විශේෂාංග

Orhan Pamuk ගේ “My Name Is Red” කෘතිය සිංහලෙන් කියවමු

කෘතිය – My Name Is Red
කර්තෘ – Orhan Pamuk
පරිවර්තිත නාමය – මම රක්ත වර්ණ නම් වෙමි
පරිවර්තක – නිලූක කදුරුගමුව
ප්‍රකාශනය – විදර්ශන ප්‍රකාශන

ඔබට කීමට හෝ කියවීමට කථාවක් ඇත. එය මීට සියවස් ගණනාවකට පෙර මෙසේ සිදුවූ බවත් එහි චරිත මේවා ලෙස හඳුන්වා දීමෙන් පසුව එය අවසන් කළ හැකිය. එපමණකි. එය ඔබ තුළ හැඟීමක් ඇති කළාද නැද්ද යන්න හෝ එය කියවීමෙන් පසු එය තවදුරටත් මතකයේ රැඳුනාද යන්න විමසීම පවා නිරර්ථක වෑයමක් විය හැක. සැබවින්ම ඔබ එය කියවූවාද යන්න පවා වැදගත් නොවනු ඇත. එය එක් කථාවක් ගැනය. එලෙසම තවත් කථාවක් ගැන සලකා බලමු. එහි ඇත්තේ පිටුවෙන් පිටුවට තම පාඨකයා ඇදබැඳ තබාගැනීම වැඩි කරන, එලෙස බැඳී සිටින පාඨකයා දෙස බලා සිටින බව හැඟෙන ලේඛකයෙකුගේ නිර්මාණයක් යයි සිතන්න. ඔහුට හෝ ඇයට කීමට ඇති කථාව හුදු ප්‍රබන්ධයක් නොවී එයට මුසුකොට ඇති මිනිසුන්ගේ පැවැත්ම, සමාජයීය පසුබිම හා එහි ඓතිහාසික වැදගත්කම ගැන සිතන්න. ඔබගේ සිතට කථා කරන්නට සමත්, ලොව කොහේ සිදුවුවද කුතුහලය වඩවන, ත්‍රාසය මුසු තවත් එක් සිදුවීමක්, සිදුවීම් සමුදායක් ගැන සිතන්න. උනන්දුවක් ඇති වනවා නොවේද? එවන් කථා මැවෙනුයේ, ලියවෙනුයේ ඉන්ද්‍රජාලික දෑත් වලින්ද? ඔවුන් ඉන්ද්‍රජාලිකයන්ද? එසේ හැඟෙන ලේඛකයන් සිටී. එවන් ලේඛකයන් අතර ඔර්හාන් පමුක් ද සිටින බව මගේ හැඟීමයි.

ඔහුගේ එක් කෘතියක් වන A Strangeness In My Mind (ම’සිත් හසර එක්තරා නුහුරුවක) තුළින් ඔහු තුර්කියේ එක් යුගයක්, එහි අවසානය හා නවීන සමාජයේ මුලාරම්භය ඉඟි කරයි. තුර්කි ජනතාවගේ සිතුම් පැතුම්, ආර්ථිකය හා දේශපාලනය හෙළිදරව් කරමින් ගොඩනගන ඒ කථාව කීමට ප්‍රධාන කථා නායකයෙකුත්, ඔහු සමඟ බැඳුණු තවත් චරිතත් ඔහු යොදාගනී.

ඔහුගේ කෘති අතර අග්‍ර කෘතිය ලෙස සලකනු ලබන My Name is Red (මම රක්ත වර්ණ නම් වෙමි) තුළින් ද තුර්කියේ එක් යුගයක් ගැන කියවෙන අතර එය ඓතිහාසික වටිනාකමකින් යුතුය. එලෙසම මතභේදාත්මක විවේචන සහිතය.

