විශේෂාංග

ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලයේ ඉදිරිපත් වූ යෝජනාවේ අඩංගු වූ කරුණු 16 මොනවාද?

2009 වසරේ සිට ඇතැම් විට ශ්‍රී ලංකාවේ රජයේ සහයෝගය ද ලබමින් ඉදිරිපත් වූ මේ යෝජනාවලිය නම් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීමේ A/HRC/46/L1 යෝජනාවලිය ලෙසයි. මෙය 2021 මාර්තු 23 වැනි දින සම්මත වුනා. මෙම යෝජනාවේ සඳහන් වෙන්නේ යුද සමයේ සහ ඉන්පසුව ශ්‍රී ලංකාවේ සිදු වූ ප්‍රධාන මානව හිමිකම් කඩවීම් ගැන සත්‍ය සොයා බැලීමක් සහ නීතිමය විසඳුම් ලබා දී නොමැති නිසා, ඒ සිද්ධි විමර්ශනය කර, ක්‍රියාමාර්ග ගැනීමට බලපෑම් කරන ක්‍රමවේදයකුයි. මෙම යෝජනාවලියේ අඩංගු කරුණු සිංහල භාෂාවෙන් ඉදිරිපත් කර නොමැති නිසා ඒ ගැන පරිවර්තනයක් ඉදිරිපත් කිරීමට දේදුනු සංවාද කල්පනා කළා. පහත දැක්වෙන්නේ එම යෝජනාවලියේ සම්පූර්ණ පරිවර්තනයක් නොව, ප්‍රධාන ක්‍රියාමාර්ග ලෙස නම් කර ඇති කරුණු 16යි. සම්පූර්ණ ඉංග්‍රීසි පිටපත අග ඇති ලින්කුවේ පල කර ඇත.

  1. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා විසින් හතළිස් තුන්වන සැසිවාරයේදී මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කරන ලද වාචික යාවත්කාලීන කිරීම සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ වාර්තාව එහි හතලිස් හයවන සැසියේ දී සභාවට ඉදිරිපත් කරනු ලැබීම සාදරයෙන් පිළිගනී.
  2. එසේම මහ කොමසාරිස් කාර්යාලය හා මානව හිමිකම් කවුන්සිලයේ විශේෂ ක්‍රියා පටිපාටීන් සමඟ ශ්‍රී ලංකා රජයේ කටයුතු කිරීම සාදරයෙන් පිළිගන්නා අතර, එම ගනුදෙනුව අඛණ්ඩව පවත්වා ගන්නා ලෙස උනන්දු කෙරේ, එසේම එම කාර්යාලය විසින් ලබා දුන් නිර්දේශයන් ක්‍රියාත්මක කිරීමට සහ විශේෂ ක්‍රියා පටිපාටි මගින් කරනු ලබන නිර්දේශයන්ට නිසි සැලකිල්ලක් දැක්වීමට ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටී.
