විශේෂාංග

භාග්‍යා සහ ‘ලංකාවේ අභාග්‍ය’

රක්වාන ප්‍රදේශයේ පදිංචි භාග්‍යා අබේරත්න තරුණිය සිරස රූපවාහිණි නාලිකාවේ, ‘ලක්ෂපති’ නම් වැඩසටහනට සහභාගිවී එම වැඩසටහන අතරතුර පරිසරය පිළිබද ඇගේ අදහස ප්‍රකාශ කිරීම හේතුවෙන් පීඩාවට ලක්වෙමින් සිටී. ඇතැම්විට එය වෛරය දක්වා ගමන් කරන ස්වාභාවයක්ද පෙන්නුම් කරයි. ආණ්ඩු හිතවාදී ඇතැම් සමාජ ජාල ක්‍රියාකරුවෝ දුෂ්ඨ, වෛරී වචන වලින් ඇයට දමා ගසමින් ඇත. පොලීසියේ ‘පිරිමි’ නිළාධාරීන් ප්‍රකාශයක් ගැනීමට ඇගේ නිවසට යයි. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ‘පිරිමි’ නිළධාරින් ඇයගෙන් ප්‍රශ්න කරයි. මේ සියල්ලට හේතු වී ඇත්තේ, සිංහරාජ මායිමේ පදිංචි ඇයගේ පරිසරය රැකගැනීම පිළිබද වන ප්‍රකාශයයි. තමන් ජීවත් වන ප්‍රදේශයට අයත් සිංහරාජ වනාන්තරය, එහි ජීවත්වන සතා සිව්පාවා, විශේෂයෙන් එහි ජීවත්වන අලින් දෙදෙනා ඇය ගැන කතා කරයි. එහි අලිමංකඩ විනාශ වීම ගැන ඇය කතා කරයි. සමස්ථයක් ලෙස, ‘වන විනාශය’ පිළිබදව වන ඇගේ විරෝධය එයින් මතු කිරීමට උත්සහ කරයි. නමුත් ඇගේ ප්‍රකාශය තුළ කිසිවෙක්ට නිශ්චිත චෝදනාවක් එල්ල කරන්නේ නැත. කිසිදු නමක්, ගමක් සදහන් කරන්නේද නැත.

නිශ්චිතව ගත්කල ඇය එහිදී ප්‍රකාශ කරන්නේ පරිසර විනාශය ගැන තමන් තුළ ඇති වේදනාත්මක ස්වරයයි. වනාන්තර, සතා සිව්පාවා පිළිබදව වන ඇගේ සංවේදනයයි. පරිසරය රැකගැනීම සදහා වන ඇගේ උනන්දුවයි. ඕනෑකමයි.

එසේම, පරිසර සංරක්ෂණය පිළිබද, වනාන්තර ආරක්ෂා කර ගැනීම පිළිබද උනන්දුවන, පාට කණ්නාඩිවලින් ඒ දෙස ‘නොබලන’ ඕනෑම අයෙක්ට වැටහෙන දෙයක් මේ කාලය තුළ සිදුවෙයි. එය නම්, වත්මන් ගොඨාබය රාජපක්ෂ ආණ්ඩුව බලයට පැමිණි දා සිට ලංකාව තුළ සිග්‍රයෙන් ඉහළ යන වන හානියයි. එය සෑම ආණ්ඩුවක් සමයේම සිදු වුවත් මේ තරම් වේගයකින්, අලුතින් පත් වූ ආණ්ඩුවක් යටතේ සිදුවන පළමු අවස්ථාව විය හැකියි. එම නිසා, ඒ පරිසරය පිළිබද උනන්දුවන ‘නිදහස් පුරවැසියෙක්ට’ එයට ඇත්තේ විරෝධයකි. එම විරෝධය සාධාරණ එකකි.

