විශේෂාංග

ශ්‍රී ලංකාවේ මුල්ම PCR යන්ත්‍රය නිපදවූ තරුණයාගේ කතාව

ලංකාවේ මුල්ම PCR යන්ත්‍රය නිමැවූ ගම්පහ උෂාන් - දිනමිණ 'යොවුන් ජනතා' අතිරේකයෙන්

මම නිර්මාණය කළ යන්ත්‍රයේ එකවර පරීක්ෂණ 22ක් සිදු කළ හැකියි. එය 100 ඉක්මවා වුණත් වැඩි කිරීමේ හැකියාව පවතිනවා. එය තීරණය වන්නේ මෙහි භාවිත කරනා වෙල් ප්ලේට් එක අනුවයි.

දක්ෂතාවක් යනු සෑමවිටම දැනුම, අත්දැකීම්, අවබෝධය, සාමාන්‍ය දැනීම යන කාරණා කිහිපයකම එකතුවකි. කිසියම් දෙයක් පිළිබඳ යම් කෙනෙක් විශිෂ්ටත්වය දක්වන සාධක කිහිපයක් ඇත. ඒ, යමක් පිළිබඳ ඇති උනන්දුව, කැපවීම, පළපුරුද්ද, දැනුම සහ දක්ෂතාව ආදියයි. දක්ෂතාවක් ඔප්නැංවීමට නම් නිතර ප්‍රායෝගික පුහුණුව ලබා ගත යුතුය. එපමණක් නොව තමා සතු චිත්තශක්තිය ද වැඩිදියුණු කරගත යුතුය. ඇමරිකානු ජාතික පර්යේෂකයකු වූ තෝමස් අල්වා එඩිසන් පවා විදුලි බුබුළ නිපදවීමේදී 999 වතාවක්ම ආසාර්ථක වුවත් තම පරීක්ෂණ අත්හදාබැලීමේ උත්සාහය අත්නොහළේය.

කුඩා කල සිට යම් යම් දේ අත්හදාබැලීමටත්, යම් උපකරණයක් අලුත්වැඩියා කිරීමටත් ඇති හැකියාව සහජයෙන්ම ලැබී ඇති, ඉංජිනේරු විද්‍යාවටත්, ජීව විද්‍යාවටත් එකසේ අැළුම් කළ උශාන් සකුන්ත ගම්පහ බණ්ඩාරනායක විදුහලේ විද්‍යා අංශය ඔස්සේ උසස් පෙළ හදරා ශ්‍රී ලංකා තාක්ෂණික විද්‍යාලයට ඇතුළු වන්නේ විශ්වවිද්‍යාල වරම් ලැබෙනාතුරුය. තාක්ෂණික විද්‍යාලයේ තෙවැනි වසරේ ඉගෙනුම ලබනා සකුන්ත නිර්මාණ කිරීමෙහිලා නව දැනුම ලබා ගනිමින් එයට අවශ්‍ය අඩිතාලම සකසා ගන්නේ මෙහිදීය. එමෙන්ම උශාන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ පළමු වසරේ ඉගෙනුම ලබනා විද්‍යාර්ථීයෙකි. උෂාන් සකුන්ත ශ්‍රී ලංකාවේ පළමු වරට නිර්මාණය කරනා ලද PCR යන්ත්‍රය සාර්ථකව නිම කිරීමට සමත් වී තිබේ.

PCR යන්ත්‍රය යනු වර්තමාන ලෝකයේ වැඩි වශයෙන් කතාබහට ලක්වන උපකරණයකි. විද්‍යාගාර තුළ මෙතෙක් කල් PCR උපකරණ තිබුණ ද ඒ පිළිබඳ කතාබහ වැඩි වූයේ වර්තමාන කොරෝනා තත්ත්වය හමුවේයි. මේ යන්ත්‍රය නිර්මාණය කිරීමේදී ඔහුට ලැබුණු අත්දැකීම්, අභියෝග සහ යන්ත්‍රයේ ක්‍රියාකාරිත්වය පිළිබඳ උශාන් සකුන්ත දිනමිණ ‘යොවුන් ජනතා’ අතිරේකයට මෙසේ අදහස් දක්වා සිටියේය.

