ශ්‍රී ලංකාව

කිමිදුම්කරුවන්ගේ ගැටළු සඳහා කඩිනම් විසදුම් ලබාදීමට පියවර

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා හා සමස්ථ ලංකා කිමිදුම්කරුවන්ගේ සංගමයේ නියෝජිතයන් අතර ධීවර අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැති විශේෂ සාකච්ඡාවකින් පසුව කිමිදුම්කරුවන්ගේ ගැටළු සඳහා කඩිනම් විසඳුම් ලබා දීමට ධීවර අමාත්‍යවරයා පියවර ගෙන ඇත.

මෙහිදී රාත්‍රී කාලයේ කිමිදුම් රැකියාවේ යෙදෙන්නන්ට පනවා ඇති තහනම් නීති ඉවත් කිරීමට අවශ්‍ය කටයුතු සළසා දෙන මෙන් මෙම සංගමයේ නියෝජිතයන් අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර ඇති අතර ඊට හේතු වශයෙන් ඔවුන් සඳහන් කරන්නේ සාමාන්‍යයෙන් රාත්‍රි කාලයේදී පමණක් මුහුදු කූඩැල්ලන් වර්ග, පොකිරිස්සන් හා තාරා මාළු මතුවන බවත් ඔවුන් ඇල්ලීමට රාත්‍රී කාලයේ කිමිදුම් කටයුතු සිදුකල යුතු අතර පවතින නීති හේතුවෙන් කර්මාන්තයේ නියැලීමට හැකියාවක් නොමැති බවත් ඒ හේතුවෙන් රැකියාවේ යෙදෙන තම සාමාජිකයින්ට අසාධාරණයක් සිදු වී ඇති බවයි.

මුහුදු කූඩැල්ලන් කිලෝ 01කට රු.20,000ක් හා පොකිරිස්සන් කිලෝ 01කට රු.8,000ක පමණ ආදායමක් තමන්ට හිමි වන බවත්, 2019 මාර්තු මස 22වන දින අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් රාත්‍රී කාලයේ කිමිදුම් රැකියාව කිරීමට නොහැකි වන ලෙස පැනවූ නීති හේතුවෙන් එලෙස තමන්ට ලැබුණු ආදායම් අහිමි වී ගොස් රටට ගලා එන විදේශ විනිමය ද අහිමි වී ඇති බව ඔහුන් විසින් වැඩිදුරටත් පෙන්වා දෙන ලදි.

ධීවර අමාත්‍යවරයා මෙම ගැටළු වලට ඉක්මන් විසදුම් ලබා දෙන බවට පොරොන්දු වු අතර අදාල නිලධාරීන් සමග දුරකථන මාර්ගයෙන් සාකච්ඡා කොට කිමිදුම්කරුවන්ගේ සංගමයේ නියෝජිතයන් හට සෘජුවම නිලධාරීන් සමග සාකච්ඡා කිරීමට අවස්ථාව සලසා දෙන ලදි. එමෙන්ම එළැඹෙන අගහරුවාදා (23) අදාල නිළධාරීන් කැඳවා මේ සඳහා කඩිනම් විසඳුම් ලබා දෙන බවද අමාත්‍යවරයා විසින් පැවසීය.

මෙම සාකච්ඡාව සඳහා සමස්ථ ලංකා කිමිදුම්කරුවන්ගේ සංගමයේ සාමාජිකයන් සහ මුහුදු කූඩැල්ලන් අපනයනය කරන ආයතන වල හිමිකරුවන් ඇතුළු පිරිසක් සහභාගී විය.


පුවත් මූලාශය – රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

ඡායාරූපය – blog.divingatlantis-tenerife.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button