ඒත් සමග ආණ්ඩුවේ දේශපාලකයින්ගේ සමීපතමයින්, හෙංචයින් විසින් සෘජුවම සිදුකරන ඇතැම් වන විනාශයන් සම්බන්ධව නම්, ගම් සහිතව පරිසරවේදීන් විසින් හෙළි කර තිබේ. ඒවා පිළිබද ඕනෑතරම් මාධ්‍ය විසින් වාර්තා කර ඇත. ඒ පිළිබද කිසිදු සාධාරණ පරීක්ෂණයක් සිදුකර විනාශයන් වැළැක්වූ ස්ථානයක් ගැන අසන්නට නැත. බොහොමයක් අපරාධවල මෙන්ම, පාරිසරික අපරාධකරුවන් ද නිදැල්ලේ ය. එසේ තිබියදී, ලංකාවේ ‘පරිසරය ආරක්ෂා කරගැනීම’ පිළිබද වන හැගීම, සිය නිදහස් අදහස් ලෙස ප්‍රකාශ කිරීම නිසා ප්‍රශ්ණ කිරීමට ලක් වීම එක් අතකින් පුදුමයට පත් විය යුතු ද නැත. එසේ වන්නේ, යම් අදහසකින් කියැවෙන පණිවිඩය හි හරය දෙස නොව, පණිවිඩකරුට තඩි බෑම ලාංකීය සමාජයේ කිදා බැස ඇති පුරුද්දක් වීමය. ඇතැම් විට සංස්කෘතියේ කොටසක් මෙනි. පණිවිඩකරු ස්ත්‍රියක් නම් එම තඩි බෑම තවත් තීව් කිරීමට තරම් ලංකා සමාජය දූගී බවට පත් වී තිබේ. අශිලාචාර තත්ත්වයකට පත්ව තිබේ. මෙහිදී සිදු ඇත්තේ ද එයයි.

කෙසේ නමුත්, රාජ්‍යක් කළ යුතු වන්නේ මෙවැනි ඇදහස් ඇති අයව දඩුකදේ ගැසීම නොව, භාග්‍යා වැනි අයව අගය කිරීමය. ඇය විසින් ඇය දරණ මතය ට ධෛර්ය දීමය. වනය, සතා සිව්පාවා ආරක්ෂා කීරීමට බැදී සිටින වන සංරක්ෂන නිළධාරීන් කළ යුතු වන්නේ, සද්දේ දමා, භිතියට පත්වන අයුරින් ප්‍රශ්ණ කිරීම නොව, දෙපාර්තමේන්තුවේ නොමද ගෞරවයට පාත්‍ර කිරීමකි. නමුත් සිදුවන්නේ හාත්පසින් වෙනත් දෙයකි. එය ලාංකාවට අභාග්‍යක් නොවන්නේද?

එසේම, ජනාධිපතිවරණයේ දී ‘‘ගෝඨාභය රට හදන සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ‘‘තිරසර පරිසර ප්‍රතිපත්තියක්” කොටසෙහි මෙසේ සදහන් වෙයි. ‘‘වර්තමානයේ සිදු වන බොහෝ මනුෂ්‍ය ක්‍රියාකාරකම් නිසා පරිසර පද්ධතියට සිදු වන විනාශය අති විශාල බව ය. එම නිසා අනාගත පරපුරට සුරක්ෂිත පරිසර පද්ධතියක් තුළ ජීවත් වීමට ඇති අයිතිය ආරක්ෂා කිරීමේ වගකීම අප හට පැවරී තිබේ”

‘වගකීම’ කෙසේ වෙතත් ඒ පුරවැසි වගකීම පිළිබද සිය අදහස් නිර්බයව ප්‍රකාශ කරන භාග්‍යා වැනි තරුණියන්ගේ ‘අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස’ පමණක් වත් ආරක්ෂා කළොත් දැනට ඒ ඇතිය. කෙසේ නමුත්, මෙවැනි අදහසක් ප්‍රකාශ කිරීම නිසා, තරුණ තරුණියන්, රාජ්‍ය යාන්ත්‍රණයන්ගේ බිය ගැන්වීම්වලට ලක් වන්නේ නම් එය බියකරු තත්ත්වයකි. එය ලංකාවේ අභාග්‍යක් නොවන්නේද?

