විශේෂාංග

නියාමනයකට යටත් කළයුතු ලවුඩ්ස්පීකර් බුද්ධාගම

- රත්තනදෙණියේ මේධානන්ද හිමි

මීට කලකට ඉහත ගීතිකා ධර්මසිංහ මහත්මිය විසින් මුහුණු පොතේ බෙදාගෙන තිබුණ පුවතකින් දැක්වුණේ අකුරැස්ස ගල්කැටිය ශ්‍රී බෝධිරුක්ඛාරාමයේ ශබ්ද විකාශන යන්ත්‍ර මගින් තමන්ට මහත් පිඩාවක් ගෙනදෙන බව පවසමින් ශබ්දය අඩු කරන ලෙස ඉල්ලාසිටි ගම්වාසියෙකුගේ නිවසට පන්සලේ දායකසභාව විසින් පහරදී අලාභ හානි සිදුකර ඇති අන්දමයි. එහි අනෙක් පැත්ත මීට මාස හයකට පමණ පෙර වාර්තා වූයේ අනුරාධපුර දිස්ත්‍රික්කයෙනි. කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වහගපුවැව ශ්‍රී සුමංගලාරාමයේ විහාරාධිපති හිමියන්ට අසල්වාසී පිරිසක් පහරදී තිබුණේ විහාරස්ථානයෙන් නැගෙන ලවුඩ්ස්පීකර් නාදය හේතුවෙන් දිගු කලක සිට වෛර බැඳගත් කෝන්තරයක ප්‍රතිඵලයක් වශයෙනි. 2015 වසරේ දෙසැම්බර් මස දිනක රත්මලාන ප්‍රදේශයේ වෙසෙන වයෝවෘද්ධ කාන්තාවක් සති අන්ත පුවත්පතක ‘කර්තෘට ලියුම්’ තීරය වෙත ලියූ දුක්ගැනවිල්ලකින්ද කියවුණේ හෘදයාබාධයකින් ඔත්පල වී සුවය ලබමින් සිටින ඇගේ සැමියාට, නිවස අසළ ඇති පන්සලේ ලවුඩ්ස්පීකර් යුගලයෙන් නැගෙන කඨෝර ශබ්දය දරාගත නොහැකි බවත්, වයසක රෝගියෙකුට පවා විවේක සුවය අහිමි කරන කවි බණවලින් හා ලවුඩ්ස්පීකර් පිරිත් සජ්ඣායනාවලින් ශබ්ද දුෂණය ඇතිකරනවා හැර ඇති ඵලය කුමක්ද යන්නයි. පිළියන්දල හැඩිගම යටියනවත්ත ප්‍රදේශයේ බුදු මැඳුරක් ඉදිකර දිනපතා උදේ හවස මෙන්ම පෝය දවසට පැය 24 පුරාම නැඟුණ කඨෝර ශබ්දය දරාගත නොහැකි ප්‍රදේශවාසින් පිරිසකට එය නතරකර ගැනීමට පොලීසියට පැමිණිලි කරන්නට සිදුවිණි. තවත් මෙබඳු සිදුවීම් කොතෙකුත් රට පුරා ඇතත් යම් පමණකට හෝ සමාජ අවධානයක් ඇති වූයේ 2017 දී හිටපු අමාත්‍යවරයෙක් වූ මිලින්ද මොරගොඩ මහතා උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහිව අධිකරණයට යාමේ සිද්ධියයි.

යහපාලන ආණ්ඩුව සමයේ වූ සිදුවීමක් බැවින් එයට දේශපාලන වර්ණයක් ආලේප වූවා මිස කායික හා මානසික වශයෙන් බොහෝ පිරිසක් පිඩාවට පත් කැරෙන මේ ආගමික කන්දොස්කිරියාවන්ට එරෙහිවන ඇත්ත සංවේදී කාරණා ගැන ගැඹුරු සාකච්ඡාවක් ඇති නොවිණි. සිංහල බෞද්ධ විරෝධී එන්ජීඕ සංවිධාන ලවුඩ්ස්පීකර් බුද්ධාගම් විරෝධයේ ප්‍රමුඛයන් බැවින් බොහෝ බෞද්ධයන් මේ ප්‍රශ්නය දකින්නේ බුදු දහමට ඔවුන්ගෙන් එල්ලවන තර්ජනයක් ලෙසිනි. එහෙත් මේ ශබ්ද දුෂණ විරෝධය යට ඇති මානුෂික කාරණා දෙස සිතා බැලීමට භික්ෂූන්ගේ ආකල්ප සංවර්ධනය වී නැත්නම් කඨෝර ස්පීකර් නාදයෙන් පීඩා විඳින සිංහල බෞද්ධ ජනයාම එන්ජීඕ සංවිධානවල පිහිට පතන තැනට තල්ලුවීම වැළක්විය නොහැකියි. අද බොහොමයක් විහාරස්ථාන ආශ්‍රිත දායකයන් පන්සල සමග අමනාපවී ඇත්තේ පින්කම් නාමයෙන් සිදු කැරෙන මේ ලවුඩ්ස්පීකර් ගෝරණාඩුවෙන් ඔවුන්ට ජිවිතකාලයම පිඩා විදින්නට සිදුව ඇති නිසාය. මෛත්‍රිය, දයාව, කරුණාව ගැන පෝය දොළහටම යකඩ කටින් බණ කියන සංඝයා වහන්සේලාගෙන්ම අසල්වාසීන්ට එම ගුණාංගවලින් පිළිසරණක් නොමැති වීම කණගාටුවට කරුණකි.

