විශේෂාංග

කිරිපිටි නොබී හැදුණු දරුවෙකුට වෙච්ච දේ

මේ මගේ දුවය. ඇය කිසිදා කිරිපිටි පානය නොකර හැදුණු දරුවෙකි. ලංකාවේ නිපදවන චීස් බටර් වැනි කිරි ආහාර ලබා දුන්නද අප කිසිදාක ඇයට කිරිපිටි කඳුළක්වත් පොවා නැත. දැන් ඇගේ වයස අවුරුදු හතරකි. නිසි බර, ශරීර වර්ධනය, නිරෝගී බව, ක්‍රියාකාරීත්වය, මතක ශක්තිය, බුද්ධි වර්ධනය, ඉගෙනීමේ හැකියාව ආදී මේ සියල්ල ඕනෑවටත් වඩා ඉහළින්ම තිබේ. එහෙත් තක්කඩි සමාගම් තම ජඩ ප්‍රචාරණයේදී කියන කතා ඇත්ත නම් අද වන විට මේ දරුවා වර්ධනය බාල වී, බර අඩුවී, අස්ථි වර්ධනය මොටවී, මහා පෝෂක ක්ෂුද්‍ර පෝෂක හීන වී, හැටහුටහමාරක් ලෙඩ රෝග වැළඳී, මතක ශක්තිය, බුද්ධිය හීනවී, කන් කඩා පාත්වී, බුරිය උල් වී සිටිය යුතුය. සමාගම් හා ඔවුන්ගේ හෙංචයියන් වූ ඇතැම් වෛද්‍යවරු පවා පවසන ආකාරයට ඉහත කී සියලු ප්‍රශ්න විසඳෙන්නේ කිරිපිටි බීමෙනි. එහෙත් මේ ඉලව් පානය නොබීමෙන් මේ දරුවාට සිදුවූ කිසිදු වින්නැහියක් නම් නැත. මේ කතාව කීවේ මගේ දුව ගැන කීමට නොව කිරිපිටි නැති වුණහොත් ජීවත් වීමට විදිහක් නැතැයි සිතා සිටින බහුතරයක් දෙනාගේ දැන ගැනීම සඳහාය.

කිරිපිටි යනු ඔක්සිජන්වලටත් වඩා වැදගත් පානයක් බව ලංකාවේ අති බහුතරයක් දෙනා විශ්වාස කරති. සමාගම් තම ප්‍රචාරණ ප්‍රෝඩාව හරහා ඒ බොරුව තදින්ම සමාජගත කර තිබේ. විශේෂයෙන් කුඩා දරුවෙක් සිටින ගෙදරක කිරිපිටි පැකට්ටුවක් නැතිවීම තරම් ඛේදවාචකයක් තවත් නැති ගාණය. එහෙත් කුඩා දරුවන්ටවත් කිරිපිටි නොබීමෙන් සිදුවන කිසිදු අගතියක් නැති නම් වැඩිහිටියන් ගැන කවර කතාද?

මම ද ඉස්සර කිරිපිටිවලට ඇබ්බැහි වී සිටියෙමි. උදේට නම් කිරිපිටි නැතිවම බැරි කාලයක් තිබිණි. එහෙත් මේ ප්‍රශ්නය ගැන හැදෑරීමෙන් පසු මම ඒ පුරුද්ද අතහැර දමා දැන් වසර දහයකට වැඩිය. දිනපතා කිරිපිටි බීමේ පුරුද්දක් දැන් මට නැත. හදිසි අවශ්‍යතාවකදී භාවිතයට හෝ අමුත්තෙකුට සංග්‍රහ කිරීම සඳහා පමණක් අපි දැන් කිරිපිටි මිලදී ගන්නා අතර ඒ ගන්නේද දේශීය නිෂ්පාදන පමණි. මේ දිනවල දේශීය කිරිපිටි නිෂ්පාදනවල හිඟයක් තිබේ. නියඟය නිසා අමු කිරි සැපයීම අඩු වීමට අමතරව, වෙළෙඳ පොළේ ඇති දේශීය කිරි නිෂ්පාදන ඉවත් කිරීමේ මෙහෙයුමක්ද මීට බලපා ඇති බවක් පෙනෙන්නට තිබේ. ඒ දෙවැනි කරුණ සාධාරණ සැකයක් මත සිදුකරන අනුමානයක් පමණි. ඒ ගැන වෙනම කතා කළ යුතුය. කෙසේ හෝ වේවා දේශීය නිෂ්පාදන නැත්නම් අපි කිරි නොබී නිකම් සිටිමු. එය කිසිසේත්ම අත්‍යාවශ්‍ය ආහාරයක් නොව රටේ ආර්ථිකය ලෙඩ කරවන මහා වසංගතයකි. රටේ ආණ්ඩුවලින් මේ ප්‍රශ්නය විසඳන්නේ නැත්නම් තනි තනි පුද්ගලයන් ලෙස හෝ අපිට හැකි දේ අප කළ යුතුය.

මගේ පිළිවෙත තව සිය දෙනෙක්, දහ දෙනෙක්, අඩුම තරමේ එක් කෙනෙක් අනුගමනය කළහොත් එයින් මේ කිරිපිටි සමාගම් පතුරුවා ඇති බලවත් අධිපති මතවාදය අභියෝගයට ලක්වනු ඇත. දෘෂ්ටිවාද බිඳහෙළීම ගැන අධිපති මතවාද පතුරු ගැසීම ගැන කතා කරන බක පණ්ඩිතයෝ ලංකාවේ සෑහෙන සිටිති. එහෙත් බෞද්ධ අධිපතිවාදය මිස, මහා පරිමාණ සමාගම් විසින් තම ලාභ කොල්ලය උදෙසා පතුරුවන දෘෂ්ටිවාද, මතවාද ඔවුන්ගේ පැසුණු බුද්ධියට එතරම් ගෝචර නොවේ.


ඉසුරු ප්‍රසංග (2019.03.04)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button