ව්‍යාපාරික

INSEE සිමෙන්ති සමාගම, තම සේවකයින්ගේ දරුවන් වෙනුවෙන් වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහනක් සංවිධානය කරයි

තම සේවකයින්ගේ දරුවන්ට දැනුම හා කුසලතා ඔප් නංවා ගනිමින් ජීවිතයේ සිහින හඹා යෑමට සහාය වෙමින්, ‘Find Your Spark’ නමින් විශේෂ වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහනක් සංවිධානය කිරීමට මෙරට ප්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදන සමාගම වන INSEE සිමෙන්ති සමාගම පසුගියදා කටයුතු කළේය.

මෙම වෘත්තිය මාර්ගෝපදේශන වැඩසටහන ඩිජිටල් මාධ්‍ය ඔස්සේ සංවිධානය කර තිබුණි. එම වැඩසටහනට එක්වූ තරුණ දරුවන්ට තම උපරිම හැකියාව කරා පිවිසිය හැකි අනාගත වෘත්තීය ක්ෂේත්‍ර පිළිබඳ නැණවත් තීරණ ගැනීමට වටිනා මඟපෙන්වීමක් හිමිවිය. ‘Find Your Spark’ වැඩසටහන මෙවර පැවැත්වුණේ අඛණ්ඩව දෙවැනි වරට වීම ද විශේෂත්වයකි.

මෙරට සමාජයේ ආදර්ශමත් චරිත ලෙස ප්‍රසිද්ධියට පත් වෘත්තිකයින් රැසකගේ සම්පත් දායකත්වය මෙම වැඩසටහන යටතේ සංවිධානය වූ විවිධ වැඩමුළුවලට හිමිවිය.  එමෙන්ම විවිධ වටිනා අදහස් හුවමාරු කරගැනුණු විද්වත් සාකච්ඡා සභාව තුළදී ද දරුවන්ට විවිධ වෘත්තීමය මං පෙත් පිළිබඳව දැනුම ලබාගත හැකිවිය. ඊට අමතරව විවිධ වෘත්තීමය අධ්‍යාපන අවස්ථා පිළිබඳව ද ඔවුන්ට විශාල දැනුමක් හිමිවිය. මේ අතර ‘ඔබේ ඉකිගායි සොයාගැනීම’ (දිගු හා ප්‍රීතිමත් ජීවිතයක් සඳහා වූ ජපන් වැසියන්ගේ රහසක්) නමින් සංවිධානය කර තිබූ විශේෂ වැඩසටහනට එක් වූ භාතිය සහ සන්තුෂ් ගායක දෙපළ, සිහින හඹා යමින්, සාම්ප්‍රදායික නොවන වෘත්තීය ක්ෂේත්‍රයක් තුළ සාර්ථකත්වය අත්පත් කරගත් අයුරු පිළිබඳව පැහැදිලි කළහ. එය දරුවන්ට විනෝදයක් මෙන්ම නව ජවයක් ද ගෙනදීමට සමත්විය.

‘පෞද්ගලික සන්නාමයක්‘ ගොඩනැඟීම මැයෙන් පැවැති සාකච්ඡා වාරය තුළ ආයතනික ලෝකයට පිවිසීමේදී හා ඒ තුළ සාර්ථකත්වය අත්පත් කරගැනීමේදී වැදගත් කරුණු රැසක් හුවමාරු කරගැනිණි. එමෙන්ම සම්මුඛ පරීක්ෂණවලට මුහුණ දෙන ආකාරය හා පවතින අර්බුදකාරී වාතාවරණය හමුවේ තම තමන්ගේ පෞද්ගලික යහපැවැත්ම තහවුරු කරගන්නා ආකාරය පිළිබඳව ද වෙනත් වැඩසටහන්වලදී සාකච්ඡාවට ලක්විය.

මෙම වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් INSEE සිමෙන්ති සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ගුස්ටාවෝ නවාරෝ මහතා,

”INSEE සිමෙන්ති සමාගමේ සේවකයින්ගේ දරුවන් විශිෂ්ටත්වය කරා ගමන් කරනු දැකීම අපගේ බලාපොරොත්තුවයි. එම නිසා ඔවුන්ගේ දක්ෂතා වර්ධනය සඳහා සහාය වීමට ලැබීම අපට විශාල සතුටක්. අපට සේවකයින් වගේම ඔවුන්ගේ දරුවනුත් බෙහෙවින් වටිනවා. ඔවුන්ගේ වර්ධනය සඳහා අපි නිරතුරුව කැපවන බවට මෙම වැඩසටහනත් කදිම සාක්ෂියක්. විශේෂයෙන් ම මේ හරහා ඔවුන්ගේ අනාගත සාර්ථකත්වයට ශක්තිමත් පදනමක් හිමිවේවි. එහි සාර්ථකත්වය වෙනුවෙන් සහාය ලබාදුන් සියලු අභ්‍යන්තර හා බාහිර සම්පත් දායකයින්ට අපගේ කෘතවේදීත්වය හිමිවෙනවා“

යනුවෙන් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button