විශේෂාංග

“සංස්කෘතික විවිධත්වයෙන් යුතු ගීත හැමවිටම මා කම්පනයට පත් කළා”

- නිලාර් එන්. කාසිම්

මිනිසුන් එක් කුලකයකට ගත හැකි මුත් ඇතැම් විට තෙපළන බසෙහි වෙනසක් තිබිය හැකිය. තවත් විටෙක වඳින දෙවියන් වෙනස් වන්නටද හැකිය. නමුත් සෑම මිනිසකුගේම දෙතොල් එහෙ මෙහෙ වූ විට මැවෙන්නේ එක සමාන වූ සිනහවකි. සැබෑ සතුටකින්, අවංක හදවතකින් නැඟෙන සිනහවක් තරම් සුන්දර භාෂාවක් ලොව නැත.

මිනිසා වඩාත් සුන්දර වන්නේ එකිනෙකාට වෙනස් වූ විවිධ සංස්කෘතීන්ට අනුගත වෙමින් විවිධත්වයකින් යුතුව ජීවත් වන නිසාය. ඒ සංස්කෘතික විවිධත්වයට ඇති ඇල්ම නිසාම සිංහල ගීයේ මටසිළුටු තැන් අතපත ගාමින් වචනවලින් හැඩ මවන නිලාර් එන්. කාසිම් නම් වූ අපූරු ගී පද නිර්මාණකරුවා අද ‘හද බැඳි ගීය’ට එක් වන්නේ ඔහුගේ ඇතුළාන්තය කලඹන්නට හැකි වූ ගීයක් සමඟිනි.

“මල් යායක් වඩාත් සුන්දර වන්නේ, විචිත්‍ර වන්නේ ඒ මුළු යාය පුරා එකම වර්ගයක මල් පිබිදී ඇති විට නොවෙයි. විවිධ පැහැයෙන්, විවිධ හැඩයෙන්, විවිධ සුවඳින් යුතු මල් එක යායට පිපි ඇති විටයි. අප ජීවත්වන සමාජයත් එබඳු විවිධත්වයකින් යුක්තයි. සමාජය වඩාත් ආකර්ෂණීය තැනක් ලෙස දිස් වන්නේ ඒ විවිධත්වය නිසාමයි.

රටක් ලෝකයක් ලෙස අප එකිනෙකා සමඟ බැඳී සිටීමේදී විවිධ පුද්ගලයන්ගේ විවිධාකාර වූ අනන්‍යතා ඉවසීම සහ ගරු කිරීමට හුරු වීම තුළින් වඩාත් සුවදායක ලෝකයක් නිර්මාණය වෙනවා. අපි සියලු දෙනාම මිනිසුන්. මිනිසා කියන එකම කුලයට අයත් අපි තුළ මනුෂ්‍යත්වය නමැති ඉහළ ගුණාංගය තිබෙනවා. එයට වටිනාකමක් දෙන්නට සෑම මොහොතකම උත්සාහ දරනවා නම් ලෝකය වඩාත් සුවපහසු තැනක් බවට පත්කරන්නට පුළුවන්.

මගේ මවු භාෂාව දෙමළ. මගේ නිවෙසේ මවුපියන්, නෑදෑයන් කතා කළේ දෙමළ භාෂාවෙන්. මගේ සංස්කෘතික පසුබිම මුස්ලිම්. මගේ ආගම ඉස්ලාම්. නමුත් මම අධ්‍යාපනය ලබන්නේ සිංහල භාෂාවෙන්. මට වැඩිපුරම ඇසුරු කරන්නට ලැබුණේ සිංහල සමාජය. මම මගේ නිර්මාණ කරන්නෙත් සිංහල භාෂාවෙන්. මා වටා එක්වී සිටින පිරිස; මා හා බැඳී සිටින පිරිස වැඩිපුරම සිංහල ජාතිකයන්.

මේ හේතු නිසාම මට නිරායාසයෙන්ම විවිධ භාෂා, විවිධ සංස්කෘති ස්පර්ෂ කරන්නට හැකි වී තිබෙනවා. ළමා වියේ සිටම ඒ සංස්කෘතික විචිත්‍රත්වය තුළ ජීවත් වෙමින් එකම භාෂාවක එකම ආගමක ඒකාකාරී බව වෙනුවට විවිධ භාෂා, විවිධ ජාතීන්, විවිධ ආගම් පිළිබඳ හදාරන්නට, විමසන්නට සහ ඒවා විඳින්නට මට අවකාශය ලැබී තිබෙනවා.

මගේ ප්‍රධාන ප්‍රකාශන මාධ්‍යය ගීතයයි. වර්තමානයේ මා තුළ සිටින නිර්මාණකරුවා ගොඩනඟන්නට මට උත්තේජනය සපයන්නේ ජ්‍යෙෂ්ඨ නිර්මාණකරුවන්ගේ ගීත නිර්මාණයි. ඒ ගීත නිර්මාණ අතරින් මගේ මනසට, මගේ බුද්ධියට බලපෑමක් එල්ල කළ “ඉසුරු දෙවිඳු උමයංගන සේ පෑහෙන්නයි” යන ගීතය මගේ මතකයේ තැන්පත් වී තිබෙනවා.