භික්ෂුන් වහන්සේලා වස්විසීම ආරම්භ කරන්නේ ඇසළ පෝයෙන් වන අතර එතැන් පටන් ඉල් පෝය එළැඹෙන තෙක් හාර මාසයක් යනතෙක්ම කඨින පෙරහැරට අමතරව සෑම විහාරස්ථානයකම පාහේ බෝධි පුජා, අටවිසි පුජා, ධර්ම දේශනා, දරුවන් පැවිදි කිරීම් ඇතුළු තවත් අනුශංගික පිංකම් රැසක් සිදුවෙයි. වසරේ මාස 12න් හාර මාසයක්ම දායකයන් සූරාකෑම සඳහාම අටවා ගන්නා ලද මේ පින්කම් වලින් සිදුකරන ශබ්ද දුෂණය සුළුපටු නැත. ඇතැම් විහාරස්ථානවල එම කාලසීමාවේ උදේ හවස මහ හඩින් පිරිත් පටි විකාශනය කරන අතර ඇතැම් විහාරස්ථාන සති අන්තයේ පමණක් එම කටයුත්ත සිදු කරයි. මීට අමතරව වෙසක් පොසොන් වැනි සුවිශේෂී පෝය දිනයන් වෙනුවෙන් සතියක් දෙකක් තිස්සේ නැවතත් මිනිසුන්ගේ පසුම්බිය හින්දන වැඩසටහන් ක්‍රියාත්මක කරයි. සෑම පෝයකම දවසේ 24 පැයේම ලවුඩ්ස්පීකරය ක්‍රියාත්මක කිරීම අනිවාර්යය අංගයකි. ඒ අනුව වසරේ වැඩිම කාලයක් ශබ්ද විකාශන යන්ත්‍ර මගින් මිනිසුන්ගේ හා පරිසරයේ ස්වභාවික රිද්මය කඩාකප්පල් කිරීමට හේතුවන ශබ්ද දූෂණයට වැඩිමනක් දායක වන්නේ බෞද්ධ භික්ෂුන් වහන්සේලා බව පැහැදිලිය. පන්සල් පමණක්ම නොව පල්ලි, කෝවිල් ආදී සියලු ආගමික ස්ථානයන් මගින් සිදුකැරෙන ආගමික ඝෝෂාවලින් ශබ්ද දුෂණය සිදුවෙන අතර ඊට අමතර තවත් හේතු රැසක්ද පවතී.

පාරිසරික ශබ්ද දූෂණය

පරිසර දූෂණය විවිධ ක්‍රම ඔස්සේ සිදුවෙන අතර අධික ශබ්දය ද ඒ අතර ප්‍රමුඛ වෙයි. ශබ්ද දූෂණය ලෙස හැඳින්වෙන මෙයින් සිදු වන්නේ මිනිස් හෝ සත්ව ජීවිතයේ ක්‍රියාකාරිත්වයට විවිධාකාර බලපෑම් ඇති කරන ශබ්දය ප්‍රචාරණය කිරීමයි. මිනිසා විසින් සාදන ලද ක්‍රියාකාරකම් හේතුවෙන් ඇතිවන ශබ්දය හා පාරිසරික ශබ්දය ලෙස ශබ්දය දෙයාකාර වෙයි. පාරිසරික ශබ්දය යනු පාරිසරික ක්‍රියාකාරකම් රාශියකින් සිදුවන ශබ්දයයි. සතුන්ගේ සංසර්ග ඇමතුමේ සිට ගිගුරුම් සහිත වැසි දක්වා වූ මෙම පාරිසරික ශබ්දය බොහෝ විට ඩෙසිබල් 140 දක්වා ඉහළ යයි. මේ පාරිසරික ශබ්දය අපට කෙසේවත් පාලනය කිරීමට හෝ නියාමනය කිරීමට නොහැකි අතර අපට කළ හැක්කේ මිනිසාගේ ක්‍රියාකාරකම් හේතුවෙන් ඇතිවන ශබ්දය පාලනය කිරීම පමණි.

මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ඇතිවෙන ශබ්ද

ලොව පුරා මිනිසාගේ ක්‍රියාකාරකම් මගින් පැන නගින එළිමහන් ශබ්ද දුෂණය ප්‍රධාන වශයෙන් සිදුවන්නේ යන්ත්‍ර සූත්‍ර, ප්‍රවාහනය සහ ප්‍රචාරණ පද්ධති මගිනි. කාර්මීකරණයේ ප්‍රතිඵලයක් වශයෙන් නොවැලක්විය හැකි විශාල ශබ්ද ප්‍රමාණයක් කර්මාන්තශාලාවල යන්ත්‍ර සුත්‍ර ආදියෙන් පිටවේ. එමගින් වන ශබ්දයෙහි බලපෑම අවමකර ගැනීම සඳහා සේවකයන්ට කන් ආවරණ පැළඳ සිටීමද සිදුව ඇත. මේ හැරුණු විට ලී මඩු, ඇඹරුම් මෝල්, මෝටර්, ජෙනරේටර්, ජනක යන්ත්‍ර, වැකුම් ක්ලීනර්, වායුසමීකරණ තණකොළ කපන යන්ත්‍ර ආදියේ සිට ගෘහාශ්‍රිත රෙදිසෝදන යන්ත්‍ර, පිටාර පංකා වැනි උපකරණද “ශබ්ද” නිපදවීමට දායක වෙයි. අපේ ජීවිතවලට ශබ්දය කොතරම් සාමාන්‍යකරණය වී තිබෙන්නේ දැයි කිවහොත් නිවසේ ඇති කුඩා විදුලි උපකරණවල පවා නිරන්තරයෙන් “හම්” හෝ “බීප්” ශබ්දයක් ඇත. පාලම්, බෝක්කු, ගොඩනැගිලි, මහා මාර්ග වැනි ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළින් නිකුත්වන හඩවල් ද ශබ්ද දුෂණයට බෙහෙවින් දායක වේ.
රථ වාහන, ගුවන් යානා, දුම්රිය, ආදියෙන් නැගෙන ශබ්ද හා එවායේ නලා හඩවල්ද අධික ලෙස ශබ්ද දුෂණයට හේතුවන ප්‍රධාන සාධක අතර තිබේ. පොදු ප්‍රවාහනයේදී හෝ පුද්ගලික ගමනාගමනයේ දී ඇතැම් රටවල රියදුරන් නලාව නොහඩවා රිය පැදවීමට ශික්ෂණයක් ඇතිකර ගත්තද අප රටේ නොහික්මුණ රියදුරන් වාහන පදවන්නේ නලාව උඩ වාඩිවී ඇති ආකාරයෙනි. පුද්ගලික බස්රථ රියදුරන් එක නලාවක් වෙනුවෙට අධි සංඥා නිකුත් කරන නලා කිහිපයක්ම සවිකරගෙන අතිශය පිඩාකාරි හඬවල් නිකුත් කරමින් පාරේ ඉගිලෙනු දැකිය හැකියි.

නුතන වෙළඳ ප්‍රචාරණ උපක්‍රම ලෙසද මිනිසුන්ගේ ආකර්ෂණය දිනා ගැනීම සඳහා පාරිභෝගිකයන්ට විශාල ශබ්දයක් ඇස්සවීමට සැලැස්වීමෙන් භාණ්ඩ අලෙවිකරණ පුද්ගලයින්ද ඕනෑම නගරයක දැකිය හැකියි. දුරකථන උපාංග අලෙවිකරණ වෙළෙන්දන් තම කඩය ඉස්සරහා විශාල බෆල් තබාගෙන කන්අගුළු වැටෙන තරමේ ඝෝෂාකාරී සංගීතයක් නිකුත් කරනු ලබයි. අනෙකුත් වෙළදසැල් මෙන්ම ලොතරැයි කූඩුවලින් ද නිකුත් කරන ශබ්දය ආගමික ස්ථානවලින් සිදුකරන ශබ්ද දුෂණයට නොදෙවෙනිය. දුර්වල නාගරික සැලසුම්, විවාහ සාද, එළිමහන් සංගීතය, වැනි සමාජීය කරුණුද ශබ්ද දුෂණය කෙරෙහි බලපායි.

