විශේෂාංග

සද්ධන්තයන්ගේ ඛේදවාචකය

2008, 2009 වගේ කාලවල තරුණ සත්වවේදින්ගෙ සංගමයේ සමාජිකයො වෙලා ඉද්දි අපිට ඇහුන, අපි දැකපු විශාලතම පාරිසරික ගැටලුව වෙලා තිබ්බේ නීති විරෝධි අලි පැටව් මාෆියාව. මිනිස්සුන්වත් බල්ලො බළල්ලු වගේ මරලා දාන රටක අලි වෙනුවෙන් යම්කිසි හඬක් නගන්න, ඒ හඬ බොහොම තදින් අදාල පාර්ශවයනට දන්වන්න ඒ කාලේ ඉතාමත් කුඩා කණ්ඩායමක් වුනත් පරිසරවේදින්ට හැකියාව ලැබුනා. අපිත් වයසින් පොඩි වුනාට ඒ දවස්වල ඕවා එක්ක හැප්පෙන්න බලාගෙනමයි හිටියේ. ඒකට හේතු තමයි එවක පැවති රජයේ පූර්ණ ආශිර්වාදය මත, ඇතැම් විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්ය වරුන්ගෙ අනුදැනුම, මඟපෙන්වීම අනුව මේ වුන අධම වැඩේ ගැන ඇතිවෙලා තිබ්බ ආවේගශීලි බව.

අම්මා කෙනෙක්ගෙන් අලි පැටියෙක් වෙන් කරනවා කියන්නෙ ඉතාමත් කෲර ක්‍රියාවලියක්. අලි පැටියෙක් ලේසියෙන් ඇතින්නක් අතාරින්නෙ නෑ. උඩු හුලඟේ සැකයක් ඇති ඉව පොදක් තිබුනොත් පැටියවත් ඇදගෙන අලි අම්මා වනයට රිංගනවා. එච්චර ආරක්ෂාවක් ලබාදෙන සත්ව විශේෂයක මවකගෙන් පැටියා වෙන් කරන්න මව එක්කො නිර්වින්දනය කල යුතුයි නැත්තන් මරා දැමිය යුතුයි. ඔය මාෆියාවේ හිටපු අයගෙ ඔප්ශන් එක වුනේ ඔතනින් දෙවනි එක. වාහනවල සීට් බෙල්ට් කියන්නෙ ඉතාමත් සවිශක්තිය ඇති රැහැනක්. මම මේ කතා කරන කාලයේදි ඒවායේ ප්‍රසිද්ධම විකල්ප භාවිතාව වුනේ අලි අල්ලන්න සීට්බේල්ට් යොදා ගැනීම. අදටත් ඔය කැලෑවල හක්කලන් කරනවා අදට අවුරුදු 11 කට 12 කට කලින් සීට් බෙල්ට් වරපටින් කැපුනු, ඉදිමුණු කකුල් ඇති අලි. අපි විරෝධතා හැදුවේ, සටන් කරේ අන්න ඒ වැඩේ නවත්තන්න. ඒ සටන්වල ඉදිරිපෙළ සටන්කරුවො වුනේ ජගත් ගුණවර්ධන සර්, පුබුදු වීරරත්න අයියා, සජීව චාමිකර වගේ ක්ශේත්‍රයේ ඒ කාලේ හොඳ සීසන්ඩ් අය. ⁣මේ විරෝධතා බොහෝමයක් ගෙනිච්චෙ ජීවිත තර්ජන මැද්දෙ. ඒ තර්ජන ආවේ සුළුපටු තැන්වලින් නෙමේ. රටේ දේශපාලනික, ආගමික සංදර්භයන් තුල අතිශයින්ම වැදගත් භූමිකා රඟදක්වපු අයගෙන්. ඊට අමතරව මාධ්‍ය තුලින් වගේම සමාජ මාධ්‍යජාල තුලින් ජනගත කරපු න්‍යායපත්‍ර වලින් ⁣අපි ඔක්කොටම ගහපු ලේබල් එක තමයි NGO කාරයා කියන ලේබල් එක. රටේ සංස්කෘතියට එරෙහිවීමට මුදලට වැඩකරන NGO කාරයා කියන්නෙ සිල්ලරට අලවන්න පුළුවන් ලේසිම ලේබල් එක. හැබැයි ඒ සටන නැවතුනෙ නෑ. තනපුඩුවෙ කිරි බිංදු වෑහෙන මරා දාපු මව් ඇතින්නන් ලඟින් ඇදන් යන අලි පැටව් මිලියන 10 කට විතර ලංසුව වැටෙද්දි ප්ලාස්ටික් වතුර ටැංකි වලින් වහලා, ඩිෆෙන්ඩර්, කන්ටේනර් වලින් ගමන් ඇවිත් මතු වුනේ කොළඹ හතේ පුජකයන් ලඟ, මහේස්ත්‍රාත්වරුන් ලඟ, මන්ත්‍රීලා ඇමතිලා ලඟ. කැලෙන් අල්ලන අලි පැටව් දහකින් සර්වයිව් රේට් එක 10:1 යි. කොළඹින් මතුවෙන එක අලි පැටියෙක්ට අලි පැටව් දහයක් පොළවට පස්වෙනවා. මැරෙන අලි පැටියෙක් ගානේ ක්‍රියාත්මක වෙන අදිසි දේශපාලනික ආගමික හස්ථයන්ට එරෙහිව අපේ වෛරය වැඩිවෙනවා. ප්‍රතිඵලය තමයි 2015 ආණ්ඩු මාරුවට දැඩි බලපෑමක් කිරීමට පරිසරවේදීන්ට හැකිවීම.

නඩු යනවා, ඇප ලැබෙනවා, නඩු භාණ්ඩ වුන අලි පැටව් වරදකරුවන් අතට යන්න ඔන්න මෙන්න එනවා. අපි කෑගහනවා, ලේබල් වදිනවා, වැඩේ ටික කාලෙකට ආයේ නවතිනවා. සමහර පන්සල්වල නිදහසට කරුණ වෙන්නෙ උදේ නැගිටලා බලද්දි බල්ලො පුසෝ දාලා යන විදිහට අලි පැටව් දමා ගොස් ඇතිනිසා හදාගත් බවයි.

ඉතින් මිත්‍රවරුනි…. මේ NGO කාරයන්ට දැන් හරි මහන්සි. අවුරුදු 10 පුරාවට එකම දේ ගැන පුන පුනා කියවලා වෙනසක් බලාපොරොත්තුවෙලා වැඩ කරාට ඇත්තටම දැන් හරි මහන්සී. ඒ සටන් මෙහෙයවපු බර අවි දැන් වෙද්දි ඒ මහන්සියටමද මන්දා නිහඬයි. දශකයක් කියන්නෙ ලොකු කාලයක්. අපිට ලැබිලා තියෙන කෙටි මිනිස් ජීවිතයේ කාලයෙන් සැලකිය යුතු කාලයක්. අලියෙක්ට ඇතෙක්ට මානා පඳුරු අතරේ, වැව් ඉම මත්තේ නිල් තණකොළ අතරේ සැරිය හැකි භූමිය දිනෙන් දින අහවර වෙද්දි අපි අපෙන් අහලා බලන්න ඉතුරු වෙලා තියෙන එකම ප්‍රශ්න දැන් ඇති නේද කියන එක. ඒක අහන්නත් දැන් NGO කාරයන්ට හරි මහන්සී.


සුපුන් ජයවීර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button