විශේෂාංග

නව හැවිරිදි ෆාතිමා රිෆ්කාව ඇත්තටම මැරුවේ කවුද?

ශාන්තිකර්මයකින් පසුව 9 හැවිරිදි ෆාතිමා රිෆ්කා නම් පාසැල් දැරියක් කඳුබොඩ මීගහවත්ත ප්‍රදේශයේ දී මියගොස් තිබෙනවා. ඇයට මිය යන තෙක් පැය ගානක් තිස්සේ කලන්තය දමන තුරු වේවැලෙන් පහර දී ඇති බවත්, ‘තෙල් ප්‍රතිකාර ක්‍රමයක්’ ද කර ඇති බවත් කියවෙනවා. පසුව එම දැරිය බියගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මිය ගොස් තිබෙනවා. දරුවාට එම ශාන්ති කර්මය කළේ යැයි කියන සැකකාර කාන්තාව සහ දැරිය එතැනට රැගෙන යාම සම්බන්ධයෙන් දැරියගේ මව අත්අඩංගුවට ගත් බව පොලිස් ප්‍රකාශක අජිත් රෝහණ මහතා ප්‍රකාශ කර තිබෙනවා. දැරියට පහර දෙන හඬ ඇසුනු එක් පුද්ගලයෙකු 119 අමතා මේ ගැන දැනුම් දී තිබුනත් පොලිසිය පැමිණ තිබුනේ පැය ගණනක් ප්‍රමාද වීමෙන් පසුවයි.

මෙම සිද්ධියේ දී දැරියට පහර දීමට බාර දී බලා සිට තිබුනේ ඒ දැරියගේම අම්මායි.

මෙසේ පහර දීමට හේතුව වී ඇත්තේ එම දැරියට අමනුෂ්‍ය දෝෂයක් තිබෙන බව විශ්වාස කිරීමයි. දැරියන් සහ ගැහැණුන් මන්ත්‍රකාරියන් යැයි කියමින් මරණයට පත් කරන කතා අපි බොහෝ විට අසා ඇත්තේ මධ්‍යකාලීන යුරෝපයෙනුයි. ඒ කාලයේ මන්ත්‍රකාරියන් යැයි විශ්වාස කළ අය අමානුෂික ලෙස පණපිටින් ගිනි තබා මරා දමා තිබෙනවා. එහෙත් තවමත් මෙවැනි දේ ශ්‍රී ලංකාව ඇතුළු විවිධ රටවල සිදු වෙනවා. විශේෂයෙන්ම මෙවැනි සිදුවීම් ගැන අප්‍රිකානු මහද්වීපයේ බොහෝ පර්යේෂණ සිදු කෙරී තිබෙනවා. අපේ රට අප්‍රිකානු මහද්වීපයේ රටවලට වඩා අධ්‍යාපනය ඇතුළු වෙනත් බොහෝ පැතිවලින් දියුණු යැයි විශ්වාස කළත් එහෙම නැති බව මේ සිදුවීම් වරින් වර වාර්තාවීම හරහා අපිට පෙනෙනවා.

නමුත් මෙම මරණය පිලිබඳ සියලු දේ ගෙන හැර බැලුවහොත්,

  • මිය ගිය දැරියගේ දෙමවුපියන්
  • ශාන්ති කර්මය කළ කාන්තාව
  • ප්‍රදේශවාසීන්
  • ශ්‍රී ලංකා පොලිසිය

මෙම මිනීමැරුමට වග කිව යුතු වෙනවා.

මිය ගිය දැරියගේ දෙමවුපියන් –

තමන් විසින් වදා ඇති දැඩි කළ දරුවෙකු වෙනකෙකු ඉදිරියේ මෙසේ කෘරත්වයට පත් වීම බලා සිටිය හැක්කේ කුමන මවටද යන්න අපිටත් සිතෙනවා. තවද මෙම ගැහැණිය පිලිබඳ අපටද ද්වේශසහගත සිතුවිලි පහළ වෙනවා. සතෙකු වුවද තම පැටියා ගොදුරු කර ගැනීමට පැමිණෙන වෙනත් සතෙකු සමඟ කොපමණ දුබල වුවත් සටන් කරනවා. නමුත් මේ මව එසේ නොකළේ ඇයි? අවිද්‍යාව විශ්වාස කරන තැනට මේ මව පත් වුණේ කොහොමද? ඇයට දරු දුක නොදැනුනේ කොහොමද?