සිංහල පරිවර්තනය

එක් එක් චරිත මඟින් ඉදිරිපත් කරවන කථාව තුළ පාඨකයාට විනිශ්චයකරු නොවන්නැයි ඉල්ලා සිටී. ඔබ තුළ ඇති වන වැරදි නිගමන පිළිබඳවද මෙම චරිත අවබෝධයෙන් සිටීම සැලකියයුතු කරුණකි. ඇතැම් කරුණු කිවයුතු නොවන බවත්, එසේ කීමෙන් ඔවුන්ගේ රහස් එළිකල බවත් පවසන චරිත මෙන්ම සියළු කරුණු පාපොච්චාරණය නොකර සිටීමට ඉඩදෙන ලෙසත් ඉල්ලා සිටින චරිත කථාන්තරය තවත් සජීවී කරවයි. (කුමන කථාවකදී වුව එය කියවන තැනැත්තා ඒ චරිත සමඟ ජීවත් වෙන මොහොතක් තිබේනම්, ඔවුන්ගේ ගැටළු, සතුට දැනෙන මොහොතක් තිබේනම්, ඇතැම් ක්‍රියාකලාපයන්හි කෝප ගන්නේ නම් එය ලිවීමේ සාර්ථකත්වයයි.)

එක් සිදුවීමක් හුයක් සේ ගෙන ඇමිණූ කථාවක් වන “මම රක්ත වර්ණ නම් වෙමි” හි කියවෙනුයේ මේ චරිත වලින් කියවෙන ඔවුන්ගේ කථාව පමණක් නොවේ. එය තුර්කියේ එක් යුගයක් නිරූපණය කරයි. කලාව, ආදරය, ආගම හා මරණය පිළිබඳව සාකච්ඡා කරයි.

දහසය වන සියවසේදී පමණ ඔටෝමන් අධිරාජ්‍යය තුළ බිහි වූ, මුස්ලිම් කලා සම්ප්‍රදායේ එක් සළකුණක් වූ තුර්කි එසේත් නොමැති නම් ඔටෝමන් ක්ෂුද්‍ර චිත්‍ර (Ottoman miniature) ලොව පුරා කලා ශිල්ප ඉතිහාසයේ තවත් එක් පැතිකඩක් නිරූපණය කරයි. ඔටෝමන් අධිරාජ්‍යය තුළ බිහිවූ මෙම ක්ෂුද්‍ර චිත්‍ර කලාවට පර්සියානු ක්ෂුද්‍ර චිත්‍ර ශිල්පයේ මෙන්ම චීන කලාවන් හි ආභාසයද ලැබී ඇති බව කියවේ. මෙය ඔටෝමන් ග්‍රන්ථ කලාවේ එක් කොටසක් වන අතර එම ග්‍රන්ථ කලාව තුළ Miniature සමඟ Illumination (Tezhip) Calligraphy (Hat) Marbling paper (Ibru) සහ Book binding ද බැඳී පවතී. ඔටෝමන් තුර්කි භාෂාවෙන් ක්ෂුද්‍ර චිත්‍ර කලාව අර්ථ දැක්වීමට Taswir හා Nakish යන වචන යොදාගැනේ. එම ශිල්පීන්ගේ වැඩහල් Nakkashanes ලෙසින් හැඳින්වේ.

මෙම ක්ෂුද්‍ර චිත්‍ර නිර්මාණය කර අවසන් වූ පසු එම චිත්‍ර මත සාමාන්‍යයෙන් අත්සන් නොතැබූ අතර, පුද්ගලවාදය ප්‍රතික්ෂේප කිරීමත් එම චිත්‍ර සම්පූර්ණයෙන්ම තනි පුද්ගලයෙකුගේ නිර්මාණ නොවීමත් එයට හේතු ලෙස අනුමාන කළ හැකිය.

My Name is Red තුළින් කියවෙනුයේ එම ක්ෂුද්‍ර චිත්‍ර ශිල්පීන්ගේ කථාවයි. ඔවුන්ගේ ජීවිත ගැන, ඔවුන්ගේ කලා සම්ප්‍රදායන් වෙත ලැබුණු ආභාසයන්, ආගමික බලපෑම් සියල්ල සමඟ එකී ඓතිහාසික කථාව තුළට ලිංගිකත්වය, ආදරය, ශෘංගාරය මුසුව ඇති අතර ඒ තුළ පාඨකයාට සොයා යාමට අබිරහසක් ඇත.

