විශේෂාංග

අර්බුද, මධ්‍යම පාංතිකයා හා දේශපාලන බලය

අර්බුද නිර්මාණය කිරීමෙන් කැළඹිය හැක්කේ මධ්‍යම පාංතිකයාය. විශේෂයෙන් දැන උගත් නාගරික මධ්‍යම පාංතිකයා නිතැතින්ම විරෝධාකල්පිකයෙකු බැවින් ඔහු අර්බුද වෙත ඉතා වේගයෙන් ආකර්ශනය වේ. ඔහුගේ විනෝදය පවතින්නේ මෙම විරෝධාකල්පී හැඟීම තුලයි.

හේ දැනුම මහත් හරසරින් පිලිගන්නෙකි. වෙනත් ආකාරයකින් කිව්වොත් “දැනුම මධ්‍යම පාංතිකයාගේ අවියයි”. ඔහුට කිසියම් දෙයක්/කාරණාවක් ඒත්තු ගැන්වීමට ඇති හොදම විදිය නම් එකී විෂය සම්බන්ධයෙන් ප්‍රවීණයෙක් හරහා තාර්කිකව පැහැදිලි කිරීමයි. ඔහු නිරන්තරයෙන් නිගමන වලට එලැබෙන්නේ තර්ක බුද්ධිය මත පිහිටා ය.

ලාංකීය බොහෝ දේශපාලන ව්‍යාපාර, මධ්‍යම පාංතිකයා, විශේෂයෙන්ම නාගරික මධ්‍යම පාංතිකයාව හඳුනාගන්නේ යම්කිසි මතවාදයක් සමාජගත කිරීමට යොදා ගත හැකි මාධ්‍යයක් වශයෙනි. ඔවුන්ගේ විශ්වාසය වන්නේ මධ්‍යම පංතිය කැළඹීමෙන් එසේ නැතිනම් මධ්‍යම පංතියට කිසියම් වූ මතවාදයක්, අදහසක් ඇතුල් කිරීමෙන් එය සමාජයේ ඉහලටත් පහලටත් කාන්දු කල හැකිය යන්නයි.

මෙම උපක්‍රමය පසුගිය දශක කිහිපය තුල ඉතා සාර්ථකව අත්හදා බලන ලද අතර එය සැලකිය යුතු ප්‍රතිඵල ලබා දුන් බව දැකගත හැකිය. ඉතාම මෑත කාලීන උදාහරණයක් වශයෙන් පසුගිය ජනාධිපතිවරණය හඳුනාගත හැකිය. පාස්කු ප්‍රහාරය දේශපාලනිකව භාවිතා කිරීම මෙන්ම “හොඳට තිබුණු රටක් අපි වැටිච්ච තැනක්” සහ “මාර වැඩේ ලංකාවට උනේ” ආදී වීරෝධාකල්පී පාඨ සමාජගත කෙරුනේ මෙම උපක්‍රමික භාවිතාව හරහා ය.

විමල් වීරවංශගේ සහ චාපා බණ්ඩාර වැන්නවුන්ගේ දේශපාලනික මැදිහත් වීම් හරහා අපට තවදුරටත් මෙම මධ්‍යම පාංතිකයාගේ විරෝධාකල්පී හැඟීම දේශපාලනිකව භාවිතා වන ආකාරය පැහැදිලි කරගත හැකිය.” වීරවංශ මාදිලියේ දේශපාලනය” ලෙස අපට මෙය හඳුනාගත හැක.

බටහිර අධිරාජ්‍ය විරෝධය, ඇමරිකන් විරෝධය, දෙමළ ඩයස්පෝරා විරෝධය, වාර්ගික ආතතිය ඇතිකිරීම “වීරවංශ මාදිලියේ දේශපාලනයේ” ප්‍රවේශයයි.

නාගරික මධ්‍යම පාංතිකයින් ඉතා විශාල වශයෙන් සංකේන්ද්‍ර ගත වී ඇති කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලාභියා ලෙස විමල් වීරවංශ මනාප 280,672 ක් 2010 පාර්ලිමේන්තු මැතිවරණයේදී ලබා ගන්නේ මධ්‍යම පාංතිකයාගේ විරෝධාකල්පී හැඟීම දේශපාලනිකව භාවිතය මගිනි.