ළමා අයිතිවාසිකම් ගැන අපි දක්වන අවධානය අඩුයි. දෙමවුපියන් සිතන්නේ ළමයා කියන්නේ දෙමවුපියන්ගේ වත්කමක් කියලා. ළමයින්ට ගහනවා කියන එක සාමාන්‍ය දෙයක්, ඒකට කමක් නැහැ කියලා හිතන බොහෝ දෙනෙක් අවසනාවන්ත ලෙස අපි අතර සිටිනවා. ඒ නිසා මෙවැනි ආකාරයේ ළමා අපයෝජනය යට ගැසෙනවා. ළමුන් විනයගත කරන්න කියා නිවසේ සිට පාසැල මෙන්ම බාහිර සමාජයේ දීත් ළමුන් අධික ලෙස ශාරීරික, ලිංගික, මානසිකව අපයෝජනයට ලක් වෙනවා. එතකොට දෙමවුපියන් හා වැඩිහිටියන් දැනුවත් කිරීම කාගේ වගකීමක් ද?

ශාන්ති කර්මය කළ කාන්තාව –

මිත්‍යා මත තදින් විශ්වාස කරන රටක් ලෙස ශ්‍රී ලංකාවේ අවිද්‍යාව කොපමණ දුරට උඩු දුවා ගොස් තිබෙනවද කියනවා නම් එයට රාජ්‍ය අනුග්‍රහය ද ලැබෙන තැනකට එය අද පත් වෙලා. මෙම පිළිගැනීම නිසාම කට්ටඩියන්, යකැදුරන් විසින් කාන්තාවන්ට දැරියන්ට ලිංගික අතවර කළ සිද්ධි, පහර දුන් සිද්ධි වරින් වර ලංකාවේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වී තිබෙනවා (පහත ලින්කු බලන්න). මේ සිද්ධි බොහොමයක දී අදාළ වින්දිතයාගේ පවුලේ අයගේ සහයෝගය, අනුදැනුම ඇතිව මේවා සිදු කර තිබෙනවා.

ආරූඪවීමෙන් පසු ප්‍රචණ්ඩත්වයෙන් යුතුව හැසිරෙන්න පුළුවන් කියා අදහසක් අපේ සමාජයේ තිබෙනවා. මානසික සෞඛ්‍ය ගැටළු ගැන අපේ සමාජයේ නිසි අවබෝධයක් නැහැ.මිනිස්සු ආරූඪ වෙනවා කියන්නෙ සංස්කෘතිකව පුද්ගලිකව ලැබෙන බලයක් විදියට තේරුම් ගත්තත්, මේවා බොහෝ විට මානසික රෝගවලට සම්බන්ධයි. මානසික රෝගවලට සාම්ප්‍රදායික හෝ මනෝ-විද්‍යානුකූල ලෙස ප්‍රතිකාර කිරීමේ ආචාර ධර්ම අවශ්‍ය වෙනවා. කට්ටඩියන්, යක්ෂාවේශයෙන් කටයුතු කරන අය මෙන්, පුද්ගලයන් මරණයට පත් නොකළත් ඇතැම් විට මනෝ-උපදේශන ප්‍රතිකාරවලින් පවා පුද්ගලයන්ට හානි කිරීමට වෘත්තීය ආචාර ධර්ම කඩ කරමින් ප්‍රතිකාර කරන්නන් කටයුතු කළ අවස්ථා තිබෙනවා.

මීට ටික දවසකට පෙර දන්ත වෛද්‍යවරයකුට පහර දුන් කෑගල්ලේ ධම්මික වෛද්‍යවරයා ද කීවේ එසේ පහර දුන්නේ තමා නොව කාලි අම්මා බවයි. සාමාන්‍ය කට වහරේ ‘මට යක්ෂයා ආවේෂ කරන්න එපා’ වැනි වචන කියනු අප අසා තිබෙනවා. මෙයින් එක අතකට යක්ෂයා ආරූඪ වීම ප්‍රචණ්ඩත්වයට හේතු කාරණා වන, ප්‍රචණ්ඩත්වයට අවසර ඇති දෙයක් ලෙස පොදුවේ තේරුම් ගැනෙන සංස්කෘතියක් අපට තියෙනවා. යක්ෂයා ආවේෂ වූ පසු, ආරූඪ වූ පසු කරන කියන දේවල් ගැන වගකීමක් නැද්ද? එතකොට මෙවැනි මිනිසුන්ට තමන්ට අවශ්‍ය ලෙස ප්‍රචණ්ඩත්වයෙන් හැසිර්රීමට අසීමිත බලයක් ලබා දී තිබෙන්නේ කවුද?