  3. අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය සහ වන්දි ගෙවීමේ කාර්යාලය ලබා ඇති ප්‍රගතිය පිළිගන්නා අතර, ඒවායේ ස්වාධීන හා ඵලදායී ක්‍රියාකාරිත්වය ආරක්ෂා කිරීම, කාර්යාල දෙකටම තමන්ගේ බලතල ඵලදායී ලෙස ඉටු කිරීම සඳහා ප්‍රමාණවත් සම්පත් හා තාක්ෂණික ක්‍රමවේදයන් ලබා දීම, පීඩාවට පත්, අවදානමට ලක් වූ පවුල් සඳහා, ස්ත්‍රී පුරුෂ සමාජභාව කාරණා ගැන මූලික අවධානයක් ද යොමු කරමින්, අතරමැදි සහන ලබාදීමේ කටයුතු ඉදිරියට ගෙනයාම සහ අතුරුදහන් වූවන්ගේ පවුල්වලට අතුරුදහන් වූ අයගේ ඉරණම සහ ඒ අය සිටින ස්ථාන දැන ගැනීමට හැකිවන පරිදි බලහත්කාරයෙන් අතුරුදහන් වූ අවස්ථා බොහොමයක් විසඳීම සඳහා අදාළ ආයතනවලට අවශ්‍ය සහාය තවදුරටත් ලබා දීමේ වැදගත්කම අවධාරණය කරයි,
  4. මානව හිමිකම් කොමසාරිස්ගේ වාර්තාවේ මතු කර ඇති පරිදි, ශ්‍රී ලංකාවේ එල්ටීටීඊ සංවිධානය විසින් සිදුකරන ලද අපයෝජනයන් ද ඇතුළුව සියලු පාර්ශවයන් විසින් ශ්‍රී ලංකාව තුළ සිදුකරන ලද සියලුම මානව හිමිකම් උල්ලංඝනයන් සහ කඩකිරීම් සම්බන්ධයෙන් පුළුල් වගවීමේ ක්‍රියාවලියක වැදගත්කම අවධාරණය කරයි.;
  5. 2021 ජනවාරි 22 වන දින ප්‍රකාශයට පත් කරන ලද දේශීය විමර්ශන කොමිෂන් සභාවට ස්වාධීනත්වයක් නොමැති බවත්, එහි කාර්යභාරය වන්නේ පෙර කොමිෂන් සභා සහ කමිටු පිළිබඳ වාර්තා සමාලෝචනය කිරීම බවත්, අතීත උල්ලංඝනයන් සම්බන්ධයෙන් වගවීම සඳහා කාර්යභාරයක් එයට ඇතුළත් නොවන බවත්, මානව හිමිකම් හෝ ජාත්‍යන්තර මානුෂීය නීතිය බරපතල ලෙස උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වගවීම ගැන සොයා බැලීමට එයට කාර්යභාරයක් භාර කර නොමැති බවත් සඳහන් කරයි.
  6. වගවීම ඉදිරියට ගෙන යාමේ අරමුණින් ශ්‍රී ලංකාව තුළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ අපයෝජනය කිරීම් හා ඒවාට සම්බන්ධ අපරාධවල සාක්ෂි ආරක්ෂා කිරීමේ හා විශ්ලේෂණය කිරීමේ වැදගත්කම හඳුනාගෙන ඇති අතර, ශ්‍රී ලංකාවේ බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හෝ ජාත්‍යන්තර මානුෂීය නීතියේ බරපතල ලෙස කඩකිරීම් ගැන සාක්ෂි සහ තොරතුරු එකතු කිරීම, ඒකාබද්ධ කිරීම, විශ්ලේෂණය කිරීම සහ සංරක්ෂණය කිරීම සහ, නිසි අධිකරණ බලය සහිත සාමාජික රටවල් තුළ ඇතුළුව, සුදුසුකම් ලත් විනිශ්චය මණ්ඩල ඉදිරියේ වින්දිතයින් සහ දිවි ගලවා ගත් අය වෙනුවෙන් පෙනී සිටීම සහ අදාළ අධිකරණ හා වෙනත් කටයුතු සඳහා සහාය වීම සඳහා අනාගත වගවීමේ ක්‍රියාවලීන් සඳහා හැකි උපාය මාර්ග සංවර්ධනය කිරීමට උද්දේශනය කිරීම සම්බන්ධයෙන් මහ කොමසාරිස් කාර්යාලයේ ධාරිතාව ශක්තිමත් කිරීමට තීරණය කෙරේ;
