකි. විශේෂයෙන්ම කොවිඩ්-19 (Covid-19) වසංගතය හමුවේ ලොව රටවල් 8ක් පුරා Sysco හඳුන්වා දුන් මෙවැනිම වැඩසටහන් හරහා ආහාර වේල් මිලියන 40ක්, අවශ්‍යතා ඇති පුද්ගලයින් වෙත බෙදා දීමට හැකි වී තිබේ.

ව්‍යාපෘතියේ පළමු අදියර සාර්ථකව නිම කිරීම තුළින්, ශ්‍රී ලංකාව තුළ ඇති කුසගින්න සම්බන්ධයෙන් නිවැරදි දැනුමක් ලබාගැනීමට ද අවස්ථාව උදා වී ඇත. ඒ අනුව මෙරට කුසගින්න මැඬලීමේ ක්‍රියවලිය සඳහා ඉදිරියේදී ද අඛණ්ඩව දායකත්වය සැපයීමට Sysco LABS Sri Lanka ආයතනය ක්‍රියා කරනු ඇත. ”අප තවමත් මෙම සමාජ කර්තව්‍යය ආරම්භ කළා පමණි. කුසගින්න යනු අපේ රටට පමණක් නොව ලෝකය පුරා ම ව්‍යාප්ත වුණු විශාල ගැටලුවකි. ලොව ප්‍රමුඛතම ආහාර සේවා බෙදාහැරීම් ආයතනයක් ලෙස මෙය අපට ඉතාම සමීප කරුණකි. 2021 වසරේදීත් කුසගින්න මැඬලීමේ කටයුතු සඳහා ප්‍රමුඛත්වය දී ක්‍රියා කිරීමට අපි සැලසුම් කොට ඇත“, යනුවෙන් ඉදිරි සැලසුම් පිළිබඳව අදහස් දක්වමින් Sysco LABS Sri Lanka අලෙවි කළමනාකාරිණී කුෂානි කල්පගේ මහත්මිය පැවසුවාය.
මෙම සද්කාර්යයට දායක වෙමින් ආහාර සපයා ගැනීමේ දුෂ්කරතාව ඇති තවත් පුද්ගලයෙකු සමඟ ආහාර වේලක් බෙදාගැනීමට කැමැති ඇති ඕනෑම අයෙකුට ‘ද රොබින්හුඩ් ආමි‘ (The Robin Hood Army) Facebook පිටුව (https://www.facebook.com/groups/RHASL/) හෝ ‘ගේදොර කනෙක්ට්ස්‘ (Ghedora-Connects) ඇමතීමෙන් (072 8533 014) හෝ ඔවුන්ගේ Facebook ගිණුම් (https://www.facebook.com/Ghedora-Connects) හරහා මෙම කාර්යයට සම්බන්ධ විය හැක.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button