ප්‍රදේශවාසීන් –

මේ සිද්ධිය වාර්තා වුන මාධ්‍ය වාර්තාවල ප්‍රදේශවාසීන් විසින් නොයෙකුත් ප්‍රකාශ ලබා දෙන හැටි අපි දැක්කා. එක් ප්‍රදේශවාසියෙකුගේ ප්‍රකාශය අනුව ‘පෙරේදා ඉඳලා ගහනවා’ යනුවෙන් ප්‍රකාශ වුනා. එසේ නම් මිය ගිය දරුවාට පහර දී ඇත්තේ දිනකට වඩා වැඩි කාලයක් සිට. මෙපමණ කාලයක් බාල වයස්කාර දරුවෙකුට පහර දීම අසා සිටීමට මිනිසෙකුට හැකි ද? එසේ කළා නම් ඒ ඇයි? නැවතත් අපට යන්නට වෙන්නේ දෙමවුපියන් සිතන්නේ ළමයා යනු තමන්ගේ වත්කමක්, අයිතියක් කියලා කියන සමාජ මතයට. ඉතින් මෙම සිද්ධියට මව සම්බන්ධ වීම ප්‍රදේශවාසීන් දැන ගෙන සිටියා වෙන්නට පුළුවන්. ඒත් මෙතැනදී දවසකට වඩා සිදු කරන පහර දීමක් ප්‍රදේශවාසීන් පොලිසියට වාර්තා නොකළේ ඇයි?

ළමා අපයෝජනය පිලිබඳ ඇස්, කන් පියාගෙන සිටීම අපේ සමාජයයේ එක් අංගයක් බවට පත්ව තිබෙනවා. මේ, දැරියන් 200ක් ලිංගිකව අපයෝජනය කළා යැයි ‘පාටි’ දැමූ පුද්ගලයෙකුට ඡන්දය දීපු මිනිස්සු ඉන්න රටක්. නිවෙස් තුළ දෙමවුපියන්ගෙන් සිදුවන, ආගමික ස්ථානවල පූජකයන්ගෙන් සිදුවෙන, පාසලේ ගුරුවරුන්ගෙන් ළමුන්ට සිදුවන අසීමිත කෘරත්වය බලාගෙන සිටින වැඩිහිටියන් සිටින රටක්. ඒ ඇයි? ඔවුන් එම අපයෝජන වාර්තා කිරීමට ක්‍රියා මාර්ග නොගන්නේ ඇයි?

ශ්‍රී ලංකා පොලිසිය –

ශ්‍රී ලංකාවේ 118 හෝ 119 හදිසි දුරකථන සේවාවේ කාර්යක්ෂමතාවය පිලිබඳ අපි කවුරුත් දන්නවා. තවද ගැහැනුන්ට, ළමුන්ට, සුළුතර ප්‍රජාවන්ට පොලිසිය දක්වන සැලකිල්ල පිළිබඳවද අපි දන්නවා. මෙයින් අදහස් කරන්නේ සමස්ත පොලිස් ප්‍රජාවම නොවුනත් බහුතරයක් පොලිස් නිලධාරීන් එසේ යැයි කියා කවුරුත් දන්නවා. මෙම සිදුවීමේදී එක් ප්‍රදේශවාසියෙකුගේ ප්‍රකාශය අනුව 119 අමතා පැය ගානක් යනතුරු කිසිවෙකු නොපැමිණි බව පැවසුනා. තවද මෙම සිද්ධියට සම්න්බන්ධ නොවුනද, අප දේදුනු සංවාද පෙර ලිපියකට ප්‍රතිචාර දැක්වූ කෙනෙකු කියා සිටියේ ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ හදිසි ඇමතුම් අංක ඇමතූ විටද ලැබෙන්නේ මෙවැනිම ආකාරයේ ප්‍රතිචාරයක් බවයි.