ඩෙසිබල් අගය

ශබ්දයේ තීව්‍රතාව මනින ඒකකය වන්නේ ඩෙසිබල් අගයයි. දෙදෙනකු අතර ඇතිවන සාමාන්‍ය කතාබහක ශබ්දය පවා ඩෙසිබල් 20-30 පරාසයක පිහිටන අතර එයද සුවදායී නින්දකට බාධා කරයි. 2011 දී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් Burden of Disease From Environmental Noise (පාරිසරික ශබ්දය හේතුවෙන් හටගන්නා රෝගාබාධ ) යන මාතෘකාව යටතේ වාර්තාවක් නිකුත් කළ අතර ඊට ඔවුන් වසර 10 ක් තිස්සේ එකතු කරන ලද දත්ත ඇතුළත්ය. ශබ්දය වැඩිහිටියන් හා ළමුන්ගේ සෞඛ්‍යයට අහිතකර ලෙස බලපාන බව නිගමනය කර ඇත්තේ එතරම් දීර්ඝ කාලයක් තිස්සේ කරන ලද අධ්‍යයනවලින් පසුවය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවලට අනුව ඩෙසිබල් 80 වඩා වැඩි සියලු ශබ්දවලට දිගු කාලයක් කන නිරාවරණය වීමෙන් ශ්‍රවණාබාධ සිදුවන බව පෙන්වාදී තිබේ. WHO සංවිධානය පවසන්නේ ශබ්දය මිනිස් යහපැවැත්මට ඇති ප්‍රධාන තර්ජනයක් ලෙස හඳුනාගත යුතු බවයි. ශ්‍රවණ ධාරිතාව මත ශබ්දයෙන් වෙන බලපෑම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්වන අතර වැඩිහිටියකුගේ ශ්‍රවණ ධාරිතාව බිලිදු දරුවන්ට නොමැති හෙයින් අධික ශබ්ද දරුවන්ගේ කන් බෙරයට සැළකිය යුතු හානියක් සිදු කරයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවලට අනුව ලෝක ජනගහණයෙන් සියයට 5 % කට වඩා (මිලියන 360ක් ) බිහිරන් වී සිටිති. සම්පූර්ණ ශ්‍රවණ විකෘතිතාවයේ හෝ අඩු ශ්‍රවණ හැකියාව සහිත දරුවන් “උපතින්ම ශ්‍රවණාබාධ සහිතව උපදින්නට ඇතැයි සිතන අය” අතුරින් වැඩි දෙනෙකුට බලපා ඇත්තේ බිලිදුම අවධියේ ඔරොත්තු නොදෙන ශබ්දයන්ට දිගින් දිගටම කන නිරාවරණයවී තිබීමෙන් වූ හානිය. අධික ශබ්දයකදී කන් අගුළු වැටුණේ යැයි අප පවසන්නේ කෙටි වෙලාවකට කිසියම් ශබ්දයක් ශ්‍රවණ හැකියාවන්ට බාධා කරන විටදීය. එහෙත් එය දිගුකාලයකට පෙරළෙන අවස්ථා තිබේ.