  7. පසුගිය වසර තුළ මතුවෙමින් පවතින ප්‍රවණතා පිළිබඳව බරපතල කනස්සල්ල පළ කරන අතර, රජයේ සිවිල් ක්‍රියාකාරකම් වේගවත්ව මිලිටරිකරණය කිරීම ඇතුළුව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිරිහෙන තත්වයක් ගැන පැහැදිලි පූර්ව අනතුරු ඇඟවීමේ සලකුණක් පෙන්නුම් කරයි; මානව හිමිකම් ප්‍රවර්ධනය හා ආරක්ෂා කිරීම සඳහා වගකිව යුතු අධිකරණයේ සහ ප්‍රධාන ආයතනවල ස්වාධීනත්වය පිරිහී යාම; අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝනයන්වල වගවීමට සම්බන්ධ වන “ප්‍රධාන නඩු (emblematic cases)” වලදී අඛණ්ඩව පවතින දණ්ඩමුක්තිය සහ ඒවාට සිදු කරන දේශපාලන බාධා කිරීම්; ආගමට හෝ ඇදහීම්වල නිදහසට ඇති අයිතියට අහිතකර ලෙස බලපාන ප්‍රතිපත්ති; දෙමළ හා මුස්ලිම් ප්‍රජාවන්ට අයත් පුද්ගලයින් කොන් කිරීම වැඩි වීම; සිවිල් සමාජය ගැන නිතර නිරීක්ෂණය, තොරතුරු සෙවීම හා බිය ගැන්වීම; ජනමාධ්‍ය නිදහස සීමා කිරීම සහ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය හැකිලීම; ස්මාරක විනාශ කිරීම ඇතුළුව යුද්ධයට ගොදුරු වූවන් ප්‍රසිද්ධියේ අනුස්මරණය කිරීම සඳහා පැනවූ සීමාවන්; අත්තනෝමතික රැඳවුම්; වධහිංසා පැමිණවීම සහ වෙනත් කුරිරු, අමානුෂික පහත් සැලකීම් හෝ දඬුවම් සහ ලිංගික හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනයන් මේ තුළට අඩංගු වේ. මෙම ප්‍රවණතා විසින් මෑත වසරවල ලබා ඇති සීමිත නමුත් වැදගත් වෙනස්කම් ආපසු හැරවීමට තර්ජනය කරන අතර, අතීතයේ සිදු වු බරපතල උල්ලංඝනයන්ට තුඩු දුන් ප්‍රතිපත්ති හා භාවිතයන් නැවත සිදු වීමේ අවදානමක් ඇති බවත් මේවායින් පෙන්නුම් කරයි;
  8. කොරෝනා වෛරස් රෝග (COVID-19) වසංගතයට ප්‍රතිචාර දැක්වීමේදී ආගමේ හෝ ඇදහිලිවල නිදහසට බලපෑමක් ඇති කර ඇති අතර මුස්ලිම් ප්‍රජාවට එරෙහිව පවතින ආන්තිකකරණය සහ වෙනස් කොට සැලකීම උග්‍ර කරමින්, COVID-19 වලින් මියගිය අය ආදාහනය කර, මුස්ලිම්වරුන්ට සහ වෙනත් ආගම්වල සාමාජිකයින් තමන්ගේම සුසාන ආගමික වත්පිළිවෙත් අනුගමනය කිරීමෙන් වළක්වා ඇති අතර, මෙම තත්වය ආගමික සුළුතරයන්ට අසමාන ලෙස බලපා ඇති අතර, ඔවුන් පීඩාවන්ට හා ආතතීන්ට ලක් කිරීම උත්සන්න කර තිබීම ගැන තවදුරටත් සැලකිල්ල යොමු කරයි.
  9. කඩිනම්, සවිස්තරාත්මක හා අපක්ෂපාතී පරීක්ෂණයක් සහතික කරන ලෙස ද, අවශ්‍ය නම්, චෝදනා එල්ල වී ඇති මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හා ජාත්‍යන්තර මානුෂීය නීතිය බරපතල ලෙස උල්ලංඝනය කිරීම්, දීර්ඝ කාලයක් තිස්සේ ඇසෙන ප්‍රධාන නඩු ඇතුළුව ඒවාට සම්බන්ඡ සියලු අපරාධ සම්බන්ධයෙන් නඩු පැවරීම සිදු කරන ලෙස ද ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටී;
  10. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය සහ වන්දි ගෙවීමේ කාර්යාලය ස්ථාපිත කර ඇති පරිදි ඔවුන්ගේ අදාළ කාර්ය භාරයන් ඉටු කිරීමට සහ ඒවායේ නිදහස් සහ ඵලදායී පැවැත්ම තහවුරු කිරීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටී.
