ශ්‍රී ලංකාව

“භාග්‍යා කිසිසේත්ම හිරිහැර සහ අපවාද ලැබිය යුතු අයෙකු නොවේ”

- ආචාර්ය හරිනි අමරසූරිය

පසුගිය දිනෙක සිරස ලක්ෂපති වැඩසටහනේදී දැක්වූ අදහසක් හේතුවෙන්, භාග්‍යා අබේරත්න නමැති තරුණිය වටා සිදුවෙමින් පවතින කලකෝලාහලය අපගේ සමාජයේ ඇති ඉතාමත් නින්දිත ආකල්පයන් එකින් එක අපට නිරාවරණය කරමින් ඇති බව ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඇය මේ බව සඳහන් කරයි.

එම සටහන පහතින්

භාග්‍යා වටා සිදුවෙමින් පවතින කලකෝලාහලය අපගේ සමාජයේ ඇති ඉතාමත් නින්දිත ආකල්පයන් එකින් එක අපට නිරාවරණය කරමින් ඇත.

පළමුව, 19 හැවිරිදි ඇයව පුංචි බබෙකු ලෙස සැලකීම කරුණාකර නතර කරන්න. ස්වාධීන මතවාදයන් දැරීමට සහ තමන්ගේ අදහස් පැහැදිලිව කියාපෑමට ඇයට ඇති හැකියාව මෙන්ම තමන්ගේ වැටහීම් වෙනුවෙන් නිර්භයව ඉදිරිපත් වීමට ඇති හැකියාවද ඇය මනාව ප්‍රදර්ශනය කර ඇත. දෙවනුව, රාජ්‍ය නිලධාරීන් ඇයගෙන් ප්‍රශ්න කිරීම් සිදු කරන අයුරින් පෙනී යන්නේ, ආත්ම විශ්වාසයෙන් යුතු ව්‍යක්ත නව යොවුන් වියේ පසුවන්නන් සමග කටයුතු කිරීමට ඔවුන්ට ඇති නොහැකියාවය. දක්ෂ, එඩිතර තරුණ තරුණියන්ගෙන් අභියෝගයක් එල්ල වන විට ඔවුන් කරන්නේ තර්ජනයෙන් සහ හිරිහැරයන්ගෙන් බිය වැද්දීමය. තෙවනුව, ස්වාධීනව කටුයුතු කල නොහැකි අයෙකු ලෙසට, ඇයව හුදු භාණ්ඩයක් ලෙසට සලකමින්, උත්කර්ෂයට නගමින් ඇයට පක්ෂ සහ විරුද්ධ දෙකොට්ඨාශයම මාධ්‍යවල ඇය ගැන සාකච්ඡා කරන අයුරින් නැවත වතාවක් පෙනී යන්නේ ශ්‍රී ලාංකීය මාධ්‍යවල තකතීරු බවය. සතරවනුව, අවුරුදු 19ක යුවතියක් විසින් ප්‍රසිද්ධියේ සිදු කරන එකම එක විරෝධයකින් මුළු ස්ථාපනයම හෙල්ලුම් කෑමෙන් පෙනී යන්නේ අපගේ ‘නායකයින්’ ගේ බියගුළු බව සහ තමන් ගැන ඇති අවිශ්වාසයය. අවසාන වශයෙන් මේ සිදුවීම අපට පැහැදිලිව පෙන්වා දෙන්නේ අපගේ විශාල සමාජ පරතරයි. භාග්‍යා, ප්‍රසිද්ධියේ කතා කළ ප්‍රථම (හෝ අවසාන) 19 හැවිරිදි පුද්ගලයා නොවේ. නමුදු ඇය පැමිණෙන්නේ ඇයව ඉහත සියලු දේ වලට නිරාවරණය කරන පසුබිමකිනි. වඩා සැපපහසු සහ සුරක්ෂිත පසුබිම් වල සිටින සමවයස් පුද්ගලයින්ගෙන් කීයෙන් කී දෙනක් ඇය වටා එක්රොක් වන්නේද? අවම වශයෙන් මේ සිදුවීම ගැන දැනුවත්ද? පරිසරය ගැන ඇය තරම්ම සැලකිල්ලක් දක්වන්නේ යයි පවසන අය පවා? ඇයගේ ප්‍රකාශය කරුණුමය ලෙස නිවැරදි බව පෙනී යද්දී එය තිර රචනය කරන ලද්දක් යැයි දිගින් දිගටම කියා සිටීම නිරර්ථකය.

භාග්‍යා කිසිසේත්ම හිරිහැර සහ අපවාද ලැබිය යුතු අයෙකු නොවේ. තවද ඇය උදව් අවශ්‍ය අසරණයකුද නොවේ. නිසැක ලෙසම, පාවිච්චි කොට පරණ වූ විට අහක දැමිය යුතු කෙනෙකුද නොවේ. භාග්‍යා අපට පෙන්වා දී ඇත්තේ අපගේ රට ගැන සියලු බලාපොරොත්තු සුන් වී නැති බවය. අපට තවමත් ඇය වැනි තරුණ තරුණියන් බිහි කිරීමට හැකිය යනු අපට තවමත් බලාපොරොත්තු තබා ගත හැකි බවය. ඇයට නායකත්වය ගන්න, ජනතාවගේ සිත් පුබුදු කරන්න ඉඩ දෙන්න. ඇයට වැඩෙන්න ඉඩ දෙන්න. ඇයට නිදහසේ හුස්ම ගන්න ඉඩ දෙන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button