සාමාන්‍යයෙන් දෛනික කටයුතුවලදී නිර්මාණය වන ශබ්දයේ තීව්‍රතාවට නිදසුන් කීපයක් දැක්විය හැකියි. නිවසක සාමාන්‍ය ශබ්දය ඩෙසිබල් 40 පමණ වන අතර කාර්යාලයකදී එය 60 dB සීමාවක පවතී. වැකුම් ක්ලීනර් යන්ත්‍රයක ශබ්දය 75 dB කි. තණකොළ කපන යන්ත්‍රයක 90 dB කි. යතුරු පැදියක ශබ්දය 87 සිට 90 dB අතරය. අවන්හල් සහ සිනමාශාලා 75 සිට 90 dB කි. ට්‍රක්-බස් වැනි ප්‍රවාහනයේ ශබ්දය 95 සිට 100 dB දක්වා වෙයි. ඝෝෂාකාරී රොක් ප්‍රසංගයක හෝ එළිමහන් සංගීතයක ශබ්දය ඩෙසිබල් 120 dB පමණ වේ. තනි ගුවන් යානයක ශබ්දය 130 dB ඉක්මවයි. මේ ආකාරයට තවත් නිදසුන් දැක්විය හැකි අතර පොදුවේ ගත්කළ මෙයින් ඩෙසිබල් 80 ට වඩා වැඩි සියලුම ශබ්ද කනට බරපතල හානි සිදු කිරීමේ අවධානමක් පවතින බව ලෝක සෞඛ්‍යය සංවිධානය පෙන්වා දී තිබේ. ශබ්ද විකාශන යන්ත්‍රයක හඬ ඩෙසිබල් 85 ඉක්මවන බැවින් දිගින් දිගටම කඨෝර ලවුඩ්ස්පීකර් නාදයට කන් නිරාවරණය වීමෙන් සම්පූර්ණයෙන්ම හෝ අර්ද්‍ර වශයෙන් ශ්‍රවණ විකෘති තත්ත්වයන් ඇතිවීමට ඉඩ තිබේ. එය කොපමණ කාලයක් හා කොපමණ වාර ගණනක් ශබ්දයට කන් නිරාවරණය වී තිබේද යන්න මත තීරණය වෙන බව ලෝක සෞඛ්‍යය සංවිධානයේ අදහසයි. ඩෙසිබල් 80 ට වැඩි ශබ්දයක් පැයකට වඩා කාලයක් ශ්‍රවණය කිරීම මගින් මිනිසෙකුගේ කන් බෙරයට සැලකිය යුතු හානියක් සිදුවෙන බව ඔවුන් පෙන්වා දී තිබේ. ලවුඩ්ස්පීකර් යනු අද ශබ්ද දූෂණයේ ප්‍රධානම මෙවලමක් බැවින් පන්සල්, පල්ලි, කෝවිල් යන සියලුම ආගමික ස්ථානයන් මගින් සිදුකරන ශබ්ද දූෂණයන් විධිමත් නියාමනයකට ලක් කළ යුතුය.

ශබ්ද දූෂණයෙහි සෙසු බලපෑම

ශ්‍රවණාබාධ ඇතිවීමට අමතරව විවිධ සෞඛ්‍ය ගැටලු කෙරෙහිද ශබ්දය බලපාන බව ලෝක සෞඛ්‍යය සංවිධානය පෙන්වා දෙයි. ආක්‍රමණශීලී හැසිරීම්, නිරන්තර ආතතිය, අධි රුධිර පීඩනය සහ තෙහෙට්ටුව අධික ශබ්දය සමඟ සබඳතාවක් ඇති බැවින් පසුකාලීනව ජීවිතයේ වඩාත් දරුණු හා නිදන්ගත සෞඛ්‍ය ගැටලු ඇතිවිය හැකිබව පෙන්වා දෙයි. ශබ්දය හෘද ස්පන්දන වේගයද වැඩි කරන බැවින් එය සාමාන්‍ය රුධිර ප්‍රවාහයට බාධා කරයි. මානසික ආතතිය හා සම්බන්ධ හෘදයාබාධ ඉහළ යාමටද ශබ්දයේ අහිතකර බලපෑම හේතුවී තිබේ.

දෙවැන්න ශබ්දය නිසා නින්ද අහිමිවීමෙන් ඇතිවන නිදි ආබාධයි. සුවදායක නින්දක් නොමැති ඕනෑම අයෙකුට තෙහෙට්ටුව සම්බන්ධ ගැටලු කිහිපයක් අත්දැකිය හැකි අතර එය කාර්යාලයේ මෙන්ම නිවසේ කාර්යයන් කෙරෙහිද බලපායි. එබැවින් අපගේ ශරීරයට නිසි විවේකයක් ලබාදීම සඳහා හොඳ නින්දක් අත්‍යවශ්‍ය බව වෛද්‍යයවරු රෙකමදාරු කරනු ලැබේ. ශබ්දය නින්දට බාධාවක් වනවිට එමඟින් කෝපය පවා හටගෙන සිරුරට අහිතකර ලෙස මානසික සමතුලිතතාවය බිද වැටෙයි. ඩෙසිබල් 30 ට වඩා වැඩි ශබ්ද ඇති විට මිනිසුන්ට නිදාගත නොහැකි අතර නිවසේ රූපවාහිනි ගුවන්විදුලි යන්ත්‍ර පවා ක්‍රියාකරවිය යුත්තේ ඊට අඩු මාත්‍රාවකිනි.