“2019 අග භාගය වන විට කොවිඩ් – 19 වසංගතය ටිකෙන් ටික හිස ඔසවන්න ගත්තා. මට හිතුනා මේ පිළිබඳ යම් අධ්‍යයනයක් කරන්න. මේ පිළිබඳ කරුණු අධ්‍යයනයේදී PCR යන්ත්‍රය කොවිඩ් -19 වයිරසය සොයා ගැනීමට උපකාරී වන බව මම සොයාගත්තා. මාර්තු මාසය වන විට මම මේ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය බොහොම අසීරුවෙන් සොයා ගත්තා. මොකද ඇඳිරි නීතිය නිසා අමුද්‍රව්‍ය සපයා ගැනීමේ ගැටලු මතු වුණා. පවතින තත්ත්වය යටතේ මගේ ළඟ තිබුණ අමුද්‍රව්‍ය යොදාගෙන මම මේ නිර්මාණය සකස් කළා. අපි යන්ත්‍රයක් ඉස්සෙල්ලම හදන කොට එකෙ අවසන් නිෂ්පාදනයම එක වරම එළියට දන්න අපහසුයි. මුලින් හොඳ අධ්‍යයනයක් කරන්න අවශ්‍යයි. අනිත් කාරණය යන්ත්‍රය මුලින් හදන විදිහ නෙවෙයි වැදගත් වෙන්නේ. එයින් බලාපොරොත්තු වන ක්‍රියාදාමය නිසි ලෙස සිදු වෙනවා ද කියන එකයි. ඊට පස්සේ අපිට අවසන් නිෂ්පාදනයට යන්න පුළුවන්. මොකද මේ යන්ත්‍රයට යම් ප්‍රමිතිගත තත්ත්වයක් තිබෙනවා. යන්ත්‍රයක ක්‍රියාකාරිත්වය විවිධ දේවල් තුළින් තහවුරු කර ගැනීමට අවශ්‍යයි. ඒ කියන්නේ මේ යන්ත්‍රය වයිරස් හඳුනා ගැනීමට යෝග්‍යය ද නැති ද කියන කාරණාව. වයිරසයක් හඳුනා ගන්න හැකි වුණත් යන්ත්‍රය රෝග විනිශ්චය කිරීමක් සිදු කිරීමට පුළුවන් ද කියල තහවුරු කර ගන්න පුළුවන්කමක් තියෙන්න ඕනෑ.”

“ඇත්තටම මේ වෙනකොට ලෝකය තුළ ව්‍යාප්ත වෙලා තියෙන කොරෝනා වයිරසය හමුවේ මිනිසුන් විශාල ප්‍රමාණයක් රෝගතුරුව සිටිනවා. මේ වයිරස්කාරකය කොයි වගේ ද කියලා හඳුනා ගන්න පහසුම යන්ත්‍රය වුණේ PCR යන්ත්‍රයයි. PCR කියල කියන්නේ Polymerase Chain Reaction ක්‍රියාවලියට. මීට වසර ගණනාවකට පෙර සිටම මේ ක්‍රියාදාමය භාවිත වෙනවා වයිරස්කාරක බැක්ටීරියා DNA පරීක්ෂණ හඳුනා ගන්න. PCR උපකරණ ගත්තාම කොටස් දෙකක් යටතේ නිෂ්පාදනය කරනවා. ඒ CONVENTIONAL TYPE සහා REAL TIME TYPE කියලා. මම මුලින්ම හැදුවේ CONVENTIONAL TYPE උපකරණය. මෙතනදි අපි ගන්නා සෙම පටලයට රසායනික ද්‍රව්‍ය යොදාගෙන එහි RNA කොටස වෙන් කර ගැනීමක් සිදු කරනවා. ඉන් පස්සේ වයිරසය ගුණනය වීමක් වෙනවා. ඉන් අනතුරුව, පසු පරීක්ෂණ කිහිපයක් සිදු කරන්න අවශ්‍යයි.”

“දෙවැනියට නිර්මාණය කළේ REAL TIME TYPE යන්ත්‍රය. නොවැම්බර් විතර වන විට එය නිම කළා. real time උපකරණය විවෘත කළාම ඇතුළේ තියෙනව PLATE එකක්. ඒ තුළ වයිරසය තැන්පත් කර PCR tube රැඳවීමක් සිදු කරනවා. මේ අවස්ථාවේදී යන්ත්‍රය මඟින් වයිරසය බිලියන ගණනක් බවට පිටපත් කරනවා වගේම වයිරසය හඳුනා ගැනීමක් සිදු කරනවා. වයිරස් තියෙනවාද නැද්ද කියලා තනි යන්ත්‍රයෙන් සොයාගන්න පුළුවන්. මේ සඳහා පැය 4 – 6ක පමණ කාලයක් ගත වෙනවා. මම නිර්මාණය කළ යන්ත්‍රයේ එකවර පරීක්ෂණ 22ක් සිදු කළ හැකියි. එය 100 ඉක්මවා වුණත් වැඩි කිරීමේ හැකියාව පවතිනවා. එය තීරණය වන්නේ මෙහි භාවිත කරනා වෙල් ප්ලේට් එක අනුවයි. මේ ක්‍රියාවලිය තමයි PCR පර්යේෂණ ක්‍රියාවලිය කියන්නේ. අපේ රටේ කොරෝනා තත්ත්වයට කලින් නම් යන්ත්‍ර 150කට ආසන්න ප්‍රමාණයක් විවිධ ස්ථානවල තිබුණා.”

