විශේෂාංග

අපි ප්‍රාර්ථනා කල යුතු විනාශයක්

Creative Destruction නොහොත් නිර්මාණශීලී විනාශය ගැන කතා නොකර සමහර දේවල් අපිට තේරුම් ගන්න බෑ.

අපි කෙළින්ම Point එකට එමු.

මෙතනදී මේ විනාශය කියලා කියන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට වන හානියක් ගැන නෙවෙයි. පාලකයන්ට වෙන හානියක් ගැන. ඒක තේරුම් ගන්න මං ලංකාවේ දෙන්න පුළුවන් ප්‍රසිද්ධ උදාහරණ කීපයක් ගන්නම්.

හොඳම උදාහරණ තියෙන්නේ යුද්දේ…

ශ්‍රී ලංකාවේ උතුරේ යුද්ධය යනකොට මුලින්ම ඒක මෙහෙයවපු භූමියේ හිටපු අණදෙන්නා ඩෙන්සිල් කොබ්බෑකඩුව. කොබ්බෑකඩුවලා රත්වත්තේලගේ නෑයෝ. ඒ කියන්නේ සිරිමාවෝ බණ්ඩාරනායකගේ නෑයෝ. ජනාධිපති ජේආර්. බලය යූඇන්පී යේ. ඉතිං පළමු ඊළාම් යුද්ධය විදියට සැළකෙන වඩමාරච්චි මෙ⁣හෙයුම කරගෙන ඇවිත් ප්‍රභාකරන් ව බිත්තියට තද කරන්න ඔන්න මෙන්න ඉන්න කොට ඉන්දියාව වැඩේ නතර කර ගන්නවා. නැත්නම් කොබ්බෑකඩුවලා ලංකාවේ වීරයෝ වෙනවා. ඒක ජේආර් ගේ බලයටත් බලපානවා. ඒකත් ජේආර් ගේ යටිහිතේ තිබුණ අකමැත්තක් යුද්දේ ඉවර වෙනවට. ඊට පස්සේ ප්‍රේමදාස ගේ කාලේ දෙවන ඊළාම් යුද්ධය යනකොට යාපනය බේර ගන්න, කොටි එලවලාම දාන්න තමයි කොබ්බෑකඩුවලා සැළසුම් කරන්නේ. හැබැයි සැක සහිත විදියට අරාලිතුඩුවේ බෝම්බයක් පුපුරලා ඔවුන් දැයෙන් සමු ගන්නවා. ප්‍රේමදාසට තිබ්බ ප්‍රශ්නයක් ඉවරයි. බෝම්බේ ප්‍රභාගේ උනාට ප්‍රේමදාසට ඇඟිලි දික් කළා.

ඊළඟට තෙවන ඊළාම සටනෙදි පොදු පෙරමුණු ජනාධිපති චන්ද්‍රිකා, ආමි එකේ ඉස්සරහින් ඉන්න වැඩ කරු ජානක පෙරේරා. ඔහු යූඇන්පී යට සමීපයෙක්. කොටි යාපනයේ සෙබළු 30,000 ක් මරලා අල්ලන්න හදනකොට ඒක නවත්වන සෙන්පතියා. නමුත් සුදුස්සා උනත් ඔහුට පසුව හමුදාපතිකම දෙන්න චන්ද්‍රිකා බෑ කියනවා. ඔහු හමුදාවෙන් අයින් වෙනවා. පසුව රනිල් ගේ අවුරුදු 2 ආණ්ඩුව කාලේ ඕස්ට්‍රේලියාවේ තානාපති වෙලා රටින් යනවා.

ඊළඟට හතර වන ඊළාම් යුද්ධය. ජනාධිපති නිදහස් සන්ධානයේ මහින්ද. හමුදාපති කම දෙනවා ඒ වෙනකොට හමුදාවේ හිටපු සුපිරිම සෙන්පතියා දක්ෂයා සරත් ෆොන්සේකාට. සරත් ෆොන්සේකාගේ හිතවත්කමත් යූඇන්පී යට. ඒත් එතනදි වාසනාවට ගෝඨාභය ගේ මැදිහත්වීම මත ඒක ලැබුණා වෙන්න පුළුවන්.

ඔය ඉහත අවස්ථා තුනෙන් මුල් දෙකේදිම රටේ හිටපු ඒ වැඩේ කරන්න සුපිරිම දක්ෂයෝ බිහි වෙලා හිටියා. නමුත් දේශපාලන විසින් දක්ෂයාට ඒක ඉවර කරන්න දෙන්නේ නෑ. ඇයි? ආන්න මොකද එතකොට පාලකයාගේ දුර්වලකම පේන්න ගන්නවා. දක්ෂයා මතු වෙලා එනවා. ඒක තමන්ගේ පැවැත්මට බලපානවා. තුන් වෙනි අවස්ථාවෙදි මහින්දලා ඒ රිස්ක් එක ගත්තා. දක්ෂයෝ වැඩේ ඉවර කලා. ඒ වගේම දක්ෂයා මතු උනා. ඒක පාලකයට බලපෑවා. තව පොඩ්ඩෙන් සරත් ෆොන්සේකා දිනනවා 2010 ජනාධිපතිවරණයේදී.