වන ජීවීන්ට ඇති බලපෑම

අධික ශබ්දයෙන් මිනිසුන්ටත් වඩා පීඩා විදින්නේ ගෘහාශ්‍රිත සතුන් හා වනජීවින්ය. තද නින්දක වෙසෙන බල්ලන් පූසන් වැනි සතුන්ට ගසකින් වැටෙන සියඹලා කොලයක ශබ්දයට පවා ඇහැරෙන ඉසියුම් දෙසවන් තිබේ. කුඩා ශබ්දවලටත් සංවේදී ඉහළ ශ්‍රවණ හැකියාවක් ඇති සියලු ජීවීන් ශබ්දය නිසා චර්යාත්මක ගැටලුවලට මුහුණ දෙයි. නිවෙස්වල සුරතල් සතුන් මුලුගැන්වීම හෝ උඩුබිරීම වැනි ආක්‍රමණශීලී චර්යා පෙන්නුම් කරන්නේ දැරිය නොහැකි ශබ්දයට ඔවුන් දක්වන ප්‍රතික්‍රියාවක් වශයෙනි.

අධික ශබ්දය කුරුල්ලන් වැනි සතුන්ටත් දැරිය නොහැකි අතර ඇතැම් සතුන් ශබ්දය නිසා ඇතිවන ශ්‍රවණාබාධ හේතුවෙන් වෙනත් සතෙකුට පහසුවෙන් ගොදුරක් වන අවස්ථාද තිබේ. මේ හැරුණු විට බාහිර ශබ්දයන් නිසා ජීවීන්ගේ ප්‍රජනයන සදහා අවශ්‍ය සංසර්ග ඇමතුම් විරුද්ධ ලිංගිකයාට ඇසීමට නොහැකි වේ. එහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රජනනය කිරීමට නොහැකි වී සත්ව ගහනය අඩුවීමටද හේතු වේ. සත්ව සංඥා පද්දතිය බිඳවැටීමෙන් අපට ආවේණික දුර්ලභ සතුන් වඳ වී යාමත් පරිසර පද්ධතියේ සමතුලිතතාවයට අවශ්‍ය ඇතැම් සතුන් පහසුවෙන් නැතිවී යාමටත් ශබ්ද දුෂණය හේතුවෙන බව මින් පැහැදිලිය.

ලවුඩ්ස්පිකර් බුද්ධාගම

ඉහත කරුණුවලට අනුව කායික, මානසික හා පාරිසරික වශයෙන් කොතරම් අහිතකර ශබ්ද ප්‍රමාණයක් වාතලයට මුදාහැරෙන්නේ ද එහි අහිතකර බලපෑම කෙතරම්ද යන්න ඕනෑම අයෙක්ට සිතා බැලිය හැකියි. එබදු තත්ත්වයක් යටතේ නිහඬතාවය ඉහළින්ම අගය කළ ශාස්තෲන් වහන්සේ කෙනෙක්ගේ දහමක් පිළිගන්නා භික්ෂූන් වහන්සේලාද ලවුඩ්ස්පිකර් ගෝරනාඩුව දස අත පතුරුවමින් සිටින්නේ අනාගත පරපුර බිහිරන් කිරීමේ ව්‍යාපෘතියකට දායක වන්නා සේය. පේරාදෙණි සරසවියේ උපාධි අපේක්ෂක එක් භික්ෂූන් වහන්සේ නමක් අප සමග පැවසුවේ නුවර ජනතාව පාන්දර අවදිවන්නේ පන්සල්වලින් නැගෙන පිරිත් නාදයෙන් බවයි. විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලබන ශිෂ්‍ය භික්ෂුන් පවා මේ පිළිබඳ කොතරම් ලඝු මනසකින් යුක්තදැයි මෙයින් පිළිබිඹු වෙයි.