  11. මානව හිමිකම් ආරක්ෂා කරන්නන් ඇතුළු සිවිල් සමාජ ක්‍රියාකාරීන් ආරක්ෂා කරන ලෙසත්, ඕනෑම ප්‍රහාරයක් විමර්ශනය කරන ලෙසත්, සිවිල් සමාජයට බාධා, සෝදිසි, අනාරක්‍ෂිතභාවය සහ පලිගැනීමේ තර්ජනවලින් තොරව ක්‍රියාත්මක විය හැකි ආරක්ෂිත හා සක්‍රීය පරිසරයක් සහතික කරන ලෙසත් ශ්‍රී ලංකා රජයෙන් තවදුරටත් ඉල්ලා සිටී.
  12. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සමාලෝචනය කරන ලෙසත්, ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමට අදාළ ඕනෑම නීතියක් රාජ්‍යයේ ජාත්‍යන්තර මානව හිමිකම් සහ මානුෂීය නීති බැඳීම්වලට අනුකූල වන බවට සහතික වන ලෙසත් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටී;
  13. සියලුම ආගමික ප්‍රජාවන්ට තමන්ගේ ආගම ප්‍රකාශ කිරීමට සහ විවෘතව සහ සමාන තැනක සිට දායකත්වය ලබා දීමට ඇති හැකියාව ප්‍රවර්ධනය කිරීමෙන් ආගමට හෝ විශ්වාසයට හා බහුත්වවාදයට ඇති නිදහස පෝෂණය කරන ලෙසත්, ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටී.
  14. කලින් ඉදිරිපත් වූ නොවිසඳුනු ඉල්ලීම්වලට නිල වශයෙන් ප්‍රතිචාර දැක්වීම ඇතුළුව මානව හිමිකම් කවුන්සිලයේ විශේෂ ක්‍රියා පටිපාටි සමඟ අඛණ්ඩව සහයෝගයෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකා රජය දිරිමත් කරයි.
  15. ඉහත සඳහන් පියවරයන් ක්‍රියාවට නැංවීම සඳහා ශ්‍රී ලංකා රජයේ එකඟතාවය සමග, උපදෙස් ලබා දීමට, සහ තාක්ෂණික සහාය ලබා දීමට මහ කොමසාරිස් කාර්යාලය සහ අදාළ විශේෂ ක්‍රියා පටිපාටිය දරන්නන් දිරිමත් කෙරේ;
  16. සංහිඳියාව හා වගවීමේ ප්‍රගතිය ඇතුළුව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ, මහ කොමසාරිස් කාර්යාලයට සිය අධීක්ෂණ හා වාර්තාකරණ කටයුතු වැඩි දියුණු කරන ලෙසත්, මානව හිමිකම් කවුන්සිලයේ හතළිස් අටවන සැසියේදී ඒ ගැන වාචික යාවත්කාලීන කිරීමක් ඉදිරිපත් කරන ලෙසත්, එහි හතළිස් නවවන සැසියේදී ලිඛිත යාවත්කාලීන කිරීමක් සහ එහි පනස් එක් වැනි සැසියේදී වගවීම ගැන වැඩකටයුතු ඉදිරියට ගෙනයාම සඳහා වැඩිදුර විකල්ප ඇතුළත් පුළුල් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත්,මේ දෙකරුණම අන්තර්ක්‍රියාකාරී සංවාදයක සන්දර්භය තුළ සාකච්ඡා කළ යුතු බවත් ඉල්ලා සිටී.

පරිවර්තනය
දේදුනු සංවාද

ඉංග්‍රීසි පිටපත මෙතැනින් කියවන්න.
Sri Lanka resolution in full as adopted by the HRC 46 with 22 votes

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button