English Edition

පිටුවෙන් පිටුව කියවාගෙන යෑමේදී සැණින් විසඳුම් නොදෙන මිනීමැරුමක සුලමුල සොයා යන පාඨකයාට විනිශ්චය කරනු පිණිස සැකකරුවන් ඉදිරිපත් කෙරෙන අතර ඔවුන්ගේ කතා තුළ සැඟවුණු කථාවක් ඇත. My Name is Red තුළ කියවෙන එකී කථාව සිහියෙන් යුතු කියවීමකට සිහි කැඳවන කථාවකි. එසේම වසර සිය ගණනාවකට එහා තුර්කියේ ඉස්ලාමාබාද් නුවර වීදි අතර සැරි සරමින්, මෙම ක්ෂුද්‍ර චිත්‍ර ශිල්පීන් එක්‍ රැස් වන කෝපිහල් තුළ හිඳිමින්, එම ශිල්පීන්ගේ වැඩහල් තුළට (Nakkashanes) එබෙමින්, ඔවුන්ගේ රහස් කථාබහට සවන් දෙමින්, ඔවුන් විසින් අඳිනු ලබන චිත්‍ර තුළ සඟවනු ලැබූ අනන්‍යතා සොයා යමින්, එක් එක් ගුරුකුල වල වඩාත් දක්ෂයා කවුරුන්ද ‍යන්න විනිශ්චය කරමින් කියවන්නට පොළඹවන කථාවකි. ඔවුන්ගේ ඊර්ෂ්‍යා සහගත භාවයන්, ආගමික ලැදියාව හා වඩාත් ලංව සිටින්නේ ස්වර්ගයේ දොරටුව වෙතද නැතිනම් නිරයේ දොරටුව වෙතදැයි හඳුනාගැනීමට ඉඩ සලසා දෙන කථාවකි.

මිනීමැරුමක් කියවෙන තැනක බොහෝවිට ඇත්තේ අබිරහසකි. මිනීමරුවා කවුරුන්ද යන්න සිතාගත නොහැකි ලෙස චරිත කිහිපයක ස්වයං කථන අතරේ අතරමං වන පාඨකයාට නැවත නැවත එම චරිත විසින් තමා වෙත කියන්නට ඉදිරිපත් වන කථාවන් කියවීමට සිත්දෙනුයේ නිර්නාමික ලෙස තමා මිනීමරුවා ලෙස හඳුන්වා දෙනු ලබන ස්වයං පාපෝච්චාරණයද තමා විසින් කියවන විට තමාට මඟහැරුණු තැනක් වූවාදැයි සැක උපදවන බැවිනි. එබැවින් එය ආවාට ගියාට කියවිය හැකි කියවීමක් නොවන්නේය. එය ඇතැම් විට වශීකරණයක් බඳුය. මියගිය පුද්ගලයා මෙන්ම මරණයද කථා කරන චරිත අතර තිබීම සුවිශේෂීය. එහිදී අපවාදාත්මක විශ්වාසයක් ලෙස අපවිත්‍ර සතෙකු ලෙස ගැනෙන බල්ලෙකුට කථා කිරීමට සැලැස්වීමෙන් කතුවරයා බලාපොරොත්තු වනුයේ කුරානයේ සැබවින්ම කියවෙනුයේ කුමක්දැයි පහදාදීම විය යුතුය.

