විශේෂාංග

ඉන්දියානු ජනතාවගේ සාමූහික සවිඥානය – Midnight’s Children

ලන්ඩන් ටයිම්ස් සඟරාව එය මාකේස්ගේ සියක් වසක හුදෙකලාව සමඟ සංසන්දනය කළේ ය. සන්ඩේ ටයිම්ස් සඟරාව එය “දිගු, අති විස්තරාත්මක, විකේන්ද්‍රික අති විශිෂ්ඨ කෘතියක්” ලෙස හඳුන්වා දී තිබිණි. නිව්ස් වීක් සඟරාව විසින් එය ඉන්දියානුවෙකු ඉංග්‍රීසියෙන් ලියන ලද අතිශය අසාමාන්‍ය, නිෂ්පන්න නවකතාවක් බව පැවසීය. එංගලන්තයේ පදිංචිව සිටින 34 වියැති ඉන්දියානුවෙකු වූ සල්මන් රෂ්ඩි විසින් ලියන ලද ‘මිඩ්නයිට්ස් චිල්ඩ්රන්’ නවකතාව නිකුත් වී මාසයක් ඇතුළත බොහෝ නවකතා සමස්ථ කාලය පුරාම ලද පැසසුම් වලට වඩා වැඩි අත්‍යන්ත වර්ණනාවන්ට ලක්වී තිබේ.

1981 මැයි 31 වනදා පළවූ ඉන්දියා ටුඩේ සඟරාවේ සල්මන් රෂ්ඩි ගේ ‘මිඩ්නයිට්ස් චිල්ඩ්රන්’ නවකතාව පිළිබඳව එලෙස පවසා තිබේ. එහිම, සල්මන් රෂ්ඩි සමඟ කළ සම්මුඛ සාකච්ඡාවක් ද වෙයි.

මෙම කෘතියට 1981 වසරේදී මෑන් බුකර් සම්මානයත්, 2008 වසරේදී Best of the booker සම්මානයත් යන දෙකම හිමිවී තිබේ.

මෙය අතිශයින්ම කියවිය හැකි එහෙත් සංකීර්ණ නවකතාවක් බව බොහෝ විචාරකයන් පවසා ඇත. මෙය ලිවීමට ඔබව පෙළඹවූයේ කුමක්ද?

මම කරන්න උත්සාහ කළ දේවල් කිහිපයක් තිබුණා. පළමු අදහස නම්, මම හැදී වැඩුණු ස්ථානය යැයි හඳුනාගත හැකි අයුරින් ඉන්දියාව ගැන ඉංග්‍රීසියෙන් ලියවුණ පොතක් මම කියවා නොතිබීම. ඉතින් බොම්බායේ හැදී වැඩීම කොයි ආකාරයේ දෙයක්දැයි විස්තර කරන්න පුළුවන් පොතක් ලියන්න මම උත්සාහ කළා.

මම ඇරෙන්න වෙනත් පරිපූර්ණ පාඨකයෙක් ගැන සමහර විටක මම හිතුවේ නැහැ. මම මූලිකවම ඉන්දියාව ගැන මම කියවන්න කැමති නවකතාවක් ලියන්න උත්සාහ කළා.

පොතෙන් භාගයක්ම තියෙන්නේ මම හැදුණ වැඩුණ බොම්බාය ගැන. මම හිතන්නේ බොම්බාය ඉතින්, මට ‘විශාල නාගරික නවකතාවක්’ ලියන්න මට ඇත්තටම ඕන වුණා; බොම්බාය කියන්නේ ඉන්දියාව තුළ පවා අතිශය අසාමාන්‍ය නගරයක්, මට ඕන වුණේ එහි ජීවන තත්ත්වය ගැන යමක් ග්‍රහණය කරගන්න.

අනෙක් ආවේගය ඇති වූණේ හදිසි නීතිය අවසන් වන විට ඉන්දියානු ඉතිහාසයේ යම් කාල පරිච්ඡේදයක් නිමා වී ඇති බවට වූ හැඟීමකින්. නිදහස හා 1977 අතර පරතරය රටේ ඉතිහාසයේ අවධියක් නියෝජනය කළා. ඒක ඊට පෙර පැවති තත්ත්වයට වඩා වෙනස් වුණා.

එවිට පොත කේන්ද්‍රගත වී ඇති එක් කරුණක් වන්නේ ‘පොදු කටයුතු සහ පෞද්ගලික ජීවිත එකිනෙක කවලම් වීම හා විනිවිද යාම. පුද්ගලයෙකු නිර්මාණය කිරීම සඳහා ඔහුට පාලනය කළ නොහැකි සිදුවීම් හෝ ඉතිහාසය වැඩි දායකත්වයක් ලබා දෙනවා.

මිඩ්නයිට්ස් චිල්ඩ්රන් නවකතාවට අසාමාන්‍ය ව්‍යුහයක් තියෙනවා. ඔබ දැනුවත්ව කිසියම් ලේඛකයෙකුගෙන් ඔබට බලපෑමක් තියෙනවද?

අති විශාල ලේඛකයන් ප්‍රමාණයක් මට බලපෑම් කරලා තියෙනවා. මේ පොත ස්විෆ්ට්, ස්ටර්න්, ඩිකන්ස් වැනි ඉතා නිශ්චිත ඉංග්‍රීසි සම්ප්‍රදායක් තුළ පවතින බව මා පෙන්වා දිය යුතුයි. ඒත් මේ කාලයේ ලේඛකයන් තමන්ගේ කියවීමේදී ජාත්‍යාන්තරීකයි. ලතින් ඇමරිකානු සහ ජර්මානු ලේඛකයන්ගේ කෘති මම සෑහෙන්න ප්‍රිය කරනවා.

