ශ්‍රී ලංකාව

පළමු කොවිඩ් එන්නත ගත් පිරිසට දෙවැනි එන්නත අහිමි වීමේ අවදානමක් !

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඉන්දියාවේ සේරම් ආයතනයෙන් ඇණවුම් කළ ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් ලක්ෂ 15න් කොටසක් හෝ මාර්තුවේ  දී ගෙන්වා ගත නොහැකි වුවහොත්, පළමු මාත්‍රාව ගත් පිරිසෙන් කොටසකට දෙවැනි මාත්‍රාව අහිමි වීමේ අවදානමක් මතුව ඇත.

එම නිසා පසුගිය දිනවල කොවිඩ් එන්නත ලබා දුන් පිරිසට දෙවන එන්නත ලබා දෙන දිනය සඳහන් නොකිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබේ. මුල දී එන්නත දුන් සැමට මාස තුනක දී දෙවන මාත්‍රාව දෙන දිනය එන්නත ගනිද්දී ලබා දෙන කාඩ් පතේ සඳහන් කර තිබුණ ද, එන්නත් ගෙන්වීමේ අර්බුදය මතු වූ පසු එය සඳහන් නොකිරීමට සෞඛ්‍ය සේවකයන්ට බලධාරීන්ගෙන් උපදෙස් ලැබී ඇත.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඉන්දියාවේ සේරම් ආයතනයෙන් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 10ක් ඇණවුම් කළ අතර, ඇණවුම පිළිගත් ඔවුන් පසුව සඳහන් කළේ අප්‍රේල් වන විට තමන්ට එම එන්නත් ප්‍රමාණය හෝ ඉන් කොටසක්වත් ලබා දිය නොහැකි බව ය. එම නිසා මෙම අර්බුදය මතුව තිබේ.

පළමු මාත්‍රාව ගත් සෞඛ්‍ය සේවයේ පිරිසට අප්‍රේල් අග සහ මැයි මුල සතිවල දී දෙවන මාත්‍රාව දිය යුතු වේ. ඉන් පසුව එන්නත ලබා ගත් ආරක්ෂක අංශ නිලධාරීන්ට මෙන් ම සාමාන්‍ය ජනතාවට ද මැයි මාසය තුළ දී දෙවන මාත්‍රාව දිය යුතු ය. එම කාලසීමාව තුළ දී දෙවන මාත්‍රාව නොදුනහොත්, පළමු මාත්‍රාවෙන් ප්‍රයෝජනයක් නැතැයි වෛද්‍යවරු පෙන්වා දෙති.

ඉන්දියාවෙන් ලද එන්නත් ලක්ෂ 5ක ප්‍රදානයෙනුත්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ‘කොවැක්ස්’ පහසුකම යටතේ හිමි වූ එන්නත් දෙලක්ෂ හැටහතර දහසක ප්‍රමාණයෙනුත් එන්නත් ලක්ෂ 4කට අසන්න ප්‍රමාණයක් පළමු මාත්‍රාව ලෙස ජනතාව ලබා දී තිබේ. ඒ අනුව කොටසකට මෙම එන්නතේ දෙවැනි මාත්‍රාව දීමේ අවදානමක් ඇතිව තිබෙන බැවින්, එන්නත්කරණය ක්‍රමානුකූලව තාවකාලික නවතා දැමීමකට ලක් කර ඇතැයි ද සෞඛ්‍ය නිලධාරියෙක් ‘ඉරිදා ලංකා’ පුවත්පත සමඟ පවසා ඇති බව එම පුවත්පත වාර්තා කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button