විශේෂාංග

ශක්තික නිදහස් – නීතිය රිමාන්ඩ් !

ශක්තික සත්කුමාර අත්අඩංගුවට ගත්තේ කෙටිකතාවක් ලිවීම නිසා ය. එසේ අත්අඩංගුවට ගත්, රක්ෂිත බන්ධනාගාරගත කළ පළමුවැන්නා ශක්තික නොවේ. නීතිය රක්ෂිත බන්ධනාගාරගත කර ඇති තෙක් මේ ජාතියේ අන්තිමයාද ශක්තික නොවන බව සහතික ය. 2010 මාර්තු 20 දා සාරා මාලනී පෙරේරා අත්අඩංගුවට ගත්තේ ද මේ ආකාරයටම ය. ඒ පොත් දෙකක් ලිවීම නිසා ය. එයින් ආගමික අපහාසයක් සිදුවන බවට චෝදනා කරමින් ය. 2020 දී අනාෆ් ජසීම්ව අත්අඩංගුවට ගැනුණේ ද කවි පොතක් ලිවීම නිසා ය. 2017 දී ඔහු විසින් ලියන ලද නවරසම් කවි පොතෙන් ළමා මනස විකෘති වන්නේදැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් විමසා තිබිණි. පසුව ඔහුට තවත් චෝදනා ද එල්ල කෙරිණි. කෙසේ වෙතත් මේ ආකාරයේ බොහෝ තැන්වලදී අදාළ ප්‍රකාශන මගින් අපරාධයක් සිදුකර ඇති බවට තහවුරු කිරීමක් සිදු නොවීය. මාධ්‍ය යොදාගෙන ජනතාව අතර කලබලයක් ඇති කොට, සියල්ල හීන්සීරුවේ අවසන් කෙරිණි. ජාතික ආරක්ෂාව, ජනතාව අතර කලබල ඇති කිරීම, සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් වැනි කරුණු දේශපාලන බලය පවත්වාගැනීම වෙනුවෙන් යොදවන්නේ මේ ආකාරයට ය.

සිවුපා – කෘමි පනත

මැලේසියානු කවියෙකු වූ සිසිල් රාජේන්ද්‍රගේ සිවුපා-කෘමි පනත නම් කවි පෙළ ඔබ කියවිය යුත්තේ මේ කෙටි සටහන ඔළුවේ තබාගෙන ය. කවියේ සිංහල පරිවර්තනය නීතිඥ එස්.ජී.පුංචිහේවා මහතා විසින් සිදුකර ඇත.
‘ඉතින් අන්තිමේදී
පූර්ණ ජාතික ආරක්ෂාව නැතුව පුළුවන්ද.
සපාද, අපාද, සතුන් පිළිබඳ
හදිසි පාලනය හා විනය පනත පැනවිණි.

මේ නව පනත අනුව
මී – ගව – එළු සිවුපාවුන්ට
තිදෙනකුට වැඩියෙන් රංචු ගැසී
තණකොළ කෑම තහනම් ය.

කුරුල්ලන් රෑන් වශයෙන් පියෑඹීම ද
මීමැස්සන් කැටිගැසීම ද
නීතිවිරෝධී රංචු ගැසීම් වන්නේය.

සැලසුම් අනුමත‌ නොකොට සාදා ඇති
සියලු දෙබර වදවලින්
වහා ඉවත් වන ලෙස නියෝග නිකුත් වී.‍
ඔවුන්ගේ ගෙවල්, කඩාකප්පල්කාරී ලෙස
පෞද්ගලික දේපොළ කෙරෙහි
මැදිහත්වීම් ලෙස සැලකිණි.

අදාළ අමාත්‍යංශයෙන්
විකාශන බලපත්‍රයක් නැතිව
වඳුරන් හා මයිනන් විසින්
ඔවුන්ගේ ඝෝෂාකාරී පණිවුඩ
නිකුත් කිරීම අත්හිටුවිය යුතුය.
ජාතියේ හදිසි අවස්ථාවන්හිදී
අනුමත නොකළ ප්‍රකාශන හා විකාශන
භයානක තර්ජනයකි.

එසේම, කොට්ටෝරුවන්ට
මින්පසු තුරු කඳන්වල
මෝර්ස් හෝඩිය කොටමින්
පණිවුඩ යැවීම සපුරා තහනම් වෙයි.