ළමුන් ආරක්ෂා කිරීමට මෙම රාජ්‍ය ආයතනවලට අවශ්‍යතාවයක් නැද්ද? මෙම රාජ්‍ය ආයතන මෙසේ ක්‍රියාත්මක වීමට තරම් රජය විසින් මේ පිලිබඳ අවධානයක් යොමු කරන්නේ නැද්ද? ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය පිහිටුවා වසර ගණනක් ගියත් ජාතික ළමා ආරක්ෂණ ප්‍රඥප්තිය සම්මත කර ගැනීමට ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය අපොහොසත් වී ඇත්තේ ඇයි? ඒ සඳහා තවමත් විශාල කාල සීමාවක් ඉල්ලන්නේ ඇයි ? එසේනම් මේ සියලු ළමා අපයෝජනයන්ට රජය වගකිව යුතුද? ඔවු. එත් නැහැ.

ළමුන් පිළිබඳව දේශපාලඥයින්ට මෙවැනි ආකාරයෙන් ක්‍රියාත්මක වීමට ඉඩ සලස්වා ඇත්තේ අපි නෙමෙයි ද? දරුවන් පිලිබඳ වැඩිහිටියන් දැනුවත් කිරීමට රාජ්‍ය ආයතනවලට බල කිරීමට නොහැකි වී ඇත්තේ අපිට නොවේද? ළමා අපයෝජන පිලිබඳ නීතිය ක්‍රියාත්මක නොවී සිටීම බලා සිටින අපි වැරදිකරුවන් නොවේද? ළමා අපයෝජනවලට ක්‍රියාත්මක වීමට වක්‍රාකාරව උදවු වෙන්නේ අපි නොවේද?

එබැවින් මුළු මහත් සමාජයක් වෙන අපි, 9 හැවිරිදි ෆාතිමා රිෆ්කානා ගේ මිනීමරුවෝ.

අපි මෙවැනි සිද්ධි තවත් ඉවසමුද? සමාජයක් විදියට අපි වෙනස් වෙන්නට සිතමුද? විශේෂයෙන්ම ළමා අයිතිවාසිකම් වෙනුවෙන් විශේෂයෙන් අපි ක්‍රියා කිරීම ආරම්භ කළ යුතු නැද්ද? ඔබේ නිහඬ බව ඔබව වැරදි කරුවෙකු කරනවා.

ඇතින්නියක් ලත් දරු පෙම්බරේයා….
ඇතිනි රැලේ හැමට ම කිරි එරේයා….

මතක තබා ගන්න. ළමුන්ද මනුෂ්‍යයන්. ඔවුන්ට මනුෂ්‍යන් විදිහට සළකන්න.


දේදුනු සංවාද
2021 මාර්තු 01

මෙම පෝස්ටුවෙහි අයිතිය දේදුනු සංවාද පිටුව සතුයි


ශාන්තිකර්මයක් අතරතුර මියගිය ෆාතිමා, 2021 පෙබරවාරි
https://www.youtube.com/watch?v=cNbSExKw2ko

යකා එලවන්න දැරියගේ කකුල පිළිස්සූ ගුරු උපදේශක කට්ටඩියා අල්ලයි, 2014
https://stargate.lk/%E0%B6%BA%E0%B6%9A%E0%B7%8F-%E0%B6…/

දේව වරමක් දෙන මුවාවෙන් කතක් වැනසූ කට්ටඩියා පොලිස් භාරයට, 2019 ඔක්තෝබර්
https://mawbima.lk/news-more/34059 

කාමරයේ දොරගුළු දමාගෙන යකැදුරු දැරිය කෙලෙසලා, 2015 දෙසැම්බර්
http://www.sathhanda.com/2015/12/blog-post_812.html

ආරූඪයක්‌ නිසා මරු වසඟයට ගිය අමන්දා, 2012 දෙසැම්බර්
https://www.divaina.com/2012/12/02/feature16.html

ළමා අපයෝජනය යනු ලිංගික අපයෝජනය විතරද? දරුවන් දෙමාපියන්ගේ දේපලක්ද? වත්කමක්ද? ආයෝජනයක් ද? – 2019, නොවැ 11. දේදුනු සංවාද
https://www.facebook.com/dedunu.sanwada/posts/2117677591874158

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button