ඇය ඉදිරිපත් කළ අවශේෂ කරුණු කෙසේ වෙතත්, පරිසරය පිළිබද ඉදිරිපත් කළ සහ ‘කරමින් ඇති’ ඇදහස්වල ඇති වටිනාකම නිසාම භාග්‍යා වැනි අදහස් ඇති අය, කුඩා පැළ අවදියේම උදුරා දමන්නට උත්සහා කිරීම අභාග්‍යක් නොවේද? අදාල සිරස වැඩසටහනින් පසුව, වන සංරක්ෂන නිළදාරීන් හමුවේ ද ඇය විසින් කරන ප්‍රකාශයන් ඉදිරිගාමීය. එබැවින් ස්ටුඩියෝවක් තුළ කැමරාව ඉදිරියේ පමණක් නොව ඇය සාමාන්‍ය ජීවිතයේ ද පරිසරය පිළිබද ඇගේ වන සහකම්පනය ඉන් ගම්‍ය වෙයි. එවැනි තරුණ ප්‍රජාවක් අවැසි මොහොතක, එවැනි අදහස් උපදින තැනම මරා දමන්නට කැසකැවීම ම අභාග්‍යක් නොවන්නේද?

“මේවා කියලා අපේ ගමට යන්න හම්බවෙයි ද කියා මම කල්පනා කෙරුවේ” – භාග්‍යාගේ පියා

අනෙක් වැදගත් ම කරුණ නම්, සිරස වැඩසටහන අතරතුර භාග්‍යා පවසන යම් අදහසකට භාග්‍යාගේ පියා දක්වන ප්‍රතිචාරයයි. ඔහු මේසේ කියයි. ”මේවා කියලා අපේ ගමට යන්න හම්බවෙයි ද කියලා මම කල්පනා කෙරුවේ’, ‘අපිට ගමේ ඉන්න වෙයිද දන්නේ නෑ’ ඔහු පවසයි.

රක්වානේ මේ මිනිසාට මෙසේ සිතුනේ ඇයි? විසම්මුතික අදහස් දැරීම නිසා ගොදුරු බවට පත්විය හැකි බව ඉවෙන් මෙන් ඔහුට දැනුනේද? ලංකාව, විසම්මුතික අදහස්, වෙනස් මත දැරීම නිසා රාජ්‍ය ත්‍රස්තවාදයේ ගොදුරු බවට පත් වූවන්ගේ භුමියක් බව ද ඔහු දන්නවා විය හැකිය.

වත්මන් ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ධූරය උසුලන කාලයේ, එසේ ගොදුරු බවට පත් වූ ලසන්ත වික්‍රමතුංග, පෝද්දල ජයන්ත, ප්‍රගිත් එක්ණැලිගොඩ ආදී ජනමාධ්‍යවේදීන් ගැන ද ඔහු දන්නවා වන්නට පුලුවන. ඒ වගේම, පසුගිය වසර ගණනාව පුරාම එසේ වෙනස් මත දැරීම නිසා ම ගොදුරු බවට පත් වූ සිවරාම්, නිමළරාජන්ගේ සිට රිචඩ් ද සොයිසා, ආදී මිනිසුන් සහ ගැහැණුන් පිළිබද ව ඔහු දන්නවා ඇති! ඇතැම් විට නොදන්නවා ඇති! නමුත්, සිදුව ඇත්තේ ද, සිදුවෙමින් ඇත්තේ ද කුමක් දැයි ඉවෙන් මෙන් ඔහුට දැනී ඇති බව නම් නිසැකය.

එබැවින් රක්වානේ ජීවත්වන මේ ගැමි මිනිසාගේ සිතිවිල්ල තුළ ඇති බියකරු බව අප ව රැගෙන යන්නේ නැවතත් ඒ අදුරු අතීතයට නොවේ දැයි කාට නම් කිව හැකිද?

එම නිසා, ප්‍රකාශනයේ නිදහස, ‘තර්ජනයක්’ ලෙස සලකන ඕනෑම පාලක යාන්ත්‍රණයක ඇති අශීලාචාර සහ ගෝත්‍රික බව ලොවෙන් සැගවීමට නම් නූතන සමාජ තත්ත්වයන් හමුවේ කළ නොහැක්කකි. එසේ කිරීමට ගන්නා ඕනෑම උත්සහයක් තුළින් තව තවත් එහි ඇති අශිෂ්ට බව ලොව හමුවේ නිරාවරණය වනු ඇත.

වෙමින් ඇත්තේ එය නොවේද?


උපුටා ගැනීම – vikalpa.org

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button