මේ කතාන්දරය තුළ ක්ෂුද්‍ර චිත්‍ර ශිල්පීන්ගේ හැකියාව හා නිපුණතාවය විස්තර කිරීමට යොදාගෙන ඇත්තේ ඔවුන්ගේ ආරක්ෂක සාන්තුවරයා වුද විශාරදයන්ගෙත් විශාරදයා වූද බිහ්සාද් විසින් අඳින ලද සිතුවමකි. එයද මිනීමැරුමකි. හුස්රෙව් හා ෂිරින්ගේ කථාවේ එක් අවස්ථාවකි. පියා විසින් පුතාද පුතා විසින් පියාද ඝාතනය කෙරෙන ඓතිහාසික කථා අතර (ඔර්හාන් පමුක් විසින් ඔහුගේ The Red-Haired Woman කෘතිය තුළද එවන් කථාවක් විස්තර කරයි.) කථාව තුළ වඩාත් උත්කර්ෂයට නැගෙන්නේ හුස්රෙව් හා ෂිරින්ගේ ප්‍රේමයයි. එය කේන්ද්‍ර කොටගනිමින් කථාවේ චරිත හැඩගැස්වීම මෙන්ම ඇතැම් චරිත වලින් හුස්රෙව් හා ෂිරින් නිරූපණය කිරීම තුළින් ද මේ ප්‍රේම වෘතාන්තයට වැදගත්කමක් ආරෝපණය කර ඇත (ඒ පිළිබඳව සොයන්නට පාඨකයා තුළ උනන්දුවක් ඇතිවන තරමටම). බිහ්සාද්ගේ එම සිතුවම විස්තර කිරීමේදී ක්ෂුද්‍ර චිත්‍ර ශිල්පීන් තම නිර්මාණ තුළ අත්සන නොතැබීම ගැන කථා කරයි. “සැබෑ කලාව සහ නිර්ව්‍යාජ නිපුණබව ඇත්තේ කොහිද එතැනදී තමන්ගේ අනන්‍යතාවෙහි අංශුමාත්‍රයකුදු නොමැතිව චිත්‍ර ශිල්පියෙකුට අසමසම අග්‍ර කෘතියක් නිර්මාණය කිරීමට පුළුවන.”

Turkish Edition

මේ සියල්ල ඇරඹෙනුයේ ඔටෝමන් සුල්තාන්වරයා විසින් මෙම ක්ෂුද්‍ර චිත්‍ර ශිල්පීන් අතර එක් අයෙකු වෙත භාරකෙරෙන කාර්යයක් සමඟිනි. සියළු දේ අතර අග්‍ර වන ලෙස තමාගේ ජීවිතය හා අධිරාජ්‍යය පිළිබඳව කරන්නට යයි කියන වර්ණනාත්මක ග්‍රන්ථය මේ සියල්ලටම හේතු වන අතර ශිල්පීන් අතර ඔවුනොවුන් අභිබවා යෑමට උත්සාහ කිරීම, නායකත්වය උදෙසා තරඟ වැදීම හා ආර්ථික වශයෙන් ස්ථාවර වීමට ඇති කැමැත්ත යන සියල්ල ඔවුන්ට පමණක් සීමාවන දෑ නොවන අතර සමස්ථ සමාජයක මුහුණුවර නිරූපණය කිරීමට කතුවරයා මේ එක් සිදුවීම යොදාගනී. එය කේන්ද්‍රස්ථානය කොටගනී. ඒ අතරට ආදරය, ලිංගිකාශාවන්, ආගමික පසුබිම මෙන්ම ආගම හා සමාජයීය තත්ත්ව විවේචනය කිරීමටද අවස්ථාවක් කරගෙන ඇත. අල්ලාහ දෙවියන් වහන්සේ විසින් පැවසූ බව පවසමින් එදා සිට අද දක්වා ‍රැගෙන එනු ලබන ඇතැම් මිථ්‍යාදෘෂ්ටික මතවාද හෙළා දකින කතුවරයා ඒ පිළිබඳව ඉදිරිපත් කරනු ලබන විවේචන කර්කශ ය. නමුදු සිතන්නට අවකාශ සලසයි.

