විශේෂාංග

නිර්භය මාධ්‍යකරණයේ ජීවමාන පෞරුෂ ද්විත්වය

නිර්භය ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකු යනු කවරෙක්ද? දූෂිත පාලකයෙක් බලයෙන් පහකර දමා ගෙදරට තල්ලුකර දැමිය හැකි මිනිසෙකි. එවන් පුවත්පත්කලාවේදින් සිටියේද? නිසැකවම ඔව්. ලොව ප්‍රබලම තනතුරද ප්‍රබලම මිනිසාද ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති තනතුර දරන තැනැත්තා යැයි කියනු ලැබේ. එවන් බලයක් සතු මිනිසෙක් ඉදිරියේ පුවත්පත්කලාවේදියා නිකන්ම නිකන් මී පැටවෙකි. අප දැන් සටහන් තබන්නේ මේ සා බලවත් තනතුරක් දැරූ එවකට ඇමෙරිකා එක්සත් ජනපදයේ අතිශය ජනප්‍රිය “රිචඩ් නික්සන්” ජනාධිපති තනතුරෙන් පහකර සිය නිවෙසටම ගාල්කල නිර්භය පුවත්පත්කලාවේදින් දෙදෙනෙකු පිළිබදවය.

කතාන්දරය ඇරඹෙන්නේ 1972 ජුනි 17 වැනි දින වොෂිංටන්හි පිහිටි වෝටර්ගේට් හෝටල් සංකීර්ණයේ තිබු ඩිමොක්‍රටික් ජාතික කමිටු කාර්යාලයට රහසේ රිංගාගත් මිනිසුන් 05 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්වීමෙනි. එය ඇමෙරිකා එක්සත් ඡනපදයට නව ජනාධිපතිවරයෙකු පත්කරගැනීමේ මැතිවරණ කාල සමයයි. බලයේ සිටියේ අතිශය ජනප්‍රිය රිචඩ් නික්සන් ය. හේ දෙවන වරටද ජනාධිපති අපේක්ෂකයකු ලෙස තරග වදියි. බොහෝ ඇමෙරිකානුවන් සහ දේශපාලන විචාරකයන් සිතා සිටියේ ඩිමොක්‍රටික් ජාතික කමිටු කාර්යාලයට සොරු කඩාවැදුනේ ළඟ එන මැතිවරණය නිසා ඩිමොක්‍රටික් පක්ෂයේ රහස් තොරතුරු සොරාගැනීමට බවයි. ධවල මන්දිරය මේ ගැන කියා සිටියේ “එය තෙවන පන්තියේ ක්‍රියාවක්” බවයි.

The Washington Post පුවත්පත මෙකී සිද්ධියට ලොකු බරක් නොතැබු අතර එය වාර්තා කිරීම සඳහා මාස 9 ක් වැනි සුළුකාලයක් පුවත්පත සමග වැඩකල “කාල් බර්න්ස්ටයින්” සහ වසර දෙකක් පමණ පුවත්පත්කලාවේදියෙකු ලෙස සේවය කල “බොබි වුඩ්වර්ඩ්” යන දෙදෙනාට පැවරීය. බර්න්ස්ටයින් යනු බොබි වුඩ්වර්ඩ්ට වඩා සහමුලින්ම වෙනස් පත්තරකාරයෙකි. ඔහුගේ දෙමව්පියන් 1940 ගණන් වල සිවිල් අයිතිවාසිකම් ක්‍රියාකාරීන් සහ කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයෝ වූහ. එබැවින් හේ අනෙකාට වඩා වඩාත් නිර්භය හා විචක්ෂණශීලි විය. බර්න්ස්ටයින් එක හෙලාම බොබිට පවසා සිටියේ මේක ජනාධිපතිගේ වැඩක් යනුවෙනි. ඒ අතර රිචඩ් නික්සන් දෙවනවරටත් ජනාධිපති වුයේ අති දැවැන්ත ජයග්‍රහණයක් ලබමිනි.

ඒ අතරතුර ජනමාධ්‍යවේදින් දෙපල අත්අඩංගුවට ගත් පස්දෙනාම මෙහෙයවා තිබුනේ ධවල මන්දිරය බව හෙලිකරගත්හ. ඔවුන් පැමිණ තිබුනේ රහස් ලියවිලි සොයා නොව ඩිමොක්‍රටික් ඉහළ පෙලේ නායකත්වය කරනු ලබන සාකච්ඡාවලට රහසිගතව ඇහුම්කම්දීම සඳහා සියුම් විද්‍යුත් උපාංග සවිකිරීම පිණිසය. එයට නායකත්වය දී තිබුනේ හිටපු CIA නිලධාරියෙකි. ඔවුන්ට මුදල් පොම්පකිරීම හා මෙහෙයවීම සිදුකර තිබුනේ ධවල මන්දිරයේ රිචඩ් නික්සන්ගේ ප්‍රධානියා වු ඡොන් ඩීන්ය.