අදාළ බලධරයන් විසින්
සියලු සන්නිවේදනයෝ
මනා පිරික්සුමකට ගොදුරු කෙරෙති.
ගේ කුරුල්ලන්
කටකතා පැතිරවීම ගැන
අත්අඩංගුවට ගෙන ඇත.
කුමන්ත්‍රණ කිරීම ගැන සැකපිට
සියලු බළල්ලු රාත්‍රී නවයෙන් පසු
නිවෙස්වලට වී සිටීමේ නියෝග ලදහ.

සිය ශබ්ද විකාශන නවත්වන ලෙස
රැහැයියන්ටත්, පළඟැටියන්ටත්
නොතීසි නිකුත් කර ඇත.
තාරාවන් ක්වැක් ගෑම හෝ
කළුකුමන් ගොක් ගෑම හෝ
තහනම් කාලය තුළදී සීමා කෙරෙයි.
ඇල්සේෂන් හෝ පාදඩ බල්ලන් හෝ
සිය කටවල් පාලනය කරගත යුතුය.

ආරක්ෂක හේතු මත හමුදා නිල ඇඳුමට
සමාන හෝ වෙනත් නිල ඇඳුමක් හෝ
භාවිතය තහනම් ය.
එහෙයින් පෙන්ගුවින්ලාටත්, සීබ්‍රාවන්ටත්
නීතියෙන් අනුමත නොකළ ඇඳුම්
ඇඳීම තහනම් වෙයි.
මුවන්, ගෝනුන් විසින් සිය අංතට්ටු
ළඟම ඇති පොලීසියට බාරදිය යුතුය.

කොටියන් ඇතුළු මාංස භක්ෂකයන්
නිය, දත් වැනි මාරක ආයුධ
සඟවාගෙන සිටීම නිසා
කෙලින්ම සිර අඩස්සියට ගෙන ඇත.

හතර වැනි වගන්තියේ දෙවැනි ඡේදයේ
බී උප වගන්තිය අනුව
අලියන් විසින් හොඬවැලින් හා පසුපසින්
නාද නිකුත් කිරීම
හවස හයේ සිට උදේ හය දක්වා
තහනම් ය!
එම හඩ වෙඩි හඬකැයි රැවටී
කලබල ඇතිවීමට ඉඩ ඇති හෙයිනි.

මේ නීතිය නිසි පරිදි
ගැසට් කරනු ලදුව
මසකට පසු
සියලු කුරුල්ලෝ, කෘමි සත්තු දකුණට ද,
සිවුපාවෝ උතුරට ද සංක්‍රමණය වූහ.

දැනු මුළු වනය
නීතිය අනුව ගොළු ය.
එහෙත් බියකරු ය.
ඉතින්,
දැන් පූර්ණ ජාතික ආරක්ෂාව පවතින්නේය !

ශක්තික නිදොස් කොට නිදහස්

කෙටිකතාවක් ලියා, පළකිරීම හේතු කොටගෙන දින 130 ක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ලේඛක ශක්තික සත්කුමාර නිදොස් කොට නිදහස් කිරීමට පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය 09 දා නියෝග කළේය. ෆේස්බුක් සමාජමාධ්‍ය තුළ කෙටිකතාවක් ලියා පළකිරීමට අදාළව ගොනුකර තිබූ ශක්තිකට එරෙහි චෝදනාවේ නඩු කටයුත්තක් පවත්වාගෙන යෑමට තරම් කරුණු නොමැති බවත්, එම නිසා ශක්තික සත්කුමාර වෙනුවෙන් අධිචෝදනා ගොනු නොකරන බවත් නීතිපතිවරයා විසින් අධිකරණයට දැනුම් දී තිබිණි.

‘අර්ධ’ නමින් කෙටිකතාවක් ලියා, එය සිය ෆේස්බුක් ගිණුමේ පළකර තිබීම හේතුවෙන් 2019 අප්‍රේල් 01දා ශක්තික සත්කුමාර අත්අඩංගුවට ගෙන තිබිණි. එම කෙටිකතාව මගින් බෞද්ධාගම හෑල්ලුවට ලක්කර ඇති බව සඳහන් කරමින් බෞද්ධ තොරතුරු කේන්ද්‍රය නම් සංවිධානයක භික්ෂූන් වහන්සේලා පිරිසක් සහ පොල්ගහවෙල හා පොතුහැර ශාසනාරක්ෂක බලමණ්ඩලයේ භික්ෂූන් වහන්සේලා පිරිසක් පොල්ගහවෙල පොලීසියට කළ පැමිණිල්ලකට අනුව මේ අත්අඩංගුවට ගැනීම සිදු වූ බව මාධ්‍ය වාර්තා කළේය.

