විශේෂාංග

ඒ ගල හැර වෙනත් ගල් තිබේද?

අර කොළඹ – ලුණුගල බස් එක මොකක්දෝ හන්දියකින් පල්ලට දෙරි ගහල මිනිස්සු පහළොවක් මියඇදීම ගැන මට නම් මහා පුදුමයක් නැහැ. කොහොමත් ඔය අරින ඇරිල්ලට ඔහොම මැරුණේ නැත්නම් තමයි පුදුමේ. දයලෙක්තිකව ගත්තොත් අපි ලියන්න ඕනි ඔය මැරුණ එක ගැන නෙවෙයි. ඔය වගේ යාමක් ගිහිල්ල මිනිස්සු බේරෙන එකේ පුදුමය ගැන සහ ඔය බස්කාරයෝ අතුරු අන්තරාවක් නොවී කිලෝ මීටර් සිය ගණනක් ගෙවාගෙන මිනිස්සු ගෙවල් වලට ගෙනියන එක ගැන.

මම කියන්නේ ගොඩක් වෙලාවට මිනිස්සුත් අහුලාගෙන, දවසේ ටාගටුත් කවර් කරගෙන, සී. ටී. බී. එකත් එක්ක තරඟත් කරලා, උන් උන් එක්කත් තරඟ කරලා, වංගු කෙළින් කරලා රේසුත් ගිහිල්ලා, නිරුපද්‍රිතව ගෙදර යන්න ලැබීම එක අතකට වාසනාවක් නොවන්නේ කොහොමද?

මේකත් ලියන්න සිත් වුණේ මමත් ගොඩක් අවස්ථාවල බස් මඟියෙක් නිසා. ඔය බදුල්ල කොළඹ බස් වල මමත් යනවා. හැබැයි ඇත්තම කිව්වොත් කොළඹ – ඇඹිලිපිටිය, කොළඹ – අනුරාධපුර, කොළඹ – මාතර වගේ වේගයකින් ඔය බදුල්ල බස් යන්නේ නැහැ. මේක සාපේක්ෂ දෙයක්. හැබැයි වේගෙන් යන වෙලාවල් ඇති. මේ එක දෛවෝපගත වෙලාවක්.

බොරු කියන්නේ මොකටද… මමත් ආසයි වේගෙන් යන ඩ්‍රයිවර්ලට. එතකොට මරණය පේන්නේ නැහැ කියල කියන්න බැහැ.

පාරේ ගල තිබ්බත් නැතත් ඒ ගිය විදියට ඔයිට වඩා වෙන දෙයක් ගැන හිතන්න බැහැ. ඩ්‍රයිවර් බ්‍රේක් කියල දෙයක් ගැන හිතලවත් තිබ්බේ නැහැ. මම හිතන්නේ නැහැ එතැනින් ගන්න ඉඩ නැහැ කියල එයා නොදැන හිටියා කියල. එයාල ගන්නේ ඔය වගේ ගන්න බැරි තැන් වලින් තමයි (impossible). එහෙම නැතුව බදුල්ල කියන පාරේ බෙරගලින් පස්සේ ඔය වේගෙන් යන්න වෙන විදියක් නැහැ. දැක්කනේ මාර්ග අංකෙත් 99.

සෙනඟ නැති මන්ඩි වල හයියෙන් යනවා. සෙනඟ ඉන්නවා කියල හිතන කලාපේ කොටනවා. එකතු කරනවා. කාලය බැලන්ස් කරන්නේ එහෙම.

බදුල්ල – කොළඹ, යාපනය – කොළඹ, ඇඹිලිපිටිය – යාපනය, කල්මුණේ – කොළඹ, හම්බන්තොට – කොළඹ වගේ බස්වල රියදුරා ඇත්තටම නිදා ගන්නේ නැති තරම්. සමහර වෙලාවට රියදුරෝ මාරු වෙනවා. හැබැයි ගොඩක් වෙලාවට එක්කෙනාම අදිනවා. නින්ද යනවට බුලත් විටක් හපනවා. නැත්නම් ගංජා පොඩ්ඩකුත් බොනවා ඇති. ඒවත් ජීවිත. ”ඉර හඳ අල්ලන්න නෙවෙයි. ජීවත් වෙන්න”. පිටිපස්සේ ගහලම තියනවා.

1978න් පස්සේ ජීවිතේ කියන්නේ අවදානමක් උනා. ජීවත් වීම කියන්නේ ම අවදානම ගැනීමකට. සමාජ අරගල කරපු අයත් අවදානමක් ගත්තා තමයි. නමුත් ඒ අවදානම මේ අවදානමෙන් වෙනස්. මේක අවදානම ප්‍රමෝදයක් බවට පත් වීමක්. මරණය කියන්නේ ජීවන ආකෘතියක් බවට පත් වීමක් (death as a life style). වෙනත් තෘප්තිමත් වීමේ ජීවන මාදිලියක් අපි හදල දීලා තියනවද එයාලට? ‘ඉවතලන මිනිස්සු’ (disposable humanity) කියල අපේ ලෝකෙට කිව්වේ සිග්මන් බවුමන්. මේ එයාල.

අපේ පරම්පරාව හැමදාම ඉවසුවා. උං හැමදාම දිනුවා. දැන් ඇවිල්ලා තියනවා ඉවසන්නේ නැති පරම්පරාවක්. අද ගොඩක් අවුල් දෘෂ්‍යමානයට ගේන්නේ එයාල. අර ඇන්ටීක් කඩෙත් පෙන්නන්නේ මේ පරම්පරාවේ ආගමනය.

ඒ රියදුරා නො-ඉවසීම ඇතුලේ පෙන්නුවා පාරේ අවුල. ඒක සුයිසයිඩ් ගේමක්. මරණය කරා ගියාම තමයි අද කාලේ ඇත්තටම ගල පේන්නේ. නැත්නම් අන්ධයි. දැනුත් පේන්නේ ගල විතරමයි.

ඉවසීම කියන්නේ දෘෂ්ටිවාදයේ ප්‍රබේදයක් (Tolerance as an ideological category). විශේෂයෙන් ෆුකුයාමාට පස්සේ.


මහේෂ් හපුගොඩ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button