සියලු ඇමෙරිකානුවන් සිතුවේ රිචඩි නික්සන් ජනාධිපති බවට නැවත පත්වූ නිසා සියල්ල යට යනු ඇතැයි සිතාය. එහෙත් අභීත මාධ්‍යවේදීන් දෙදෙනා ඒ වනවිටත් වොෂිංටන් පෝස්ට්හි මුල් පිටුවේ සිය ජනාධිපතිවරයාව දඬු කඳක ගසමින් සිටියේය. ජනාධිපතිවරයාව මේ අපවාදයෙන් බේරා ගැනීම සඳහා ධවල මන්දිරයේ ප්‍රධානියා ඇතුලු නිළධාරින් හතර දෙනෙකු සිය වෘත්තීන්ගෙන් සමු ගත්තේය. එහෙත් එය එතැනින් නවතාලීමට පුවත්පත් කලාවේදීන් දෙදෙනා ඉඩ තැබුවේ නැත. ඔවුන් කමිටු කාර්යාලයට කඩා වැදුනු මිනිසුන්ට දී තිබු රිචඩි නික්සන්ගේ අත්සනින් යුත් චෙක්පතක් මාධ්‍ය මගින් ප්‍රදර්ශනය කළෝය. එබැවින් මේ අපචාරී ක්‍රියාවන් පිලිබඳව සොයා බැලීමට සෙනෙට් සභාව විශේෂ කමිටුවක් පත්කළේය.

විශේෂ කමිටුවේදී සාක්ෂි දුන් ධවල මන්දිරයේ ප්‍රධානියා වෝටර්ගේට් සිද්ධිය කෙසේ හෝ යටපත්කිරීමට අවශ්‍ය සියලු දේවල් කරන්න යැයි යම් සාකච්ඡාවකදී ඡනාධිපතිවරයා තමාට පැවසූ බව කමිටුව ඉදිරියේ ප්‍රකාශ කළේය. කමිටුව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ වහා එම හඬපට කමිටුවට ඉදිරිපත් කරන ලෙසයි. රිචඩ් නික්සන් එය උපහාසාත්මක ලෙස බැහර කර තිබිණි. සෙනෙට් සභාව එය ශ්‍රේෂ්ඨාධිකරණයට ගෙන ගියේය. ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කලේ ජනාධිපතිවරයා වහා එම හඬපටි සෙනෙට් සභාවට ඉදිරිපත් කල යුතු බවයි. උඩගු රිචඩ් නික්සන් තම ජනාධිපති බලතල පාවිච්චියට ගනිමින් එය ප්‍රතික්ෂේප කළේය. ඔහුට වැරදුනේ එතැනය.

එක්සත් ජනපදයේ නීතිය ඇත්තේ සියල්ලටම උඩිනි. එහිදී එක්සත් ජනපදයේ ජනාධිපති ද එකී නීති පද්ධතියට යටත්ය. දෙවැනිය. ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් රිචඩ් නික්සන් ජනාධිපතිවරයා එක්සත් ජනපද අධිකරණයට හා නීති පද්ධතියට අභියෝග කර ඇති බැවින් ඔහුට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමට නියෝඡිත මන්ත්‍රී මණ්ඩලය ලහිලිහියේ ලෑස්ති වන විට තවත් වසර දෙකක් සිය ධුරකාලය ඉතිරිව තිබියදී රිචඩ් නික්සන් සිය ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්විය. සිය ධුරකාලය ඉතිරිව තිබියදී ඉල්ලා අස්වු ප්‍රථම එක්සත් ජනපද ජනාධිපතිවරයා රිචඩ් නික්සන්ය.

නික්සන් ඉල්ලා අස්වීමට මාස දෙකකට පෙර, බර්න්ස්ටයින් සහ වුඩ්වර්ඩ් එකතුව මේ අපකීර්තිමත් සිදුවීමේ සියලු ලේඛන ඇතුලත් පොතක් එළිදැක්වීය. එය All the President’s Men නමි විය. පුරා සති තුනක කාලයක් All the President’s Men ඇමෙරිකා එක්සත් ජනපදයේ වැඩියෙන්ම අලෙවිවු පොත ලෙස ඉතිහාසයට එක්විය. 1972 දී බොබි වුඩ්වර්ඩ් සහ කාල් බර්න්ස්ටයින්ගේ වොෂිංටන් පෝස්ට් හි පලවු වෝටර්ගේට් ලිපි මාලාවට පුල්ටිසර් ත්‍යාගය හිමිවිය. කාල් බර්න්ස්ටයින් දිගටම වොෂිංටන් පෝස්ට් හි රැඳි සිටි අතර එක්සත් ජනපදයේ දෙසැම්බර් 11 ප්‍රහාරය වොෂිංටන් පෝස්ට් වෙනුවෙන් වාර්තා කළේ ඔහුය. වොෂිංටන් පෝස්ට් පුවත්පතට ඒ සඳහා ද පුල්ටිසර් සම්මානය ලැබිණි.

බොබි වුඩ්වර්ඩ් පසුකලෙක වොෂිංටන් පෝස්ට් හැර ගිය අතර ඔහුගේ කීර්තිනාමය කෙසේද යත් වර්තමානයේ ඔහු ගේ එක් දේශනයක් සඳහා ලංකාවෙි මුදලින් එක්කෝටි විසි ලක්ෂයක් ගෙවිය යුතුය. පසුකලෙක ඔහු පෙමින් වෙලුනේ බ්‍රිතාන්‍ය අගමැති ජේම්ස් කැලගන්ගේ දියණිය වන මාග්‍රට් ජේ සමගය.

රිචඩ් නික්සන් නම් මළා. ඒත් මේ මිනිස්සු දෙන්න තවමත් අති‍ශය තෘප්තිමත්ම ජීවතුන් අතර ය.


උපාලි ජයසිංහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button