විශේෂාංග

ජනාධිපතිට ලිපියක්….

ගම සමග පිළිසඳරට පස්සේ ඇයි මිනිස්සු කැළෑ ඉඩම් ඉල්ලන්නේ?

ජනාධිපතිවරයාගේ ගම සමග පිළිසඳර වැඩසටහනේ මූලික සංකල්පයක් වෙලා තියෙන්නේ ගම්මුන්ට වගා කරන්න ඉඩම් ලබා දීම. ගං වල කොහෙන්ද නිකම් ඉඩම් නොමිලේ බෙදන්න, ඒ නිසා ඉඩම් දෙනවා නම් දෙන්න වෙන්නේ කැලෑ ඉඩම්ම තමයි. ඒ නිසා මේ වන විට වන සංහාරයක් සිදු වන තැනට පත්වෙලා කියලා අපි හැමෝම දන්නවා.

ඇයි ගම්මුන්ට ඉඩම් නැත්තේ?

මම නිතර ඈත පළාත්වල ඉස්කෝල වලට ගියාම ගොවි දෙමව්පියෝ ඉන්නවා නම් කියා දෙන පාඩමක් තියෙනවා. ඒක මේ වගේ. පවුලක් රකින්න ගොවියෙකුට කොච්චර කුඹුරු අක්කර ප්‍රමාණයක් ඕනෙ ද? සාමාන්‍යයෙන් කුඹුරු අක්කර 4-5 ක් තියෙනවා නම් මාසෙකට බොහෝම හොඳින් ඉන්න ආදායමක් ගන්න කුඹුරු කර ගන්න පුලුවන්. දැන් රටේ එච්චර කුඹුරු තියෙන පවුල් නැති තරම්.

අපි හිතමු අපේ සීයලෑ පරම්පරාවල් ගැන. එක ගොවියට ගොඩ මඩ ඉඩම් අක්කර හතර පහක් තියෙනවා. ඉතිං මහන්සි වෙලා ඒ ඉඩම් වගා කර ගත්තම ලැබෙන ආදායම හෝ අස්වැන්න ප්‍රමාණවත් තමන්ගේ දරු පවුල රකින්න. කන්න බොන්න අඳින්න දෙන්න. පොඩ්ඩක් උගන්නන්න. ඒ කාලේ පවුල් වල දරුවොත් මහ ගොඩක් නොවැ….

ඉතිං අපේ තාත්තලාගේ පරම්පරාව එනකොට පවුලේ දරුවෝ ගාණෙන් අර ඉඩම් බෙදුනා. ඒ පරම්පරාවට ලැබුනේ සීයලෑ කොටසෙන් අක්කරයයි භාගයයි. ඒ අයට අමාරුයි ඒ කුඹුර විතරක් කරලා දරු මල්ලො රකින්න. ඉතිං දෑවැද්දට ආව ගිය ඉඩම්, එහෙන් මෙහෙන් අල්ල ගත්ත ඉඩම් ආදිය අවශ්‍ය උනා තමන්ගේ පවුල් රකින්න. කුඹුරේ ආදායමෙන්ම ඒක කරන්න බැරි නිසා පොඩියට රස්සාවකුත් කළා.

ඔන්න ඉතිං දැන් පරම්පරාවට එනකොට ඉඩම් පහල උනේ නෑ නොවැ. අර තිබ්බ ටිකම තමයි බෙදුනේ. දැන් ගොවියෙකුට තියෙන්නේ අක්කර භාගේ, කාල නැත්නම් පොඩි පර්චස් ගාණක්. දැන් ඒකෙන් කුඹුරු කරලා පවුලක් රකින්න නම් හිතන්නවත් බෑ. ඉතිං කොහෙන්ද බොල දරුවන්ට කන්න අඳින්න දෙන්නේ. ඉතිං ගම් වල ලොකු ලොකු රස්සා තියෙනවා යැ. හමුදාවට, පොළිසීයට, නැත්නම් සිවිල් ආරක්ෂකේට යන එක තමයි ලොකුවටම. ගෑණු දරුවෝ නම් වෙළඳ කලාප වල. කට්ටිය බලන්න ඇතිනේ ‘තණමල්විල කොල්ලෙක්’ නාට්ටිය එහෙම.