ඇප නැති චෝදනා

මේ කෙටිකතාව මගින් 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප්‍රඥප්තිය පිළිබඳ පනතේ (3) (1) වගන්තිය යටතේ, වෙනස් කොට සැලකීමට, සතුරුභාවයට හෝ ප්‍රචණ්ඩත්වයට තුඩු දිය හැකි ජාතික, වාර්ගික, ආගමික වෛරය ඇති කිරීම සහ දණ්ඩ නීති සංග්‍රහයේ 291 (බී) වගන්තිය යටතේ ආගමික විශ්වාසවලට සහ ආගමකට අපහාස කිරීමෙන් ආගමික හැඟීම් ඇවිස්සීමට හිතාමතා සහ ද්වේෂසහගතව කටයුතු කිරීම යන චෝදනා එල්ල කරමින් පොලීසිය විසින් පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ මීට අදාළ නඩුව ගොනුකරන ලදි. මේ පනත යටතේ නඩුව පවරා ඇති නිසා මහේස්ත්‍රාත් අධිකරණයකට ඇප ලබාදිය නොහැකි වීමෙන් මාස 04කට අධික කාලයක් ඔහුට රක්ෂිත බන්ධනාගාරගතව සිටීමට සිදු විය. ඉන්පසු ශක්තික වෙනුවෙන් කුරුණෑගල මහාධිකරණයේ ගොනු කළ ඇප අයදුම්පත්‍රයක් සලකා බැලීමෙන් පසු 2019 අගෝස්තු 05 දා ඔහුට ඇප ලැබිණි.

ඇප ලැබීමෙන් පසු අවස්ථා කිහිපයකදී මෙම නඩුව කැඳවිණි. ඒ සෑම අවස්ථාවකදීම නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා තිබුණේ ශක්තික සත්කුමාරට එරෙහිව මේ සම්බන්ධයෙන් අධිචෝදනා ගොනු කිරීමට තවත් කාලය අවශ්‍ය බවයි. ඇප ලබාදීමේ මහාධිකරණ ක්‍රියාවලියේදී ද නීතිපති දෙපාර්තමේන්තුව අවස්ථා කිහිපයක් කල් ඉල්ලීම් සිදුකරන ලදි.

තමන්ට සිදු වූ මේ අසාධාරණයෙන් මූලික අයිතිවාසිකම් කඩවූ බව දක්වමින් ශක්තික සත්කුමාර විසින් මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ. එය ලබන මාර්තු 24දා කැඳවීමට නියමිත ය.

බලය වෙනුවෙන් නැමෙන නීතිය

ශක්තිකට එරෙහිව චෝදනා ගොනුකර තිබූ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් ප්‍රඥප්තිය පනතේ අදාළ වගන්තියේ දැක්වෙන්නේ වෙනස් කොට සැලකීමට, සතුරුභාවයට හෝ ප්‍රචණ්ඩත්වයට තුඩුදිය හැකි ජාතික, වාර්ගික, ආගමික වෛරය ඇති කිරීම යනුවෙනි. දණ්ඩ නීති සංග්‍රහයේ 291 (බී) වගන්තියේ දැක්වෙන්නේ ආගමික විශ්වාසවලට සහ ආගමකට අපහාස කිරීමෙන් ආගමික හැඟීම් ඇවිස්සීමට හිතාමතා සහ ද්වේෂ සහගතව කටයුතු කිරීම යනුවෙනි. එහෙත් 2019 මැයි මාසයේදී ශක්තික පදිංචි කුරුණෑගල දිස්ත්‍රික්කයේම පඬුවස්නුවර, නිකවැරටිය සහ කුලියාපිටිය යන ප්‍රදේශවලත්, පුත්තලම දිස්ත්‍රික්කයේ නාත්තන්ඩිය ප්‍රදේශයේත්, ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ ප්‍රදේශයේත් දේශපාලන උසිගැන්වීම් අනුව සිදු කළ දේපොළ ගිනිතැබීම් ඇතුළු අපරාධවලට එරෙහිව මේ වගන්ති යටතේ නඩු පැවරුණේ නැත. ඔවුන්ට එරෙහිව නඩු පැවරුවේ දේපොළ අලාභහානි කිරීම සම්බන්ධයෙනි. ඒ නිසා ඔවුන්ට කිසිදු ගැටළුවකින් තොරව ඇප ලැබිණි. ශක්තිකට ඇප දෙන්නට නොහැකි වූයේ ඔහුව හිරකරන්නටම චෝදනා ගොනුකිරීම සහ ඊට අදාළ නීති යොදාගැනීම නිසා බව පැහැදිලි ය. 2018 මාර්තු 04 සිට 06 දා දක්වා මහනුවර, දිගන ප්‍රදේශවල ඇති කළ අපරාධ සම්බන්ධයෙන් ද තත්ත්වය මෙයාකාර ය. සිදුවීම් ලෙසත්, මතවාදී ලෙසත් ජනතාව අතර සැකය, අවිශ්වාසය ඇති කරමින් දේශපාලන බලය ආරක්ෂා කරගැනීමේ උත්සාහය පිළිබඳ මැලේසියානු කවියා කොතරම් ඉදිරිගාමීව දැක තිබේද?

