විශේෂාංග

වීදි චිත්‍ර සහ වහල්ලු

ලිපියට පාදක වී ඇත්තේ, “කුඩා දරුවෙකු මහන මැෂිමකින් බ්‍රිතාන්‍ය ජාතික කොඩි වැලක් මසන ආකාරය දැක්වෙන Slave Labour සිතුවම” 2012 වසරේ දී බෑන්ක්සි (Banksy) විසින් ලන්ඩනයේ පවුන්ඩ්ලන්ඩ් හී බිත්තියක අඳින ලද්දකි.

මෙම සිතුවමෙන් බ්‍රිතාන්‍යයේ Sweatshops මගින් 2012 වර්ෂයේ එළඹි මහරැජිනගේ දියමන්ති ජුබිලිය වෙනුවෙන් සිදුකළ විවිධ නිර්මාණ සඳහා යොදාගත් කම්කරු ශ්‍රමය නිරූපණය වෙයි.

Sweatshops යනුවෙන් හඳුන්වන්නේ අසාධාරණ ලෙස කම්කරු ශ්‍රමය සූරාකමින් වැඩගන්නා ආයතනයන් ය. මෙම වචනය බොහෝ විට භාවිත වන්නේ ඇඟලුම් කර්මාන්තය ආශ්‍රිත ආයතනයන්ට වන අතර මේවායේ පොදු ලක්ෂණයන් වන්නේ කම්කරු නීති කඩ කිරීම, අවම වැටුප් ගෙවීම, සේවා කාල දිගු වීම, ළමා ශ්‍රමය යොදාගැනීම, කම්කරු පහසුකම් අවම වීම ආදියයි.

මෙවැනි ආයතන සඳහා මෙම වචනය යොදාගැනීම ආරම්භ වූයේ 1850 දී පමණ වන අතර ලන්ඩනයේ සහ නිව්යෝර්ක් නගරවල ශ්‍රම සූරාකෑමට ලක්වූ සංක්‍රමණිකයන් රැකියා කළ ආයතන සඳහා භාවිත කෙරුණි. ඇමරිකානු කම්කරු දෙපාර්තමේන්තුවේ නිර්වචනයන්ට අනුව Sweatshops යනු කම්කරු නීති දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් කඩ කරනු ලබන ආයතනයි.

2012 වසරේදී එළඹි මහ රැජිනගේ දියමන්ති ජුබිලිය වෙනුවෙන් ලන්ඩනය ද මහ රැජින ද රජ පවුල ද සැරසුණ විච්චූරණ පසුපස තිබුණේ සොච්චම් වැටුපක් ලැබූ කම්කරුවන්ගේ ශ්‍රමයයි. 2012 වසරේදී ලන්ඩනය ඔලිම්පික් වසන්තයෙන් ඇලලී යද්දී ඒ පසුපස ද සිටියේ මේ අසාධාරණ කම්කරු ශ්‍රමයයි. බෑන්ක්සි සිය සිතුවමෙන් විවේචනය කරන්නේ එයයි.

මිත්‍රවරුනි…,

අපට ද ඩොලර් උපයා දීම වෙනුවෙන් නිදහස් වෙළෙඳ කලාපයක සිය ජීවිතය මැෂිමකට බාර දී දහස් ගණනක් අක්කලා නංගිලා උදේ හවස සොච්චම් වැටුපකට මැරි මැරී උපදිති.

අරාබියේ සිටිනා ආරියවතීලා ඩිනාර් රියාල් වෙනුවෙන් ඩුබායි සිට අඟල් දෙකහාමාරක පරාල ඇණ පණහක් හැටක් කෙසඟ සිරුරේ හංගාගෙන මිනීපෙට්ටි වලින් කහටගස්දිගිලියට එති.

දිනක වැටුප රුපියල් දාහක් නැති වතුකරයේ කම්කරුවෝ ද අභිමානවත් සිලෝන් ටී ඩොලර් වෙනුවෙන් ඓතිහාසික වහල්භාවයෙන් තේ කඩති.

අපි සිතුවම් කළේ රජුන්ව පමණි.!

පසු සටහන :-

වහල් කඳවුරක් ඇතුලෙ ඉතා කුඩා බිමක සෑහෙන වහලුන් ගණනාවක් ඉන්නවා. උදාහරණයක් විදිහට නාසි ජර්මනියෙ යුදෙව් වද කඳවුරක් ගමු. තුන් දෙනෙක්ට නිදාගන්න පුලුවන් තැනක 150ක් විතර නිදාගන්නවා. පරණ පාන් කෑල්ලක් කන්න හම්බවෙන්නෙ ඉඳහිට. වතුර කෝප්පයක් දවසට එකපාරයි. වැසිකිලි යන්නෙ අර 150ම ඉන්න කාමරේ ඇතුලෙ. ඕනම මොහොතක මැරෙන්න පුලුවන්.