පෙරදිග උපත ලබන උත්කෘෂ්ට යයි ඔවුන් හඳුන්වන මෙම චිත්‍ර කලාව අපරදිග බලපෑමට හසුවීම නුරුස්නා ශිල්පීන් සෑමවිටම එය ප්‍රතික්ෂේප කරනුයේ පිළිකුල් සහගත බවකිනි. එසේම එයට ලැබී ඇති පර්සියානු හා චීන ආභාසය වුව හඳුනාගන්නා ඔවුන් ඒ ඇතැම් දේ සලකන්නේ අල්ලාහ් දෙවියන්ගේ ක්‍රෑර ප්‍රයෝගයක් ලෙසයි. එක් එක් ශිල්පියාට වෙන්වූ ශෛලියක් තිබිය හැකි බව ප්‍රතික්ෂේප කරන ඔවුන් එය වරදක්, දෝෂයක්, දුර්වලකමක් ලෙස හඳුන්වයි. එය යුරෝපයෙන් ලැබුණ දෙයක් බව පවසන අතර එවන් දුර්වලතා පිළිබඳව ආඩම්බරයට පත්වන ලෝකය වඩාත් අසම්පූර්ණ හා අමන තැනක් බව විශ්වාස කරයි. එවන් ආභාසයක් තම කලාව වෙතට ලබාගැනීමට තැත් කළ උන් අපරාධකරුවන් ලෙස සලකන අයද හිඟ නොවේ. පෙර අපර දෙදිග යා කරන නොව සබඳතා බිඳ හෙලන තවත් සංධිස්ථානයක් බවට පත්වේ.

මා පෙරදිග ඉන්නා කලට
මා චපල හදවත පතයි අපරදිග ඉන්නට
මා අපරදිග ඉන්නා කලට පතයි පෙරදිග ඉන්නට

මා පිරිමියකු වන කල කියයි
මැ ඇඟපසඟ ගැහැණියක වන ලෙසට
ගැහැණියක වන කල කියයි පිරිමියෙකු වන්නට

කෙතරම් අසීරුද මිනිසකු වන්නට
ඊටත් වඩා අසීරුය මිනිසකුගේ
ජීවිතය ගෙවන්නට.

මට ඇවැසි ඉදිරිපස පිටුපස දෙකම පිනවන්නටය
පෙරදිග අපරදිග දෙපැත්තම වන්නට ය

මේ ලෙස ඔබ වෙත ඉදිරිපත් වන සියවස් ගණනාවකට එපිටින් සිදුවූ කථාන්තරය මෙහි එක් චරිතයක් විසින් තවත් චරිතයකට කියූවකි. ඇතැම් දේ ඒ අසන්නා විසින් එකතු කොට ඇත. එය කථාන්තරයක් වන්නේ එලෙසය. විශ්වාස නොකළ හැකි ඇතැම් දෑ අත් හරින්න. ඔහු සමඟ ඒ එපිට යුගයේ ජීවත් වන්න. එතෙක් ඔබට මේ කථාන්තරය මම රක්ත වර්ණ නම් වූයේ කෙසේදැයි අවබෝධ නොවනු ඇත.

කියවන්නා වෙත ලංවීමට ලේඛකයා තම ඉන්ද්‍රජාලික බලය භාවිතා කරයි. වචන තම මැජික් යෂ්ටියෙන් ස්පර්ශ කරයි. පරිවර්තනයක් කියවීමේදී කියවන්නා වෙත සමීප වන එම කාර්යභාරය සතු වන්නේ පරිවර්තකයා අතය. My Name is Red, “මම රක්ත වර්ණ නම් වෙමි” වීම තුළ නිලූක කදුරුගමුව එම කාර්යභාරය මැනවින් ඉටු කර ඇත.

Orhan Pamuk

“මම රක්ත වර්ණ නම් වෙමි” නම් පරිවර්තනය තුළ, My Name is Red හි Orhan Pamuk ගේ ඉන්ද්‍රජාලික මැවීම විඳින්නට හැකිවූ පාඨකයෙක් ලෙස ඒ බව සටහන් කරමි.


ඉරේඛා සෙනවිරත්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button