ශ්‍රී ලංකාව

“ජනාධිපතිතුමණි, ඔබගේ ‘ගම සමග පිළිසඳර’ නිසා අපට රාජකාරිය කරගන්න බෑ”

- සමස්ත ලංකා වනජීවී නියාමක නිලධාරීන්ගේ සංගමය

ජනාධිපතිවරයාගේ ගම සමග පිළිසඳර වැට සටහන් වලදී ජනාධිපතිවරයා ගන්නා තීන්දු නිසා ජනතාව නීතිය අතට ගන්නා තත්ත්වයට පත්ව ඇති බවත්, වන ජීවී නිලධාරීන් ඇතුළු රජයේ නිලධාරීන්ට වන ජීවීන්, රක්ෂිත භූමි රැකගැනීම වෙනුවෙන් රාජකාරි කිරීමට නොහැකි තත්ත්වයකට පත්ව ඇති බවත් සමස්ථ ලංකා වන ජීවී නියාමක නිලධාරීන්ගේ සංගමය ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත මේ මස මුලදී ලිපියක් යවමින් දන්වා ඇත.

මිට ආසන්නතම සිදුවීම දහයියාගල රක්ෂිතයේ ඉඩම් අල්ලා ගැනීම බව පවසන සංගමය, දහයියාගල අලි කොරිඩෝව අවහිර වීමෙන් ඊට ඉහලින් ඇති ස්වභාවික ලවණ නිධිය භාවිතා කරන අලි සමග ජනතාව නිතර ගැනීමට සිදුවිය හැකි බවත් ඉන් අලි හා මිනිසුන් යන දෙපාර්ශවයම අවධානමට ලක්වන බවත් පවසා සිටියි.

සමස්ථ ලංකා වන ජීවී නියාමක නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ඒ.පී.එස් විදානගමගේ ගේ අත්සනින් අගමැතිට විෂයභාර ඇමැතිට විපක්ෂ නායකට පිටපත් සහිතව ජනාධිපතිට යැවූ ලිපියේ මෙසේද දැක්වේ.

නිලධාරීන් සහ අණ පනත් හෑල්ලු කරන්න එපා

මෙම වැඩ සටහන් වලදී කිසිදු නිලධාරියෙකු ඔබතුමා අභිබවමින් පිළිතුරු දීමට සදාචාරමය හැකියාවක් නොමැති කමින්, ජනතාව ඉදිරියේ ඒ නිලධාරීන්ට රක්ෂිත රැක ගැනීම වෙනුවෙන් කරුණු දැක්වීමට හැකියාවක් නොලැබේ. එමෙන්ම ඒ ප්‍රදේශවල නිලධාරීන් මෙන්ම ආයතන ප්‍රධානීන් ද ජනතාව ඉදිරියේ අපහසුතාවයට පත්වේ. එහිදී එම නිලධාරීන්ට බලය පැවරී ඇති අණ පනත් ද ජනතාවගේ හෑල්ලුවට ලක්වේ. අප මේ ආරක්ෂා කරනුයේ රටේ ජාතික සම්පත් මිස කිසිදු නිලධාරියෙකුගේ පුද්ගලික දේපොලක් නොවන අතර මෙම ස්වභාවික සම්පත් ආරක්ෂා කිරීමට කැප වී සිටින නිලධාරීන්ගේ චිත්ත ධෛර්යය පවා මෙහිදී බිඳ වැටීමට ලක්වේ. ජනතාව සතුටුු කළ යුතු නමුත් මෙපමණ කාලයක් රැකගත් ජාතික සම්පත් අනතුරේ දැමීම මුළු මහත් පුරවැසියන්ටම පසුකාලීනව විපාක දීමට සිදුවන ක්‍රියාවලියකි.

කැලෑ ප්‍රදේශ හෙළිකර වගාවන් සඳහා නිදහස් කිරීමෙන් පසුකාලීන ප්‍රථිපලය වනුයේ දෙවන තෙවන පරම්පරාව එහි ජනාවාස ආරම්භ කිරීමයි. ඉන්පසු ජනාවාස වූ කැලෑ ප්‍රදේශයට ආසන්න කැලෑ ප්‍රදේශ ක්‍රම ක්‍රමයෙන් අනවසරයෙන් අල්ලා ගනිමින් වගා කිරීමට යොදා ගන්නා අතර ජනාවාස වූ කොටසින් සම්පූර්ණ ලෙස වගාවන් ඉවත් වේ. යලි පෙර තත්ත්වයට ලක් කළ නොහැකි මේ ක්‍රියාවලියෙන් සිදුවන්නේ රටට අත්‍යාවශ්‍ය වන ගහනය දිනෙන් දින අඩුවීමයි.

ගැටළු තිබුනාටත් වඩා අන්ත තැනකට

ලංකාව තුල සිදුව ඇති අක්‍රමවත් ඉඩම් පරිහරණ රටාව හැකි අයුරින් හෝ නිවැරදි කිරීමකින් තොරව ඉඩම් පරිභෝජනය වැඩි කිරීමෙන් දැනට උද්ගතව ඇති වන සතුන් සහ ජනතාව අතර ඇති එරෙහිතාව තව දුරටත් වැඩි වනවා මිස අඩු කිරීමට නොහැකි තත්ත්යට පත්වේ. දැනටමත් වගාවන් සඳහා විශාල භූමි ප්‍රමාණයක් වෙන්ව ඇති මොහොතක එහි ඵලදායිතාව ප්‍රමාණාත්මක හා ගුණාත්මක ව වැඩි කිරීම වෙනුවට තව තවත් වන සම්පත වගාවන්ට බිලි කිරීම උචිත නොවන බව අපගේ අදහසයි. අවසානයේ සිදුවන්නේ තිබූ තැනටත් වඩා අන්ත තැනකට මෙම ගැටළු තල්ලු වීමයි.

වන සම්පත අක්‍රමවත් ආකාරයට ජාවාරම් කරුවන් හා අනවසර වගා කරුවන් අතට පත් කිරීමෙන් දහයියාගල වැනි අලි සංචරණයට වැදගත්ම ස්ථාන අහිමි කිරීම සිදුනොකළ යුතු බවත් ශ්‍රී ලංකාව තුල කෘෂිකර්මාන්තය දියුණු කරනවා මෙන්ම, රටේ ඇති ස්වභාවික සම්පත්, ජෛව විවිධත්වය, පරිසර පද්ධතිය රැක ගැනීමේ වගකීම ද ජනාධිපතිවරයා සතු වන බැවින් ඒ පිළිබඳ සංවේදී වන්නැයි සමස්ථ ලංකා වන ජීවී නියාමක නිලධාරීන්ගේ සංගමය ජනාධිපතිවරයාගෙන් වැඩි දුරටත් ඉල්ලා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button