වෙලාවකට ජර්මන් නිලධාරීන් මේ මිනිස්සුන්ව කෑම්ප් එකේ මැද ඉඩ තියන තැනකට දාලා පාන් කෑලි කඩලා අහසට විසි කරනවා. එතකොට අර බඩගින්නෙ හෙම්බත් වෙලා ඉන්න මිනිස්සු එකා පිට එකා වැටි වැටි තල්ලු කරගෙන අර පාන් කෑල්ල ගන්න පොරකනවා.

වැහි වතුරෙන් මඩවෙලා බොරවෙලා තියන පස් ගොඩේ මඩනාලා අර පාන් කෑල්ල කනවා. එක්කෙනෙක්ටයි කන්න ලැබෙන්නෙ. සමහරවෙලාවට ඒකත් නෑ.

තව වෙලාවකට පාන් කෑල්ල බෙදාගන්න දෙන්නෙක්ට ගහගන්න කියනවා. මරණයෙන් කෙලවර වෙන ද්වන්ධ සටනක්. දින්න කෙනාට පාන් කෑල්ල ලැබෙනවා. තමන් එක්ක එකට හිටපු මනුස්සයව මරලා දාලා පාන් කෑල්ලක් කන්න බඩගින්න විසින් මනුස්සයෙක්ව පොළඹවනවා. ඒ ම්ලෙච්ඡ සටන දිහා අත්පොලසන් දෙමින් අනිත් වහලුන් බලාගෙන ඉන්නවා. ඒ මොහොතේදි ඔවුන්ට සම්පූර්ණයෙන්ම අමතක වෙනව ඔවුන් වහල්ලු කියලා.

සරලවම කියනව නම් වහලෙක්ගේ ජීවිතය රඳා පැවතුනේ වේගය මත. තරගය මත. ඒ තරගෙට මූණ දෙන්න බැරිනම් මරණය ඉක්මන් වෙනවා. අත්පොලසන් දීපු අයත් එහෙමයි. නමුත් ඔවුන් බෙදිලා කෙනෙක්ට හුරේ දැම්මා.

අපි මේ ගෙවන ජීවිත ඔය තත්ත්වයෙන් වෙනස් වෙන්නෙ අපි වටේ ගාලා තියන පාට වලින්. අපි එහෙම නෑ කියලා හිතාගෙන හිටියට ඒක එහෙම තමයි. අපිට පොඩිකාලෙ ඉඳන් උගන්නන්නෙ තරග කරන්න විතරයි. තරග කරලා ඉස්සරහට යන්න. මොකද එහෙම නොකළොත්, කපාගෙන, කඩාගෙන ඉස්සරහට නොගියොත් අපිට බස් එකක සීට් එකක්වත් හම්බවෙන්නෙ නෑ කියලා අපි අත්දැකීමෙන්ම දන්නවා.

අපි ඉගෙන ගන්නෙ, අපි රස්සාව කරන්නෙ, අපි ජීවත් වෙන්නෙ පෙර සිටම සැලසුම් කරන ලද ටෙම්ප්ලේට් එකකට. අපිට ඒක ප්‍රතික්ෂේප කළොත් මරණය තෝරාගැනීමට බලකරලා තියනවා.

ලොකු බිස්නස්කාරයෙක් පවා නිරන්තරයෙන් ඔය වේගය එක්ක ඉන්නෙ. එයාටත් ඒකෙන් ගැලවෙන්න බෑ. තරගකාරයො එක්ක තරග කලේ නැත්තං එයාටත් අපිට වගේම මැරෙන්න වෙනවා. ඒ වෙනුවෙන් ලෝක යුද්ධ ඇතිකරන්න, ලාබ ශ්‍රමය මිලට ගන්න, පොලිටිකල් ගේම් ගහන්න, මිනීමරන්න සිද්දවෙනවා. මොකද වෙන කෙනෙක් ඉස්සර වුණොත් ගේම පරදින්න වෙන හින්දා.

අනිත් උනුත් අපි හැමෝමත් තම තමන්ගෙ ශක්‍යතා මට්ටමින් ඔය දේම විවිධ විදිහට කරමින් සියළු දෑ කැප කරමින් තරගයේ යෙදිලා ඉන්නවා.