මේ කෘතියෙහි ව්‍යුහය සමහර විටක ගුන්තර් ග්‍රාස්ගේ නවකතා සහ තෝමස් මාන්ගේ Felix Krull නවකතාව මෙන්, උත්ප්‍රාස-විර කාව්‍ය තානයට සමානකම් තියෙනවා. ඒ වගේම ඉන්දියානු සාහිත්‍යට පොදු මිත්‍යා, උපමා කථා සහ කතන්දර කීමටත් එය උනන්දුයි.

මේ ආකාරයේ ව්‍යුහයකට පැහැදිලිවම විශාල විනයක්‌ අවශ්‍යයි. ඔබ ඔබේ වැඩ කටයුතු කරගෙන යන්නේ කෙසේද?

මම මේ පොත ලියන්න අවුරුදු හතරක් ගතකළා. එහි හැඩය ගැන මට විශ්වාසයක් ඇති වන තුරු මම අවම වශයෙන් මාස නවයක් හෝ දහයක්වත් ව්‍යුහය මත වැඩ කළා. ඊට පස්සේ මම පළමු කෙටුම්පතක් ලිව්වා, ඒක ප්‍රකාශයට පත්කරපු පොතෙන් භාගයයි, ඒකට අවුරුදු එකහමාරක් ගතවුණා. ඊට පස්සේ මම ඒ ද්‍රව්‍ය මත වැඩ කළා.

මට ඒ ආකාරයේ ඝනත්වයක් දැනෙන නිසා – එය පසුපසට හා ඉදිරියට යන ආකාරය සහ එක් දෙයක් හා වඩා වෙනස් දෙයක් අතර අනපේක්ෂිත සම්බන්ධතා ඇති කර ගන්නා ආකාරය, ඔබ හඳුනා නොගත් සම්බන්ධතා සොයා ගැනීම පැමිණෙන්නේ ඔබ ද්‍රව්‍ය මත වැඩ කිරීමට පටන් ගත් විට පමණයි. ඇත්තටම මම වෙනම කෙටුම්පත් තුනක් ලිව්වා.

පසු සටහන

මිඩ්නයිට්ස් චිල්ඩ්රන්ස් නවකතාව ගැන කියවෙන විට ඉන්දියානු සාමූහික සවිඥාණය හෙවත් Collective conscious නියෝජනය කෙරෙන විශිෂ්ඨ නවකතාවක් බව විචාරකයන් පැහැදිලි කරයි. ඒ බව ඔහු හරි අපූරුවට ඡේදයක විස්තර කරන්නේ මෙසේයි.

“මා කැබලි වලට බිඳී යන බව කරුණාකර විශ්වාස කරනු මැනවි. මම රූපකයක් ලෙස කථනයේ නොයෙදෙමි; මෙය කිසියම් උද්වේගකර නාටකයක ආරම්භක ආකාරයක් ද නොවේ, අනුකම්පාව සඳහා වන අලස, ප්‍රහේලිකාමය ආයාචනයකි. සරලවම මා අදහස් කළේ පරණ ජොග්ගුවක් මෙන් මගේ සකලවිධ ශරීරය ඉරිතලන්නට පටන්ගෙන ඇති බව – ඒකීය, ආදරයෙන් තොර, ඉතිහාසය විසින් දැඩිව පහර දෙන ලද, ඉහළින් සහ පහළින් ගලායාමට විෂය වී ඇති, දොරවල් විසින් අංගඡේදනය කරන ලද, පඩික්කම විසින් මෙහෙයවන ලද, මගේ අසරණ ශරීරය, මූට්ටු වලින් ගැලවී යන්නට පටන්ගෙන ඇත. කෙටියෙන්, වචනාර්ථයෙන් කියන්නේ නම් මම දුර්වල වෙමින් සිටිමි, ත්වරණය විමේ සලකුණු තිබුණද, තවමත් එය සෙමෙන් සිදුවේ. මා ඔබෙන් ඉල්ලා සිටින්නේ (මා විසින් පිළිගෙන ඇති පරිදි) අවසානයේදී මම නිර්නාමික සහ අත්‍යවශ්‍යයෙන්ම නොසලකා හරින ලද දුහුවිලි අංශු මිලියන හයසිය තිහකට (ආසන්න වශයෙන්) කැඩී විසිරී යන බව පිළිගන්නා ලෙසය. මට අමතක වීමට පෙර කඩදාසි කොළය මත විශ්වාසය තැබීමට මා තීරණය කර ඇත්තේ එබැවිනි. (අප අමතක කරන්නන්ගේ ජාතියකි.)”

(මිඩ්නයිට්ස් චිල්ඩ්ර්න් 45 පිටුව)

මෙහි මිලියන 630 යනු රෂ්ඩි මෙම නවකතාව ලියූ 1970 දශකයේ අග භාගයේදී සමස්ථ ඉන්දියානු ජනගහණයයි. කථකයා පවසන්නේ තමන් එවැනි අංශු මිලියන 630කට කැඩි බිඳී යන බවකි. එය සමස්ථ ඉන්දියානු සවිඥාණය නියෝජනය කෙරෙන අසිරිමත් මොහොතකි.


රශ්මික මණ්ඩාවල

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button