ඔය මහවැලියෙන් එහෙම ඉඩම් දීලා මිනිස්සු පදිංචි කරන කොට අක්කර 5 ක් දුන්නා ගොඩින් මඩින්. දැන් ඒ පදිංචියට ගිය පරම්පරාවල් වර්ධනය වෙලා. නමුත් ඉඩම් වැඩි උනේ නෑ. භූමිය එකයි.

හැබැයි කුඹුරු ඉඩම් ටික ටික වැඩිත් වුණා. ඒ කොහොම ද? බලන්න එකදාස් නවසිය පනස් ගණන් වල ලංකාවේ වනාන්තර ප්‍රමණය රටෙන් භාගයක් විතර. ඒ කියන්නේ 50% ට වැඩියි. ඒත් ඉතිං මේ ඉඩම් ප්‍රශ්නයට මිනිස්සු ගම් පළාත් වලින්ම හොයා ගත්ත විසඳුම තමයි කැලෑ ඉඩම් සුද්ද කර ගන්න එක. දැන් කැලෑ තියෙන්නේ රටෙන් කාලකටත් අඩුවෙන් නොවැ. ඉතිං මේ පරම්පරාවත් තව කැලෑ අල්ල ගත්තම ඕක තව අඩු වෙනවා. මෙහෙම ගියොත් අපේ දරුවෝ පරම්පරාවටත් දෙන්න වෙන්නේ ඔය කැලෑ කපලම තමයි. එතකං වතුර එහෙම රැකිලා උන් හිටියොත්.

මේ ගම් වල දැන් ඉන්න පරම්පරාවට ඉඩම් මදි. තියන එකෙන් පවුල රකින්න බෑ. ඉතිං ඒ මිනිස්සුන්ට අමතර ආදායම් ඕනේ. ඒ අමතර ආදායම හොයලා දෙන්නෙත් කැළේම තැමයි. වැලි හාරලා, ගස් ලී වලට කපලා, මී පැණි ටික, නෙල්ලි අරළු ටික, බීඩි කොල ටික, නැත්නම් දඩමස් හරි කැලෙන්ම තමයි.

ඊළඟ පරම්පරාව මේකෙන් ගලවන්න හොඳම විසඳුම අධ්‍යාපනය. ඒකනේ අපි ඔය අම්පාරේ, බිබිලේ, බදුල්ලේ, මහියංගණයේ පැත්තේ ඉස්කෝල වලට ආධාර උපකාර කොරන්නේ. ඊළඟ පරම්පරාවට රැකියාවක් වත් කරන්න සුදුසුකම් හදා ගන්න. නැත්නම් උන්ට යන එනමක් නැති වෙනවා අම්මපා. ඒ නිසා මේ පොඩි උන්ට කොහොම හරි උගන්නන්න කියලා මම ඒ අම්මලාට කියලා ආවා.

ඉතිං ජනාධිපති මහත්තයෝ ඔහෝම කැළෑ ඉඩම් බෙදලා ප්‍රශ්නය විසඳෙන්නේ නෑ. තාව කාලිකව කීප දෙනෙක් ගොඩයයි. ඒ ඉඩනුත් හෙන්චයියලා හොරාට වැඩිපුර අල්ල ගනියි. ඊට වඩා ඕනේ ඕකට විසඳුමක්. එකක් තියෙන ඉඩම් වලින් අස්වැන්න වැඩි කරගෙන ඵලදායිතාව වැඩි කරන්න දියුණු කෘෂිකාර්මික උපක්‍රම භාවිතා කරන එක. අනිත් එක ගම් වල මිනිස්සුන්ට ආදායමක් ලැබෙන්න රට තුල කර්මාන්ත හදන එක. කියන්න ලේසියි තමයි, කරන්න අමාරුයි. හැබැයි ඉතිං පුටුවේ ඉන්නේ, විධායක බලය තියෙන්නේ කියන මං ගාව නෙවෙයි, කරන්න ඕන ඔබ ලඟ.