ඔය අතරෙ වටේ සිද්දවෙන විවිධ දේවල් බලාගෙන අර වටේ හිටිය වහල්ලු ටික වගේ අපි ඇත්ත අමතක කරන්න පොඩි පොඩි තාවකාලික ආතල් ගන්නවා. නැත්තං කවුරුන් හෝ විසින් සිතාමතාම ආතල් සපයනවා.

දැන් කාටහරි හිතෙන්න පුලුවන් මේක අර වහල් කෑම්ප් එකේ පාලකයන්ගේ ප්‍රශ්නයක් ය. අපි අහිංසක බබාලා ය. එයාලා වැරදිය කියලා. නෑ එහෙම නෑ. මොකද මේ සියළු දේ අපි අපිම නිර්මාණය කරගත්ත දේවල්. කාගෙවත් මෙට්‍රික්ස් එකක් ඇතුලෙ තොත්ත බබාලා ටිකක් බලෙන් හිරකරගෙන නෑ. අපිම තමයි මේක නිර්මාණය කළේ. අපිම තමයි පවත්වගෙන යන්නෙ.

මොකද ඔය නිලධාරීන් ඔතෙන්ට එන්නෙත් සමාජය ඇතුලෙ අර සීමිත පිරිසකට ලැබෙන වරප්‍රසාදය වෙනුවෙන්. පාන් කෑල්ලට වහල්ලු මිනීමරාගන්නකොට, බලය වෙනුවෙන් පාලකයො මරාගෙන ඉස්සරහට යනවා. මේ දෙපාර්ශවයම මේකෙ වින්දිතයො. මොකද පාලකයො කියන්නෙ පිටසක්වලයො නෙමෙයි. අපි එක්කම ඉපදෙන මිනිස්සු.

ලොකු ඉස්කෝලෙකට ළමයව දානකොට ආඩම්බර වෙනවා අපි. ඒ ආඩම්බරය ඇතුලෙ තියෙන්නෙ අධ්‍යාපනය නෙමෙයි. උඹලට නැති නමක් තියන ඉස්කෝලෙකට මගේ එකා යනවා කියන හැඟීම. අර උඹට නැති දේ මට තියනවා කියන හැඟීම. අර කලින් කියපු තරගෙ.

මං අහවල් රස්සාව කරන්නෙ. මං අහවල් ආගමේ. මං අහවල් ජාතියෙ. මං අහවල් කෙනාව බැඳලා ඉන්නෙ. මගෙ දුවට ඒ සාමාර්ථ මෙච්චරයි. මගෙ පුතා ඉංජිනියර්. මගේ වාහනේ… බ්ලා බ්ලා බ්ලා…

මේ හැම එකම ඇතුලෙ තියෙන්නෙ අර වේගය සම්බන්ධ ප්‍රශ්නෙ. තරගෙ. තව එකෙක්ගෙන් උඩින් පේන්න, දිනන්න, බලාගෙන මේ දේවල් කරන අපි, මිනිස්සු විදිහට කොයි තරම් දේවල් කැප කරනවද? ජීවිත පවා බිල්ලට දෙනවද? කී දෙනෙක් ප්‍රමෝෂන් දෙන්න ලිංගික අල්ලස් ඉල්ලනවද? කී දෙනෙක් දෙනවද? අම්මලගෙ ආසාව වෙනුවෙන් පොඩි උන් කොච්චර මැරෙනවද? මානසික ලෙඩ්ඩු වෙනවද? බස්වල කෝච්චිවල තෙරපි තෙරපි පාන්දර ඉඳන් නැගිටලා වැඩට ගිහින් දවස් හයක් මහ රෑ ගෙදර ගිහින් අවුරුදු 60 දි විශ්‍රාම ගියාම ඒකට විශ්‍රාම සුවය කියන්න පුලුවන් ද?

එතකොට මේ කෑම්ප් එක නඩත්තු කරන්නෙම අපි අපි විසින්. අපි අර පාන් කෑල්ල හොයාගෙන හැල්මේ දුවනවා. එහෙම නොදිව්වොත් අපිට මැරෙන්න වෙනවා. දුවන නිසා මේක පවතිනවා. පවතින නිසා අපි දුවනවා. මේක චක්‍රයක් වගේ හැමදාම එහෙ මෙහෙ වෙනවා.

අපිම හදාගත්ත මොකක්ද එකක් පස්සෙ දුවලා මැරෙනවා. ඔය අතරෙ අපිට අපිව කොච්චර මගෑරෙනවද ? ඒ අවසානෙදි මැරෙන්නෙ තමන්මද?

පාන් කෑල්ලකට රණ්ඩුවෙන උන් දෙන්නෙක් දිහා බලාගෙන අපි අත්පොඩි ගහනවා.!


චමල් අකලංක පොල්වත්තගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button