එම ළාමක තර්කයට අනුව රාත්‍රී වැඩමුරය අවසන්කොට පාන්දර නින්දට වැටෙන කම්කරුවන්ද, දුර බැහැර ගමනක් බිමනක් ගොස් පසුදා වැඩට යාමට පාන්දර පැයක දෙකක සුව නින්දක් පතන මිනිසුන්ද, මහල්ලන්ද, රෝගීන් ද, බිලින්දන් යන සියල්ලෝම ලවුඩ්ස්පීකර් නාදයෙන් අවදිවී පිරිත් ඇසිය යුතුය. විභාගවලට සුදානම් වන දරුවන්ට පාඩම් කිරීමට ඇති කාලයෙන් වැදගත්ම හෝරා දෙකක් අත්හැරිය යුතුය. ඇතැම් බිරින්දෑවරුන් රාජකාරියට යන ස්වාමියාට උයා පිහා දෙන්නේත් ගෙදරදොර කටයුතු කරගන්නේත් කුඩා ළමුන් නිදිගන්වා ලබාගන්නා නිදහසිනි. ලවුඩ්ස්පීකර් නාදයෙන් දරුවන්ගේ අවදිවීම නිවසේ කටයුතුවලදී කොතරම් වදයක් දැයි දන්නේ දරුවන් දෙතුන් දෙනා ඇති මව්වරුන් මිස භික්ෂුන් වහන්සේලා නොවේ. පිරිත් ඇසීමට අවශ්‍ය නම් ඕනෑම නිවසක ඒ සදහා රේඩියෝ කැසට් වැනි උපාංග තිබෙන යුගයක ගම්වාසීන්ට බලහත්කාරයෙන් පිරිත් ඇස්සවීම නොකළ යුතු ක්‍රියාවකි. ඔවුන්ට එය පිඩාවක් වුවද ඊට විරුද්ධ නොවන්නේ පන්සල කියන නිල නොලත් පාලන අධිකාරියේ බලයට අභියෝග කිරීමට ඔවුනට නොහැකි නිසාය. “බණ පිරිත් වලටත් අකමැති බෞද්ධයෝ” යැයි ලේබලය අලවන අනෙක් මිනිස්සුන්ගේ ගර්හාවටත් අවමානයටත් ලක්වීමට ඇති අකමැත්ත නිසාය. මරණයකදී පාංශුකූලය නොදී අවසන් කටයුතු කිරීම සමාජ අපවාදයක් නොවන්නට ඇත්තෙන්ම මිනිස්සු වැඩි හරියක් අද තමන්ට මහත් පිඩාවක් හා බරක් වී තිබෙන ආගමෙන් නිදහස්වී බොහෝ කල්ය.

තවත් භික්ෂුන් වහන්සේ නමක් පැවසුවේ ලවුඩ්ස්පීකර්වලින් සිදුවන ශබ්ද දූෂණය නතර කළයුතු නම් පාරේ දුවන බස්රථත් නතර කළයුතු නොවේද යන්නයි. මේ පිළිබඳ කැරෙන සංවාදවලදී බොහෝ භික්ෂුන්ට ඇත්තේ මෙවැනි අටකලන්පන්නයේ තර්කයි. සියලු ආකාරයේ ශබ්ද පාලනය කළ හැකිනම් එය කොතරම් පාරිසරික සංහිඳීයාවට හිතකර ද යන්න කොරෝනා වසංගතයෙන් මිනිස්සු ගෙවල් තුළම රදවා තැබූ කාලයෙන් පැහැදිළියි. නමුත් රටේ ආර්ථිකයට උරදෙන කර්මාන්තශාලා හෝ රැකියා සඳහා යන එන ගමනාගමන පද්දතියට තහංචි දැමිය නොහැකියි. එවැනි නොවැලක්විය හැකි ශබ්ද හැර රටේ ජාතික ආර්ථිකයට කිසිදු දායකත්වයක් නොදක්වන සියලු ආකාරයේ ශබ්ද දූෂණයන් නියාමනය කළ යුතුය.

සැබෑ බුදුදහම

පරිසරයේ නිහඬතාවට මෙන්ම අනුන්ට හිංසාවක් නොවන ලෙස ජීවත්වීම කෙරෙහි බුදුදහම විශේෂ අවධානයක් යොමු කර තිබේ. දිනක් බුදුරදුන්ගේ ගන්ධ කුටිය අසලට සැරියුත් මුගලන් දෙනම සමගින් පැමිණි ආධුනික භික්ෂු පිරිසකගේ ඝෝෂාකාරී හැසිරීම නිසා ආනන්ද හිමියන්ට බුදුරදුන් පැවසුවේ කොවුලන් සේ මහත් ශබ්ද නගමින් කෑගසන භික්ෂුන් එම ස්ථානයෙන් පිටමං කරන ලෙසයි. වරක් සකුළුදායි පිරිවැජියා සහ පොට්ඨපාද පිරිවැජියා බුදුරදුන් වඩිනු දැක ඔවුන්ගේ අනුගාමික පිරිස නිහඬ කලේ “භවත්නි, නිහඬ වන්න. ශබ්ද කරන්න එපා. ශ්‍රමණ භවත් ගෞතමයෝ එති. ඒ ආයුෂ්මත්හු නිහඬබව කැමති වෙති. නිහඬබවේ ගුණ කියති. පිරිස නිශ්ශබ්දව සිටිනබව දැනගතහොත් උන්වහන්සේ මෙහිත් වැඩම කරාවි” යනුවෙන් පවසමිනි. (සකුළුදායි සූත්‍රය/පොට්ඨපාද සුත්‍රය) අජාසත්ත රජු පළමු වරට බුදුන් වහන්සේ දැකීමට ගියේ භික්ෂූන් 1250 ක් වැඩසිටි ජීවකගේ අඹ වනයටයි. මුලින්ම රජු මහත් පුදුමයටත් දෙවනුව පැහැදීමටත් පත්වූයේ එතරම් පිරිසක් වැඩ සිටින භුමිය තුළ කිඹුහුමක තරමටවත් ශබ්දයක් එහි නොවූ නිසයි. බුදුන් වහන්සේ විටක රැස්ව සිටි භික්ෂු පිරිසකට කළ අවවාදයක් වන්නේ ආර්ය තුෂ්ණිම්භාවයෙන් වාසය කළයුතු බවයි. එලෙස නිහඬතාවය ඉහළින්ම අගය කළ ශාස්තෘවරයකුගේ දහමක් පිළිගන්නා සංඝයා වහන්සේලා අද මේ කරමින් සිටින්නේ කුමක් දැයි විවේක බුද්ධියෙන් විමසා බැලිය යුතු නොවේද?.