උෂාන් තවදුරටත් කියා සිටියේ PCR යන්ත්‍රයක වෙළෙඳපොළ වටිනාකම රුපියල් ලක්ෂ 30 ඉක්ම වන බවත් මෙය රුපියල් 100,000ක් වැනි මුදලකට මෙරට නිෂ්පාදනය කළ හැකි බවත්ය. PCR යන්ත්‍ර සඳහා භාවිත වන නවීනතම තාක්ෂණයත් මේ සඳහා භාවිත කර තිබෙනා අතර, සාමාන්‍ය PCR යන්ත්‍රයක අඩංගු සියලු දේ ඔහු විසින් මේ යන්ත්‍රයට එක් කර ඇත. PCR ක්‍රියාවලිය සඳහා විශාල කාලයක් වැය වන බැවින් ඉදිරියේදී අඩු කාලයකදී වැඩි පරීක්ෂණ ප්‍රමාණයක් සිදු කිරීමට හැකි අයුරින් මේ යන්ත්‍රය තවත් වැඩිදියුණු කරමින් පෙටන්ට් බලපත්‍රය ලබා ගනිමින් මේ යන්ත්‍රය වෙළෙඳපොළට ගෙන ඒම ඔහුගේ එකම අභිප්‍රායයි.

නව නිපැයුම්කරුවන්ගේ කොමිෂන් සභාවේ කාර්ය මණ්ඩලය, ශ්‍රී ලංකා වෛද්‍ය පර්යේෂණ ආයතනයේ කාර්ය මණ්ඩලය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පීඨයටත්, තාක්ෂණික විද්‍යාලයේ සුමුදු එදිරිසිංහ ගුරුතුමාටත්, ගම්පහ බණ්ඩාරනායක විදුහලේ නව නිපැයුම් භාරව කටයුතු කළ තරංග දුනුආරච්චි ගුරුතුමා ඇතුළු කාර්ය මණඩලයටත් විශේෂයෙන් මේ දක්වා ඔහුගේ පසුපසින් ඔහුට නිරන්තරයෙන්ම ශක්තියක් වූ මව්පියන්ටත් හදවතින්ම ස්තූතිය පුද කිරීමට උෂාන් අමතක නොකළේය. උශාන්ගේ අරමුණ ඉංජිනේරු තාක්ෂණය ඔස්සේ වැඩිදුර අධ්‍යාපනය හදාරා රටට වැඩදායී නිර්මාණ රාශියක් බිහි කිරීමයි.


පියුමි කරුණාරත්න

දිනමිණ පුවත්පතේ යොවුන් ජනතා අතිරේකයෙන් උපුටා ගැනීමකි


#newstate අපගේ සටහන

ධම්මිකගේ කොරෝනා පැණිය කිසිම සායනික පර්යේෂණයකින් තොරව හිතුමතේ මාධ්‍ය මගින් ඖෂධයක් කළ රටක, මුට්ටි ගඟට දැමීම මඟින් කොරෝනා පාලනය හෝ සුව වෙනවා යයි මතයක් හදපු රටක, මෙවන් තරුණයන්ට මේ රටේවත් ඉහත කී මාධ්‍යවලවත් ඉඩක් ලැබෙන්නේ හරි කලාතුරකින් ය. මේ රටේ ඉදිරියට යා හැක්කේ මිත්‍යාවෙන් බව මේ රට විසින්ම තහවුරු කර හමාරය….

මේ රටේ පාලකයන්ට ඔවුන්ගේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට බලය ඇත. මේ රටේ මාධ්‍ය ඔවුන්ගේ පැවැත්ම තකා මිත්‍යාව සහ විනාශය වපුරුවමින් මිනිසුන්ට සිතීමට ඇති හැකියාව මොට කරමින් සිටින්නේ ය. එම නිසා මෙවැනි තරුණයන් සමඟ හයියට සිටින්නේ බිම් මට්ටමේ ඉතාම අතලොස්සකි.

මේ වෑයම මෙවැනි වටිනා මිනිසුන් වෙනුවෙන් තැනක් හැදීම ම ය….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button