රත්නපුර නගරයට ප්‍රහාරයක් එල්ල කිරීමට පැමිණි බවට චෝදනා කරමින් 2019 මැයි මාසයේදී අත්අඩංගුවට ගත් තරුණයන් තිදෙනාට එරෙහිව කිසිදු චෝදනාවක් නැති බවත්, ඔවුන් නිදහස් කළ හැකි බවත් මුලදී රත්නපුර දිස්ත්රික්කය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසා තිබිණි. එහෙත් භික්ෂූන් වහන්සේ නමක් ඇතුළු මෙහෙයවන ලද පිරිසක් පොලිසියට පැවසුවේ ඔවුන්ට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නඩු පැවරිය යුතු බවයි. පොලිසිය එසේ කළේය. එම නිසා ඇප ගන්නට නොහැකිව ඔවුහු රක්ෂිත බන්ධනාගාරගතව සිටියහ. අවසානයේ චෝදනා සංශෝධනය කිරීමෙන් පසු ඔවුන් නිදොස් කොට නිදහස් කෙරිණි. ජනතාව අතර ඇති සිවිල් බලය උපයෝගී කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියට බලපෑම් කළ පිරිසට සහ ඒ අනුව කටයුතු කළ පොලිසියට එරෙහිව කටයුතු කිරීමට ඔවුන්ට මූලික අයිතිවාසිකම් යටතේ නීතියෙන් ඉඩ තිබිණි. එහෙත් ඔවුන් එය කළේ නැත. අවශ්‍යම මොහොතේ කළයුත්ත නොකරන්නේ නම්, ඊට කවදාවත් නැවත ඉඩක් නොලැබේ. ශක්තිකගේ මූලික අයිතිවාසිකම් පෙත්සම වඩා වැදගත් වන්නේ ඒ නිසා ය.

කබරගොයා තලගොයා කිරීම

ශක්තික හිර කිරීමේ අරමුණ වූයේ මෙරට බහුතරයක් වන බෞද්ධ ඡන්ද මංකොල්ලකෑම ය. එහිදී ශක්තික කියන තාත්තා හෝ ඔහුගේ දරුවන් හෝ ප්‍රකාශනයේ නිදහස හෝ අදාළ නැත. කබරගොයත් තලගොයෙක්ලු කන්න ඕනෙ දාට තියරිය ය, එවකට පැවැති මෛත්‍රී-රනිල් ආණ්ඩුවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකත්, විපක්ෂයේ දේශපාලන පක්ෂත් මේ සිද්ධිය සම්බන්ධයෙන් අනුගමනය කළේ. සිවිල් ක්‍රියාකාරීන්, බහුතර ලේඛකයන්, විද්වතුන් බහුතරයක් ද එය හෙමින් සීරුවේ මගහැරියහ. දේශපාලන පක්ෂ කිසිවක් මේ සම්බන්ධයෙන් නිවේදනයක් හෝ නිකුත් කළේ නැත.

ශක්තික කවුද ?

