ශ්‍රී ලංකාව

කෘෂි අපනයන කලාප පිහිටුවීමේ ජාතික වැඩසටහන අරඹයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඉදිරිපත් කළ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව අපනයන කෘෂි කලාප ඇති කිරීමේ ජාතික වැඩසටහන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) පෙරවරුවේ ඓතිහාසික කසාගල රජමහා විහාරස්ථානයේ දී ආරම්භ විය.

රට පුරා කෘෂි අපනයන ගම්මාන හෝ කලාප පිහිටුවීමේ වැඩපිළිවෙළ යටතේ හම්බන්තොට දිස්ත්‍රික් කෘෂි අපනයන ගම්මානයේ/කලාපයේ සමාරම්භය සනිටුහන් කරමින් අගමැතිවරයා විසින් මුලින්ම ටීජේසී අඹ පැළයක් සිටුවා අනතුරුව ඉහළ අලුත්වැවට මසුන් මුදා හරින ලදි.

මෙහි දී ප්‍රදේශවාසීන්ට අඹ, කජු හා ගම්මිරිස් ඇතුළු අපනයන බෝග පැළ බෙදා දීම ද සිදුවිය. මෙම වැඩසටහනට සමගාමීව හම්බන්තොට දිස්ත්‍රික්කයේ කජු පැළ 100,000ක් වගා කිරීමට ශ්‍රී ලංකා කජු සංස්ථාව සැලසුම්කර තිබේ.

වර්තමානයේ දළ ජාතික නිෂ්පාදිතයෙන් 2%කට සීමා වී ඇති අපනයන කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ දායකත්වය 2025 වසර වන විට 4% ක් දක්වා ඉහළ නැංවීම හා කෘෂි ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීම මෙම ජාතික වැඩසටහනෙහි අරමුණය.

ඒ අනුව පළාත් නවයෙහි පාරිසරික, දේශගුණික තත්ත්වයන්ට උචිත කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබු නැටි, බුලත්, ටීජේසී අඹ වැනි අපනයන ඉලක්ක කළ ආනයන අවම කරන බෝග වගා කිරීම සහ මීමැසි පාලනය මේ යටතේ සිදු වේ.

අනුරාධපුර, කුරුණෑගල දිස්ත්‍රික්කයන්හි වගා බිම් හා වගාකරුවන් හඳුනා ගනිමින් වගා කලාප ඇති කිරීමේ මූලික අදියරේ වැඩකටයුතු දැනට ක්‍රියාත්මක අතර 2021 වසර අවසන් වන විට දිස්ත්‍රික්ක 10ක කෘෂි අපනයන කලාප/ගම්මාන 100ක් ස්ථාපිත කිරීමට නියමිත ය.

මෙමගින් ග්‍රාමීය ජනතාව ඒකරාශි කරමින් ජාතික හා ජාත්‍යන්තර වෙළඳපොළ ඉලක්ක කොට නිෂ්පාදන සිදු කිරීමට අපේක්ෂිත ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button