ශ්‍රී ලංකාව

ශ්‍රී ලංකාව තුළ භාරතීය ජනතා පක්ෂය (BJP) පිහිටුවීම පිළිබඳව ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා සිදුකළ බව කියන ප්‍රකාශය සම්බන්ධව ආණ්ඩුවේ නිල මතය

ශ්‍රී ලංකාව තුළ භාරතීය ජනතා පක්ෂය පිහිටුවීමට සැලසුම් කර ඇතැයි ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා (Amit Shah) සිදු කළ බව කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අද (16) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ප්‍රකාශ කර සිටියේ ආණ්ඩුවේ නිල මතය කට කතාවක් සම්බන්ධයෙන් ප්‍රකාශ කල නොහැකි බවයි.

ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා එවැනි ප්‍රකාශයක් සිදු කර නොමැති බව පැවසූ අමාත්‍යවරයා, මෙම ප්‍රකාශය පළ වී දැනට දින දෙකක් ගත වී ඇතත් එහි වීඩියෝ පටයක් හෝ ලැබී නොමැති බව පෙන්වා දුන් අතර එම ප්‍රකාශය සම්බන්ධයෙන් ඉන්දීය රජය යම් ප්‍රකාශයක් සිදු කළහොත් පමණක් ඒ සම්බන්ධව රජයේ නිල මතය ප්‍රකාශ කළ හැකි බව අවධාරණය කළේය.

කෙසේ වෙතත් මෙරට දේශප්‍රේමී ජනතාව, විදේශීය දේශපාලන පක්ෂයකට මේ රටේ දේශපාලන බලය අත්පත් කර ගැනීමට ඉඩ ලබා දේ යැයි තමා විශ්වාස නොකරන බවද අමාත්‍යවරයා කීය.

තවදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ, ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු නව ව්‍යවස්ථා සම්පාදන කමිටුව මේ දිනවල රටේ දේශපාලන පක්ෂ හමුවෙමින් ඔවුන්ගේ අදහස් විමසමින් නව ව්‍යවස්ථා සම්පාදන කටයුතු ඉතාමත් වේගයෙන් සිදු කරන බවයි.

එලෙස සම්පාදනය කරනු ලබන නව ව්‍යවස්ථාව තුළ ද්විත්ව පුරවැසියන්ට දේශපාලනය කිරීමේ අයිතිය අහිමි කරන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගිය සැප්තැම්බර් මස, දේශපාලන පක්ෂ 10ට ප්‍රතිඥාවක් ලබා දී ඇති බවත් එම ප්‍රතිඥාව සැබෑවක් කරමින් වසරක් ඇතුලත නව ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට හැකිවනු ඇතැයි තමා විශ්වාස කරන බවද අමාත්‍යවරයා පැවසීය.


පුවත් මූලාශය – රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button