කාගේ වුවද ප්‍රකාශනයේ නිදහස අත්තනෝමතික ලෙස අහිමි කිරීමට එරෙහි විය යුතුය. ඔහු කවුද, ඔහුගේ තරාතිරම කුමක්ද යන්න අදාළ නැත. කෙසේ වෙතත් ශක්තික යනු 2010 සහ 2014 වර්ෂවල විශිෂ්ඨතම කෙටිකතාකරුවාට හිමි සම්මාන දිනාගත්තෙකි. කවියෙකි. කෙටිකතාකරුවෙකි. නවකතාකරුවෙකි. සාහිත්‍ය විචාර ග්‍රන්ථ සහ බුදු දහම ඇතුළු වෙනත් විෂයයන් පිළිබඳ ග්‍රන්ථ 30 කට ආසන්න සංඛ්‍යාවක් රචනා කළ ලේඛකයෙකි.

කූඩු, වැලි, මිනී කපන්නාගේ හෘදය සාක්ෂිය, පතොක් කටු, සිව්වන පරපුර ආදී කෙටි කතා සංග්‍රහද, වෙඩි වැදුණු පන්හිඳ, අඳුර, අහස අහිමි සඳක්, පියාපතක් බිම හෙළමි ආදී කාව්‍ය සංග්‍රහද, මතක ගම්දොර නම් නවකතාවද, දිවි මඟට පහන් වැටක්, සදහම් මකරන්ද, අමා දම් ආදී බෞද්ධ ග්‍රන්ථද, මළ ගිය ඇත්තෝ- නවකතා විමර්ශන, වීදි ලාම්පු , සිංහල කෙටි කතාවේ කම්මැල්ලවීර ලකුණ, බද්දේගම නවකතා විමර්ශන, නූතන කෙටි කතා විමර්ශන ආදී විචාර ග්‍රන්ථ රැසක් සහ ආරියරත්න විතාන සමඟ ‘නාට්‍ය තුනක්’ නම් නාට්‍ය පිටපත ද ඔහු ලියා තිබේ.

මේ අතර 2019 අගෝස්තු 01 දා ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය මගින් ශක්තිකව හෘද සාක්ෂියේ සිරකරුවකු ලෙස නම් කරනු ලැබීය. (Prisoner of Conscience) මීට පෙර එසේ නම් කරන ලද්දකු වූයේ මාධ්‍යවේදී ජේ.එස්. තිස්සනායගම් ය. ඒ 2009 වසරේදී ය. වාර්ගිකත්වය, ලිංගික දිශානතිය, ආගමික, දේශපාලන විශ්වාස වෙනුවෙන් පෙනී සිටිම නිසා සිරගත කරන ලද්දන් මේ නමින් නම් කෙරේ. එය ලංකාවේ පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ තරම සම්බන්ධයෙන් වන නිර්ණායකයකි.

පරණ නොවන පාඩම

ශක්තික නම් ලේඛකයා, විචාරකයා, දරු දෙදෙනකුගේ තාත්තා මේ සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගන්නට දින කිහිපයකට පෙර තම ෆේස්බුක් පිටුවේ මෙසේ ලියා තිබිණි. පරණ වුවත් සර්වකාලීන එය යළිත් ලියා තැබිය යුතුය.

‘සාම්ප්‍රදායිකව සිතන මිනිසුන් බහුල සමාජයක ඉතිහාසය, ආගම ප්‍රශ්න කරන විකල්ප සිතීමක් සහිත මිනිස්සු පිස්සෝ, ඔල්මාදකාරයෝ වෙති. එහෙත් අලුත් විදියට සිතන, ලියන, කියවන මිනිස්සු ලෝකය නිර්මාණය කරති. මේ පාඩම ඉතිහාසය නැවත නැවත ඔප්පු කොට තිබුණත් එය ඉගෙනීමට බොහෝ දෙනා බිය වෙති.’

ශක්තික නිදහස් වුවද, බලය වෙනුවෙන් නීතිය අල්ලේ නටවන පිරිස ඊළඟට තවත් ගොදුරක් සොයාගනු ඇත. නීතිය ඔවුන්ගෙන් නිදහස් කරගැනීම කඩිනමින් කළ යුත්තේ ඒ නිසා ය.


ශාලික විමලසේන
(ලංකා පුවත්පත – 2021.02.14 – පිටුව 03)

ඡායාරූපය – pmdhr.org

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button