විශේෂාංග

කෘත්‍රිම කතිකාවන්ට එරෙහිව ශිල්පීය න්‍යායේ අපූර්වත්වය දකිමු

ශානක රැකියාවෙන් වෛද්‍යවරයෙක්. ඒත් ගොඩක් අය දන්නෙ චිත්‍ර ශිල්පියෙක් කියලා. ඇයි එහෙම වෙන්නෙ…? ඒ තමයි ශානකගෙ චිත්‍රයේ තිබෙන අනන්‍යතාවය විසින් ඔහුට හදන තැන පිළිබඳ අදහස. පුද්ගලිකව මම විශ්වාස කරන්නෙ නෑ උපාධිය තිබෙන හැමෝටම මේ වැඩේ අහුවෙනවා කියලා සහ මේ වැඩේ අහුවෙන හැමෝටම උපාධිය තියනවා කියලා. ඒක ශානක මේ මොහොතේ ඔප්පු කරමින් ඉන්නවා. ඒක කුහක නොවී, අපි හැමෝටම පිළිගන්න වෙනවා.

මේ චිත්‍ර අඳින දොස්තර මහත්තයා oil on canvas කියන පැරණි අදහස තාමත් අලුත් කරමින් ඉන්නවා. ඔහු කරන්නෙ කැමරාවෙන් කරන දේ නෙවෙයි. 1826 දී ගන්නා ලද පළමු ඡායාරූපයෙන් පසු ඡායාරූපයේම වෙනස්කම් සමඟින් එය ඉදිරියට එද්දී ඡායාරූපයකින් කරන්න බැරි දේ painting එකකින් කරන හැටි කලා ඉතිහාසය සාක්ෂි දරනවා. නූතනත්වය තුළ චිත්‍රයේ කතාව බොහෝ දුරට කැමරාවකින් වෙනස් වන කතාවක්. මේ මොහොතේද ඡායාරූපය සහ චිත්‍රය වෙනස්කම් මාර්ක් කරමින් ඉදිරියට ඇදෙමින් යනවා. ශානක ඡායාරූපයකින් කරන්න බැරි දෙය චිත්‍රය ඇතුළෙ කරමින් ඉන්න නිසාමයි ඔහුගෙ මේ පින්තාරු රහ වෙන්නෙ.

හිතන්න වින්සන්ට් වැන්ගෝගෙ පින්තාරුවල තියෙන brushstrokes වල ego centric feel එක. ඒ brushstrokes වල එහිම වූ දෙයක් තියෙන්නෙ. ශානකගෙ චිත්‍රවල ego centric එකක් වැන්ගෝගෙ වගේ නැති උනාට ඒ brushstrokes ඡායාරූපයකින් කරන්න බැරි රහකට දැනීමකට අපව කැඳවනවා.

චිත්‍රයේ ආකෘතිය මේ වන විට ශානරමය වශයෙන් වෙනස් වෙලා බව ඇත්ත. ශානක මේ මානව රූප ආදර්ශ කරගෙන නිෂ්පාදනය කරන්නෙ පැරණි චිත්‍රයේම ඒ තුළ තියෙන තාමත් මියැදුනේ නැති ගුණය. ඒක අපව කුල්මත් කරවන විදියට ශානක කරන නිසා තමයි ඡාරූපයෙන් වෙන් වෙන්නෙ. පින්තාරුකරණයෙන් ලබන ප්‍රමෝදය දකින්නනම් ශානකගෙ චිත්‍ර ලඟට එන්න. ඔහු හතර සීමාව සංවිධානය කරන අයුරු චිත්‍ර කලාවේ ව්‍යාකරණ ගැන විශිෂ්ට කුසලතාවයක් පෙන්නන සිත්තරෙක්, සමහර සංරචනයන් ඉතාමත් විශිෂ්ටයි.

සාමාන්‍යයෙන් paintings කිව්වම මුලින්ම එන අදහස තමයි oil on canvas සහ figurative කියන එක. ඒක කලාව සම්බන්ධ ඓතිහාසික කතාවක්. ශානක තාමත් ඒ academic base එකට කැමතියි සහ එහි තිබෙන අපූර්වත්වයන් කලබලයකින් තොරව ලස්සනට play කරනවා. ඒ විනය ඔහුට තිබෙනවා කියලා මම හිතනවා;
චන්ද්‍රගුප්ත තේනුවර සර්ගෙන් ශානකට යම්කිසි මූලික පුහුණුවක් ලැබෙනවා විභවි යන මුල්කාලයේ. එයත් ශානකට බලපානවා මේ තරම් ලස්සනට oil colour එකත් එක්ක වැඩ කරන්න. තේනුවර සර් නිසා ඒ විනය මා ඇතුළු තව බොහෝ අයට බලපෑවා කියලා මම විශ්වාස කරනවා.

