විශේෂාංග

“තොපේ ඒවා නෙමෙයි මේක බලාපිය” – මේ සැරේ රාජ්‍ය වෙසක් උත්සවය යාපනයේදී

උතුරේ සහ දකුණේ ජනතාවගේ සංහිඳියාව ඇති කරන්න කියලා හැමදාම කළේ මේ වගේ ගොන් වැඩ. මට මතකයි එක පාරක් එහෙන් තල් අරන් ඇවිත් මෙහේ වැව්වා, මෙහෙත් පොල් අරන් ගිහින් එහේ වැව්වා. ඒ වගේම එකපාරක් මෙහේ උන් කෝච්චියෙන් යාපනේ ගියා. යාපනේ මිනිස්සු කෝච්චියෙන් කොළඹ අරන් ආවා. ඒ වගේ දේවල් කරලා සංහිඳියාව ඇති කරන්න හැදුවා….

ඒත් සංහිඳියාව කියන්නේ නිදහසේ ජීවත් වීම කියලා දකුණේ එකාලට තේරෙන්නේ නෑ. අවුරුදු ගාණක් වෙඩි වරුසා මැද්දේ, එක දිගට යුද භූමියක් වෙලා තිබ්බ උතුරට දැන් ඕන දකුණේ මිනිහගේ නැටුම් ගැයුම් වැයුම් නෙමෙයි. උන්ට ඕන උන්ගේ culture එක විඳින්න. ඒ Culture එක පෝෂණය කරන්න. ඒ Culture එකට පණක් දෙන්න. ඒකට ආණ්ඩුව උදව් කරනවා මිසක් ඒ Culture එකට ඩැමේජ් කරන්න නරකයි.

යාපනේ බහුතරයක් හින්දු, තවත් පිරිසක් කතෝලික, ක්‍රිස්තියානි වගේ අය ඉන්නවා. එතකොට අපි වෙසක් කූඩු, තොරන්, කවිබණ, අරන් ගිහින් එහේ ප්‍රචාරය කරලා, මේ රටේ බහුතර සිංහල බෞද්ධ ජනතාවගේ වැඩ කිඩ පෙන්නන එක හරිද? ආණ්ඩුව කරන්න ඕන ඒවද? එළිවෙනකල් විරිඳුයි කවි බණයි දාලා, පාරක් පාරක් ගාණේ බෞද්ධ කොඩි වලින් සරසලා, මෙහේ ලොකු ඇත්තෝ දූකිලි අවුස්සන් වාහන වලින්, චොපර් වලින් එහේ ගිහිල්ලා වෙසක් සමරන එකේ ඒ මිනිස්සුන්‍ට තියෙන ඵලය මොකක්ද? මොකද මේ ආලවක දමනය නෙමෙයිනේ කරන්න යන්නේ.

මම හිතන්නේ මේ කරන්නේ සංස්කෘතික රිද්දවීමක්. මේක මේ සංහිඳියාව නෙමෙයි. ඒ මිනිස්සුන්ට ඕන අපේ බුද්ධාලම්බන ප්‍රීතිය බලන්න නෙමෙයි. ඒ මිනිස්සු යාපනේට ඉල්ලුවේ ඕවා නෙමෙයි. ඒ මිනිස්සු ඉල්ලන්නේ තමන්ට තමන්ගේ පාඩුවේ ජීවත් වෙන්න අයිතිය.

ඒ නිසා මේ බොරු සංහිඳියා වැඩසටහන් කරලා සංස්කෘතික කෙනිත්තිලි කරන්න එපා. ඒක පව්…. අපි කරන්න ඕන ඒ සංස්කෘතිය අපි ආරක්ෂා කරන එක. අපිත් එහේ ගිහින් ඒක විඳින එක. එහෙම නැතුව “තොපේ ඒවා නෙමෙයි මේක බලාපිය” කියන වැඩ කරන්න එපා. ඒවා වගකිව යුතු ආණ්ඩු කරන වැඩ නෙමෙයි. එහෙම ඒවා කරන්නේ කිසිම දැනුමක් අවබෝධයක් නැති මිනිස්සු.


ගයාන් ගාල්ලගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button