විශේෂාංග

ප්‍රේමයේ ජීවමාන හදවත ඇය සතුය….!

මේ ඡායාරූපයේ දැක්වෙන්නේ පසුගිය දා (08) මියන්මාරයේ කචින් ප්‍රාන්ත රාජ්‍යයේ අගනුවර වූ මිටිකිනා හි පුජකවරියක් ළමයින් ගේ පෙළ පාලියකට වෙඩි නොතබා තමන්ට වෙඩි තබන ලෙස කියා සිටි ඒ නිර්භීත අවස්ථාවයි. මියන්මාරයේ හමුදා පාලනයට එරෙහි සටන රට පුරා සෑම ජන කොටසකටම පැතිර ඇත. මියන්මාරය යනු, බහුතර බෞද්ධ ආගමික රටකි. නමුත් මේ වනවිට එරට ජනතාව හමුදා පාලනයට එරෙහිව නැගී සිටිමින් පවතී. එරට ක්‍රිස්තියානි ආගමික ජනතා කොටස්වල ක්‍රියාකාරී සහභාගිත්වයද හමුදා පාලනය පරාජය කිරීමට තීරණාත්මක ලෙස උරදීම සමස්ත ජනතාවගේම ජයග්‍රහණය සහතික කිරීමට හේතු වනු ඇත.

ඡායාරූපය – www.smh.com.au


ක්‍රිස්තු අනුගාමිකයෙක් කියලා කියන්නේ නිකම්ම නිකං ප්‍රේම කරන්නෙකුට නෙවෙයි…. තමාව අත්හැර අනෙකාට ප්‍රේම කරන්නෙකුට. “Agape Love” Agape කියන්නේ ග්‍රීක් වචනයක්. එකේ තේරුම තමයි ආත්ම පරිත්‍යාගී ප්‍රේමය…. ජේසු කියනවා “තමන්ගේ මිතුරන් උදෙසා දිවි පිදීමට වඩා උතුම් ප්‍රේමයක් මිහිපිට තවත් නැහැ….” කියලා…. ජේසු කලෙත් ඒක….

ඒත් ජේසු කියපු දේවල් ආගමක් විදියට හදාගෙන, ඒවා මොඩිෆයි කරලා සමහරක් දේවල් විකෘති කරලා ලෝකයේ බලවත් රටවල්වල රාජ්‍ය පාලනයට කතෝලික ආගම බද්ධ කරගෙන, රට රටවල් ආක්‍රමණය කරලා රාජ්‍ය බලය අල්ලගන්න ආගමේ නාමයෙන් මිනිස් සංහාර කරලා, මිණීමරු ආගමක් විදියට ලේබල් ගහගෙන විනාශ කාරී එකක් විදියට කාලයක් මේක පැවතිලා තියෙනවා…. රාජ්‍ය පාලනයට ආගමක් එල්ලුන ගමන් මොකද වෙන්නේ කියලා මේ රටේ මිනිස්සුන්ට අමුතුවෙන් කියන්න ඕන නෑනේ…. අන්න ඒ වගේ තමයි එදා සිද්ධ වෙන්න ඇත්තෙත්….

ඒක පොඩ්ඩක් පැත්තකින් තියලා ජේසු කරපු දේ කියපු දේ ගැන විතරක් හිතුවොත්, ක්‍රිස්තු අනුගාමිකයා කියන්නේ තමාව අත්හැර අනෙකාට ප්‍රේම කරන්නෙක්. ඒ අනිකා කවුද, කොහොමද කියන එක අදාළ කරගන්නේ නැති කෙනෙක්. එතකොට මේ ඡායාරූපයේ ඉන්න කෙනා ඒ වගේ කෙනෙක්. හැබැයි මේ මියන්මාරයේ….

නමුත් ලංකාවේ කතෝලිකයෝ සහ ලංකාවේ කතෝලික සභාවේ ප්‍රධානියෝ බහුතරයක් ශ්‍රී ලංකාවේ සිද්ධවුණු මිනිස් සමූල ඝාතන කිහිපයකටම සහ තැන තැන මරලා දාන සංස්කෘතියට මීක් සද්දයක් දැම්මේ නැහැ. මම කතා කරන්නේ බහුතරය ගැන…. නමුත් ඒවාට විරුධව අරගල කරපු ඉතාම සුළු පිරිසක් නොහිටියාම නෙමෙයි. ඒත් ඒ අයටත් දේශද්‍රෝහියෝ කියලා ලේබල් ගහලා තිබුණා සහ විවිධ මර්ධන ක්‍රම මගින් ඒ අයව මර්ධනය කරන්න උත්සහ කරලත් තිබුණා….

දැන් දැන් අප්‍රේල් 21 ප්‍රහාරය වෙනුවෙන් ඒ කාලේ නිශ්ශබ්දව හිටපු අය හඬ නගන්නේ, ඒ ප්‍රහාරයෙන් මියගිය ඉතාම වැඩි පිරිස කතෝලිකයන් වීම නිසා වගේම, කතෝලික ආගමික ජනතාවගේ යුක්තිය ඉල්ලා සිටීමේ සටන හමුවේ කතෝලික ආගමික පාලකයන්ට නිහඬව සිටින්නට බැරි වීම කියලා පෙනෙන්නට තිබෙනවා. මොකද එහෙම නිහඬව හිටියොත් සමහර විට යුක්තිය ඉල්ලන මිනිස්සුන්ගේ කටින් “මුනුත් ඒකට සම්බන්ධ ද දන්නේ නෑ….” කියලා කතෝලික පාලක පන්තියට චෝදනාවක් පිටවෙන්නත් ඉඩ නැතුවාම නෙමෙයි…. එහෙම කියන්න හේතුව තමයි, දැන් දැන් මේ ගැන හඬ නගන බොහෝ දෙනා මඩකලපුවේ සියොන් ‘ක්‍රිස්තියානි දේවස්ථානයේ’ ප්‍රහාරය ගැන වැඩිය කතා කලේ නැති අය. එහෙ මැරුණේත් මිනිස්සු කියලා හිතන්න බැරි වුනු අය…. අන්න එතනදිත් මේ බොහෝ අය ආගම්වාදී වෙලා තිබුණා….

පැහැදිලියි ඔය කවුරු කවුරු වුනත් සංවේදී වෙන්නේ තමන්ගේ කුලකය ගැන විතරයි…. තවත් සමහරු තමන්ගේ කුලකය ගැන සංවේදී වෙන්නේ තමන්ට කළු පැල්ලමක් ඇතිවෙයි කියලා තියෙන බයට….

ඒත් කතෝලිකයෝ, ක්‍රිස්තියානි අය පොදුවේ කිව්වොත් ජේසුව මුල් කරගෙන ආගම් පිහිටුවා ගත්ත අය මේ ලෝකේ ඕන තරම් ඉන්නවා වුණත්, ආගමකට, ජාතියකට, රටකට, පාටකට, කොඩියකට, ගීතයකට හෝ කිසිම විදියක රාමුවකට අයිති වෙන්නේ නැති ‘අගාපේ ප්‍රේමවන්තයෝ’ හෙවත් ආත්ම පරිත්‍යාගී ප්‍රේමවන්තයෝ මේ ලෝකයේ හරි අඩුයි. අන්න ඒ නිසයි එහෙම ප්‍රේම කරන මිනිස්සුන්ව රැකගන්න ඕන….

ඒ නිසා මේ රූපයේ ඉන්න කෙනා කවුරු වුනත්,

මගේ කොන්දේසි විරහිත ආදරය සහ උපහාරය ඇයට….


ප්‍රේමවාදියා (AdaHas)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button