Conceptual art වල වර්ගීකරණයටද සෘජු සම්බන්ධයක් නැති වුවද ඒ ලක්ෂණ සමහර තැන්වල පෙනෙන්නට තිබෙනවා. වචන වෙනුවට ක්‍රියාව පෙන්වන ශානක එය අපට ගේන්න Oil colour එකෙන් human figure එක මුල්කරගෙන සංරචනය ගැන මූලික කොන්දේසි උල්ලංඝණය කරන්නේ නැතුව ඒකට ගොඩක් වෙහෙසෙනවා. තනි figure එකක් අවකාශයක සංරචනය කරන එක ටිකක් වෙහෙසකර වැඩක්. ශානක එය විසඳගන්නෙ ලොකු practice එකක් ඇතුළෙ. ඒ තමයි ශානකගෙ චිත්‍රයේ තාක්ෂණික කාරණා ජයගන්නා විදිය.

සාමාන්‍යයෙන් මෑතකාලීන ලංකාවේ ජ්‍යෙෂ්ඨ චිත්‍ර ශිල්පියෙකුටත් මග ඇරෙන තැනක් ශානක අල්ලගන්නවා. ඒතමයි ආදර්ශ රූප (modle) භාවිතයට ගැනීම. ඒක චිත්‍ර ශිල්පියෙකුට එක දිගට practice කරන්න අමාරුයි අපේ වගේ රටක. ශානක එයත් තමන්ගේ චිත්‍රයෙ දේශයට ලස්සනට ගෙනවිත් figurative paintings වලට බරක් ගෙනල්ලා දෙනවා. අප කොතෙක් කතා කීවත් වචන සහ ක්‍රියාව අතර සම්බන්ධය කැන්වසය තුළ ලිහා ගැනීමට අසමත්නම් එය දෘශ්‍ය කලා ශිල්පීන් හැටියට අපගේ විනය සහ පුහුණුව සම්බන්ධ ගැටළුක්. ශානක කැන්වසය තුළ ගොඩනඟන දෘශ්‍ය සාක්ෂරතාවය (visual literacy) හරි පොහොසත්‍.

සාමාන්‍යයෙන් මම විශ්වාස කරන දෙයක් තමයි එක විෂයක් තවත් විෂයකින් පෝෂණය වන බව. ඒක ශානකට අනුවත් ඇත්ත වෙන කාරණයක්. ශානක doctor කෙනෙක් නිසාම මිනිස් විෂය සම්බන්ධව touch කරන විදිය අපට වඩා වෙනස්. Human body එකේ භෞතික හා මානසික සූක්ෂමතාවයන් ඔහු විද්‍යාව ආභාසයෙන් තේරුම් ගන්නවා. අධ්‍යයනයක් හැටියට මිනිස් සිරුරේ කායච්ජේදනය ශිෂ්‍ය අවධියේ දී ඉගෙන ගන්නවා. මෙන්න මේ විද්‍යාව තමයි ශානකගේ චිත්‍රයේ human figure එක එක්ක වැඩ කරද්දී ඔහුගෙන් ගොඩක් දුරට වෙන්කළ නොහැකි සම්බන්ධයක් ලෙස අපට මුණ ගැසෙන්නේ.

චිත්‍රය කියන්නේ මේ මොහොතේ විවිධ ශානරයන් ඔස්සේ කියවා ගත හැකි දෙයක් බවට පත්ව තිබියදීත් ශානක තාමත් තමන් විශ්වාස කරන දේ වෙනුවෙන් පෙනී සිටිමින් කැන්වසයේ හතර සීමාව ග්‍රහණය කරගෙන ඉන්නවා. වචනවලින් ගොඩනගන කෘත්‍රිම කතිකාවන්ට එරෙහිව ටෙක්නික්ස්වලින් ගොඩනගන භාෂාව ඔහුගේ ආත්මයයි.


ප්‍රගීත් රත්නායක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button