හැබැයි ඔය ඉඩම් පුංචියට කැඩිලා තියෙන නිසා ලොකු වගා බිම් විදියට තාක්ෂණය පාවිච්චි කරන්නත් බෑ. ලොකු කුඹුරු හාන මැෂිමක් ගන්න, එක සැරේ කොළ පෑගෙන භූතයෙක් හරි සුනාමියක් හරි ගන්න පොඩි ඉඩමක් තියෙන ගොවියෙකුට බෑ නොවැ. යායක් තියෙනවා නම් පුලුවන්. අපේ ඉඩම් කුඩා වෙලා කැබලි වෙලා නිසා යාන්ත්‍රිකව ඕක කරන්නත් අපහසු වෙලා. ඉඩම් එකතු කරලා යායම එක සැරේ වැඩකරන තැනට ක්‍රම හදන්න ඕනේ.

දැන් ඔය පුරන් කුඹුරු එහෙමත් වැඩි ඒකනෙ. ඔය කුඹුරු ඉඩම් පොඩියට කැඩිලා ගියාම ඒවා කරන උදවියට ගෙදර කන්න විතරයි වී ටිකක් ලැබෙන්නේ. නමුත් වෙන රස්සාවක් කරන ගමන් එහෙන් මෙහෙන් කුඹුරු කරන්න ගියාම කුඹුරට හරි හමං සාත්තුවක් කරන්න, නියරක් , ඇලක් හොඳට හදා ගන්න කාලයක් කෝ. එතකොට ඇල වේලි හොඩ වෙලා, නියරවල කැලෑ වෙලා, වල් බෝ වෙලා , ගොයම සත්තු කාලා අස්වැන්න අඩු වෙනවා. කඩේ හාල් කිලෝ එකකට වඩා ගෙදර කන්න තමන්ගෙ කුඹුරෙන් ගන්න හාල් කිලෝ එකක මිල වැඩියි. ඉතිං මොකට ද කටු කාගෙන මඩ නාගෙන කුඹුරු කරන්නේ. නිකම්ම කුඹුර මග ඇරෙනවා. ඉතිං ඊට පස්සේ පුරං කුඹුරු කියලා මැරෙන්න හැදුවට වැඩක් නෑ.

ලියුම දිග වැඩි නම් සමාවෙන්න.මේ උපරිම කෙටි කරලා ලිව්වේ. වැඩි වෙන ජනගහනයට ඉඩම් අමුතුවෙන් පහල වෙන්නේ නෑ. මේකෙ තියෙන්නේ ඔය වර්ගකිලෝමීටර 65610 ම තමයි. ඉතිං කැලෑ ටික කපලා ඉවර කලොත් ඒක නම් ඉවර වෙයි වේගෙන්ම. එතකොට මේකේ පොළොවේ වතුර ටික වේලිලා ගියාම, වැස්සට පොළොවේ සාරේ පිටින් හේදිලා ගියාම ආයේ මේ ජාතිය නසන්න වඳ කොත්තු ඕනේ නෑ. නිකම්ම ජාතිය සුම්මා. රතු දත්ත පොතට සිංහලයෝ යන දවස වැඩි ඈතක නෑ. එතකොට අපිට පුළුවන් අර ගම්පහ ගහත් එක්ක සෙල්ෆියක් ගහං ආතල් එකේ ඉන්න.

ජාතික මට්ටමේ සැළසුම් ඕනේ. අර blueprint එකක් ද මොකක්ද ක්‍රියාවට නංවනවා කිව්වා නේ. ඒක ගැන හිතුවද? මගේ ලඟ එකක් තියෙනවා ඕනේ නම් එවන්නම්. 0778077760 ට whatsapp කරන්න. පිටු 55 ක් තියෙනවා කියවනවා නම්.

සිංහරාජයේ ලංකා ගමට මම හොඳ ප්ලෑන් එකක් හැදුවා. ඒක හෙට ලියන්නම්. ගම සමග පිළිසඳරට මම එහේ ගියොත් ඒක තමයි මගේ ප්ලෑන් එක.

ඔබට ජය!
තව අවුරුදු 4 යි.


වෛද්‍ය පැතුම් කර්නර්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button