නීතිය ක්‍රියාත්මක නොවීම

2007.11.09 දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත්කරන ලද මූලික අයිතිවාසිකම් ඉල්ලුම්පත්‍ර 38/5 දරන නඩු තීන්දුවට අනුව දණ්ඩනීති සංග්‍රහයේ 261 වගන්තිය යටතේ “ශබ්ද විකාශන යන්ත්‍රවල ශබ්දය” මහජන පිඩාවක් ලෙස සලකා සියලු තරාතිරම්වල පොලිස් නිලධාරීන්ට ක්‍රියාත්මක කළයුතු උපදෙස් මාලාවක් ලබා දී තිබේ. පොලිස් ආඥා පනතේ 80 (1) වගන්තිය යටතේ රාත්‍රී 10 සිට උදෑසන 06 දක්වා කිසිදු ශබ්ද විකාශන බලපත්‍රයක් නිකුත් නොකළ යුතු අතර උදෑසන 6 සිට රාත්‍රී 10 දක්වා ශබ්ද විකාශන බලපත්‍ර නිකුත් කළ හැක්කේ විශේෂ ආගමික උත්සවයක් හෝ ජාතික වශයෙන් වැදගත්කමක් ඇති අවස්ථාවකට පමණි. එහිදී අදාළ පරිශ්‍රයෙන් පිටට ශබ්දය විස්ථාරණය නොවීමට වග බලාගත යුතු අතර එම රෙගුලාසි උල්ලංඝනය කරන්නේදැයි පරික්ෂා කිරීමට පොලිස් නිලධාරීන් යෙදවිය යුතුබව ද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පොලීසියට උපදෙස් දී තිබේ. කොන්දේසි උල්ලංඝනය කරන්නන්ට අවවාද කිරීමේ සිට 80 (4 ) උප වගන්තිය යටතේ භාණ්ඩ පොලිස් බාරයට ගැනීම, නඩු පැවරීම දක්වා කටයුතු කළහැකි බවට උපදෙස් දී තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙගුලාසිවලට අනුව පොලීසියෙන් අවසර ලැබෙන ශබ්ද විකාශන යන්ත්‍ර ක්‍රියාත්මක කළ යුත්තේ අවශ්‍යවන කාල සීමාවට පමණි. එනම් දහම් පාසල්, ළදරු පාසල් තෑගි බෙදාදීමක් හෝ වෙනත් රැස්වීමක් නම් ශබ්ද විකාශන යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමට අවසර ඇත්තේ පළමු කථිකයාගේ (පිළිගැනීමේ කතාව) සිට අවසන් ස්තුති කතාව දක්වා පමණි. ඊට පැයකට පමණ ප්‍රථම පටිගත කළ ගීත හෝ සාකච්ඡා ආදිය විකාශනය කිරීමට අවසර නැත. එහෙත් ආගමික ස්ථාන සම්බන්ධව මීට අදාළ කිසිදු නීතියක් ක්‍රියාත්මක කරන බවක් පෙනෙන්නට නැත. වෙනත් අවස්ථා සඳහාද බලපත්‍ර දෙනවිට පනවන රෙගුලාසි උල්ලංඝනය කළත් පොලීසිය ගන්නා පියවරක් නැත. බෞද්ධ භික්ෂුවක් ලෙස ජනාධිපතිවරයාගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලන්නේ රටහදන “සෞභාග්‍යයේ ඉදිරි දැක්මට” අනුව සියලු ආකාරයේ ශබ්ද දුෂණයන් නියාමනය කිරීමටද පියවර ගන්නා ලෙසයි.


රත්තනදෙණියේ මේධානන්ද හිමි

2021 පෙබරවාරි 17 – දිවයින, බදාදා අතිරේකයෙන් උපුටා ගැනීමකි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button