ශ්‍රී ලාංකේය සිනමා ඉතිහාසයේ ජනවාර්ගික ප්‍රශ්නය පිළිබඳ යම්කිසි බුද්ධිමය මැදිහත්වීමක් දැක්වූ පළමු චිත්‍රපටය ආචාර්ය සුනිල් ආරියරත්නයන් අධ්‍යක්ෂණය කළ ‘සරුංගලය’ චිත්‍රපටය යි. ගාමිණී ෆොන්සේකා ගේ අපූරු රංග පෞරුෂය විදහා දැක්වූ එම චිත්‍රපටයේ එන මියුරු ගීයක් වන, මගේ හද බැඳගත් ‘ඉසුරු දෙවිඳු උමයංගන’ ගීතය රචනා කරන්නේ තිලකරත්න කුරුවිට බණ්ඩාරයන්. එතුමන් අතින් ලියැවුණු ගී අතළොස්ස අතරින් මේ ගීතය තවත් එක් මධුර, අර්ථාන්විත ගීතයක්.

‘සරුංගලය’ චිත්‍රපටයෙන් නිරූපණය වන්නේ දෙමළ තරුණයකු වන නඩරාජා සහ සිංහල තරුණියක වන සුසිලා අතර ඇතිවන ප්‍රේමණීය බන්ධනයයි. ගීතයෙන් කියවෙන්නේ ඔවුන් අතර ඇතිවන ප්‍රේමයෙහි එක්තරා ප්‍රකාශනයක්. එහි පදමාලාව සහ සංගීතය යන දෙකෙන්ම සිංහල සහ දෙමළ සංස්කෘතියෙහි අනන්‍ය ලක්ෂණ විඳින්නට හැකියාව ලැබෙනවා. මෙහි ගී තනුව තුළ උත්තර භාරතීය සහ දක්ෂිණ භාරතීය සංගීතයට ශ්‍රී ලාංකේය ජන සංගීතයත් මුහු වී තිබෙනවා. ඒ විවිධත්වය එක්තැන් වූ විට ගීයෙන් කර්ණරසායන මිහිරියාවක් ජනිත කරනවා.

මම ළමා වියේ සිටම සංස්කෘතික විවිධත්වය රැගත් ගීත, චිත්‍රපට, නාට්‍ය ආදී සියලු නිර්මාණවලට වැඩි ප්‍රියතාවක් දැක්වූවා. එබඳු නිර්මාණ හරහා මා තුළ පළමුව කිසියම් කම්පනයක් සහ දෙවනුව යම්කිසි අසිරියක් නිර්මාණය වෙනවා. එපමණක් නොවෙයි මා තුළ සිටින නිර්මාණ ශිල්පියා අවදි කරන්නට මගේ චින්තන පරාසය පුළුල් කරන්නට ඒ නිර්මාණ සමත් වී තිබෙනවා.

ඉසුරු දෙවිඳු උමයංගන ගීතයේ සංස්කෘති දෙකකින් යුක්ත පෙම්වතුන් යුවළකට එකම තලයක රාධා – ක්‍රිෂ්ණා වැනි ප්‍රේමණීය බන්ධනයකින් ශක්තිමත් වන්නට කියා රචකයා ප්‍රාර්ථනා කරනවා. එය ඉතාම සුන්දර ප්‍රාර්ථනාවක්. මුළු මහත් සමාජය වෙතම කළ යුතු ප්‍රාර්ථනාවක්.

ශ්‍රී ලාංකේය ජන සමාජයේ පමණක් නොවෙයි මුළු මහත් ලෝකයේම වාර්ගිකත්වය ඉස්මතු කරගනිමින් යම් යම් ඉරිතැලීම් මතුවී තිබෙනවා. ඇතැම් බලවේග ඒ ඉරිතැලීම් කුහර බවට පත් කරමින් සිටිනවා. එවැනි බලපෑම් සැබවින්ම අවාසනාවන්තයි. මේ සිදුවීම් මැද අප ප්‍රාර්ථනා කරන්නේ සංස්කෘතික අනන්‍යතා ආරක්ෂා කර ගනිමින් සියලු දෙනාටම එකිනෙකා ආදරයෙන් වැලඳ ගත හැකි සොඳුරු සමාජයක්. සංස්කෘතික විවිධත්වය සමඟ මුහු වූ මෙබඳු නිර්මාණ මගේ ඇතුළාන්තයට බලපෑම් කළ ආකාරයෙන් සමස්ත සමාජයටම බලපෑමක් කළ හැකි නම් එය ඉතාම ඉහළ වටිනාකමක්.

සියලු දෙනාගේ සිතුම් පැතුම් යහපත් පැතිකඩක් වෙත හරවන්නට හැකි මෙබඳු නිර්මාණ වඩ වඩාත් බිහිවිය යුත්තේ අතීතයට වඩා වර්තමානයේ යැයි මම සිතනවා.

ලෝකය නමැති මල් යායේ විවිධ වර්ගවල සුවඳ දෙනවිට ඒ මල් වර්ග කරමින් තෝරා බේරන්නට නොවෙහෙසී ඒවායෙහි අසිරිය පමණක් විඳින්නට හැකි සොඳුරු මිනිසුන් අද මෙන්ම හෙටටත් ලෝකයට අත්‍යවශ්‍ය බව මම තරයේ විශ්වාස කරනවා.


දිල්රූ ජයසේකර
රසඳුන පුවත්පතෙන් උපුටා ගැනීමකි
ඡායාරූපය – දයාන් විතාරණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button