පරිසර විනාශය හරහා ගොඩනගා ඇති අර්බුදයෙන් මධ්‍යම පාංතිකයා කැළඹී ඇත. ඇත්ත වශයෙන්ම මෙම විරෝධයේ ගාමක බලවේගය වන්නේ නාගරික මධ්‍යම පාංතිකයා ය. පරිසරවේදීන්ගේ (විශේෂඥයින්ගේ) අඩිපාරේ යමින් මධ්‍යම පාංතිකයා විද්‍යාත්මකව පරිසරය රැක ගැනීමට ඉදිරිපත් වී ඇත.

නමුත් මෙම විරෝධතාකරුවන් ගෙන් විශාල පිරිසක් පසුගිය ජනාධිපතිවරණයේදී රට වේගවත් සංවර්ධනයක් කරා ගෙන යා හැකියැයි ගෝඨාභය රාජපක්ෂට ඡන්දය භාවිතා කල අය වීම උභතෝකෝටිකයකි.

මෙම සංවර්ධනය යනු නව ලිබරල්වාදය යෝජනා කරන සංවර්ධනයයි. සී.ඒ. චන්ද්‍රප්‍රේම “කොළ පාට” සමාජයේ යෝජනා කරන සංවර්ධනයයි. සී.ඒ. චන්ද්‍රප්‍රේම “කොළ පාට සමාජය” ලියාද දැන් දශක දෙකකටත් වැඩි කාලයක් ගත වී තිබුණද කොළ පාට සමාජයට ගමන් කිරීමට නොහැකි වී ඇත. චන්ද්‍රප්‍රේමගේ ද විශ්වාසය ගෝඨාභය රාජපක්ෂ හරහා එම සංවර්ධනය අත්පත් කරගැනීමයි.

මෙම සංවර්ධන මාදිලියේ අංග ලෙස කාර්මීකරණය (Industrialization), නාගරීකරණය (Urbanization) ප්‍රධාන වශයෙන් හඳුනාගත හැකිය. පරිසරවේදීන් යෝජනා කරන තිරසර සංවර්ධනය ද (Sustainable Development ) නව ලිබරල් සංවර්ධනයේ තවත් ප්‍රධාන අංගයකි. පසුගිය රජය සමයේ තිරසර සංවර්ධන කතිකාව ඉතා ඉහලින් වැජඹුණ අතර එහි මුල් පෙල සිටි පිරිසද දැන් සංවර්ධනයට විරුද්ධ වෙති. මෙම පරස්පරය අප තේරුම්ගත යුත්තේ කෙසේද?

2024 ජනාධිපතිවරණයට දේශපාලන භූමිය සකස් කිරීමට මේ වන විට ප්‍රධාන වශයෙන් කණ්ඩායම් තුනක් පටන්ගෙන තිබේ. ඔවුන් විවිධාකාරයෙන් සමාජය ඛණ්ඩනය කිරීමට, දේශපාලන භූමිය තුල තම සීමාවන් සලකුණු කිරීමට යුහුසුළුව ක්‍රියා කරමින් පවතී. “පරිසරය” සමාජ අර්බුදයක් ලෙස ගොඩ නැංවීම එහි දිගුවකි.

ඉදිරි දේශපාලනයේ බලය තීරණය වීමේදී “පරිසරය” මඟ නොහැරිය හැකි කාරණාවක් බව අවිවාදිතය. කෙසේ වෙතත් මධ්‍යම පාංතිකයාගේ විරෝධාකල්පීභාවය ඉලක්කකොට ගෙන ගොඩ නැංවෙන අර්බුද තුලින් 2024 බලය ලබා ගැනීමට කිසිසේත් නොහැක. මක්නිසාදයත් මධ්‍යම පාංතිකයාට දේශපාලන බලය කේවල් කිරීමේ හැකියාව 2024 දී අහෝසිවන බැවිනි. 2024 දී එම හැකියාව ඇත්තේ වෙනත් තැනකය.


මලීෂ් කඹුරුගමුව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button