ශ්‍රී ලංකාව

“සිරස ලක්ශපතියට ආ දැරිය දෝෂයට ලක් කරන්නවුන් වෙතයි”

සිරස ලක්ශපතියට ආ රක්වානේ භාග්‍යා දැරිය කීවේ ඇත්තය. කැපෙන්නේ වනය ඇතුලේද, පිටතද යන්න අදාල නැත. ගස් කපන්නට රටේ පවතින වන නීතිය යටතේ බලපත්‍රයක් උවමනාය. ප්‍රවාහනයට බල පත්‍රයක් උවමනාය. වනය සහිත ඉඩම පුද්ගලික වුවද හෙක්ටෙයාර 1 කට වඩා කපන්නේ නම් පරිසර පනත යටතේ පරිසර වාර්තාවක් සකසා අනුමැතිය ගත යුතුය. ඔප්පු තිබීම වනය විනාශ කිරීමට බලපත්‍රයක් නොවේ.

මම මොරපිටියේය. කලුතර දිස්ත්‍රික්කයේ කොනේය. මොරපිටිය රූනකන්ද මෙන්ම සින්හරාජයද වැඩි ඈතක නොවේ. මට මතක අවුරුදු 50 ක කාලය තුල වනාන්තරය කිලෝ මීටර 5 කට වැඩි ප්‍රමාන‍යකින් ඈතට තල්ලු විය. පිටින් ආ උන්ද කැපූ බව සැබෑය. වැඩිපුර කැපුවේ මායිම් වාසීන්ය අද කොලබ වාසීන්ටද, ක්‍රිකට් ක්‍රීඩකයන්ටද එහි ඉඩම් ඇත. උන්ටද පැරණි ඔප්පු ඇත. වරෙක මොරපිටීයෙන් ගලා යන ගග ඉහත්තාවේද හෝටලයක් තනන්නට ක්‍රිකට් කීඩකයෙක් උත්සාහ දරන බව ආරන්චි විය.

දැරියට ඇගිල්ල දික් කරන්නට අපහාසයෙන් කතා කරන්නට පෙර හොරට ඉඩම් හෙලි පෙහෙලි කල උන් සුද්ධ කරන්නට පෙර ඈ කිවු කාරනය වටහා ගත යුතුය. ඇයට එලෙස ප්‍රකාශ කිරිම තුල ගමෙන් පවා බුරුලක් නොලැබේ යයි දැන දැනම ඇය එම සත්‍යය ප්‍රසිද්ධ මාධයයක නොපැකිල හෙලි කලේ එය ඇයගේ වගකීම බව තේරුම් ගෙනය. ගමෙන් පවා බුරුලක් නොලැබේ යයි දැන දැනම ඇගේ පියා ඇය කැදවාගෙන ආවේය.

නුබලා මෙතෙක් ඒ ගැන නිහඩව සිටියේ බිය නිසා නොවේද? නීතිය ගැන නොදැනුවත් කම නිසා නොවේද, ඒ ගැන උනන්දුවක් නැති කම නිසා නොවේද, පක්ශග්‍රාහිත්වය නිසා නොවේද? තමනුත් මෙම වැරැද්දම යම් හේතුවක් නිසා කරන නිසා නොවේද?

වසර 30ක් පරිසර කටයුතු කල මා මේ සියල්ල ඇත්ත බව දනී. ඊයේ දින මුතුරාජවෙල සම්බන්ධ රැස්වීමකදීද මතුවූයේ මේ කරුණය.

සල්ලිකාරයන් සමග හැප්පෙන්නට අපට හැකි වුවත් උන්ට කඩේ යන මෝඩ වන්දිභට්ටයන් සමග හැප්පෙන්නට අපට නොහැක. ඒ සත්‍යය හෝ නීතිය තේරුම් ගැනීම උන්ගේ අවශ්‍යතාවය නොවන බැවිනි.

අපට නිවැරදි වන්නට ඇත්තේ තවත් සුලු කාලසීමාවක් පමණි. පරිසර සම්පත් එක් සීමාවකට වඩා අඩුවූ පසු නැවත ආපසු හරවන්නට නොහැහ. තවත් වසර දහයක් පමන මේ ආකාරයෙන්ම පැවතුනොත් අපට නිවැරදි කරගන්නට දෙයක් ඉතුරු නොවනු ඇත.


පරිසර විද්‍යාඥ – හේමන්ත විතානගේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button