හැබැයි ෆොන්සේකාට දිනන්න රනිල් දෙන්නෙත් නෑ. හේතුව ෆොන්සේකා ආවේ එයාගෙම පක්ෂයක් හදාගෙන. ෆොන්සේකා දින්නොත් අර දේශපාලන රටාව වෙනස් වෙනව. රනිලුත් කැපෙන්න පුළුවන්. එතකොට මේ පවතින ක්‍රමය පවතින්නේ නෑ. ප්‍රභූ පැළන්තිය පවතින්නේ නෑ. ඒ නිසා රනිල් සරත් ෆොන්සේකාව දිනවන්න වගේ හිටියත් බොක්කෙන්ම සහාය දුන්නේ නෑ. ෆොන්සේකා පැරදුණා. හිරේ ගියා. වීරයා ලේබලයට කුඩු වෙන්න ගැහැව්වා. කොහොම හරි මේ පවතින දේශපාලන සංස්කෘති දෙක, අන්ත දෙක සහ ක්‍රමය පවත්වා ගත්තා.

ඒ කියන්නේ දක්ෂයාට තැන දෙන්න ගියොත් ඒක පාලකයාගේ දුර්වලකම් එළියට පේන තැනක් බවට පත් වෙනවා. පාලකයා පහු කරගෙන දක්ෂයෝ මතු වෙනවා. එතකොට ඒ පාලක පන්තිය නිකම්ම විනාශ වෙනවා. ආන්න ඕකට තමයි Creative Destruction එක කියන්නේ. ඒ විනාශය තමන්ට කර ගන්න පාලකයෝ ඉඩ තියන්නේ නෑ.

ජනතා විමුක්ති පෙරමුණ හම්බන්තොට ප්‍රාදේශීය සභාව අරගෙන දියුණු කලා, ඒ වගේම චන්ද්‍රිකා ගේ කාලේ එකට ආණ්ඩු කරන කොට අමාත්‍යාංශ අරගෙන පරිපාලනය වෙනස්කරලා ගමනක් යන බව පෙන්නුවා. ඒ අවස්ථා දෙකේදීම ඒකට ගහලා කුඩු කරලා කඩාකප්පල් කරලා වැට්ටුවා. වැඩේ කවුරු හරි කරගෙන මතු වෙනවට එකිනෙකා ඉඩ දෙන්නේ නෑ. මොකද එතකොට මිනිස්සු එතනට එකතු වෙනවා.

ජානක පෙරේරා පසුවට දේශපාලනය ට ආවා. අනුරාධපුරයේ පළාත් සභාවට ආවා. ඔහු දේශපාලනිකව මතු වේගෙන ආවා. ඔහුටත් ප්‍රභාකරන් බෝම්බයක් ගැහැව්වා.

දැන් බලන්න සරත් ෆොන්සේකා පාර්ලිමේන්තුවේ හිටියත් කවදාවත් ආරක්ෂක ඇමතිකම දෙන්නේ නෑ. යම් හැකියාවක් සහිත පුද්ගලයෙක් හිටියොත් එයාගෙන් වැඩක් ගන්න තනතුරක් දෙන්නේ නෑ. රනිල් ෆොන්සේකාට දුන්නේ වනජීවිය, සහයට තෙවරප්පෙරුම. වැඩේ කරන්න බෑ. ශිල්පය දන්නේ නෑ. වැඩේ අනන්න එකෙක්. ඉතිං ඔහුත් අර දක්ෂයා කියන තැනින් වැඩ බැරි ටාසන් වෙලා නිකම්ම. ඒ මට්ටමෙන් හිටියොත් ඉන්න පුළුවන්.

දැන් ඔහොම බැලුවොත් පේන්න ඕනේ ලංකාවේ පාර්ලිමේන්තුවේ ඉඳලා සියළුම රජයේ ආයතන වල පවා දක්ෂයන්ට මතු වෙන්න නොදෙන්න හේතුව. කිසිම උදාහරණයක් නෑ කියන්න හොඳ දක්ෂයෙකුට වැඩක් බාර දුන්නා කියන්න. පාලකයාගේ දුර්වලකම් පේන, අනෙකෙක් කැපිලා පේන්න කරන වැඩ කරන්න හම්බෙන්නේ නෑ.

දැන් වත්මන් ජනාධිපති උනත් දක්ෂයෙක් කියලා මතු උනේ ආරක්ෂක ලේකම් කාලේ කරපු වැඩ නිසා. කොළඹ හදන ඒවා ආදිය. ජනාධිපති ගේ සහෝදරයා නිසා ඒක කර ගන්න පුළුවන් උනා. වෙන කෙනෙකුට නම් එහෙම කරන්න බෑ. එහෙම කරන්න ලැබෙන්නේ නෑ. හැබැයි දක්ෂයා මතු උනාට මතු උනේ අර තිබ්බ ජරා ගොඩෙන්මයි, ඒ පැළන්තියෙන්මයි. ඉතිං Creative Destruction එකක් එතනින් ඇති වෙන්නේනෑ. ඒ නිසා ක්‍රමය වෙනස් වෙන්නෙනෑ.

අපිට මේ ආකාරයෙන්ම “වියත්මග” දෙස බලන්නත් පුළුවන්.

වියත්මග ලෙස එළියට එන්නේ මේ රටට ඒ දක්ෂයෝ සුදුස්සෝ රාජ්‍ය පාලනයට ගේන්න ඕනේ කියන පොදු පිළිගැනීමට පිළිතුරු විදියට. මොකද දක්ෂයන්ට උගතුන්ට සුදුස්සන්ට තැන ලැබෙනවට හැමෝම කැමතියි. ඒ නිසා එතනට වැඩි පිරිසක් එකතු උනා. එතන විශ්වාසයක් ගොඩ නගලා තිබ්බා. ඒ වගේම ටයි කෝට් දාගෙන ලොකුම හෝටල් වල තියෙන පොඩි Status එකක් එක්ක දෙන දේශන, ප්‍රියසම්භාෂණ වලට කැමැත්තක් ඒ අයගේ තිබුණා.

නමුත් ඡන්දයෙන් පස්සේ ඉක්මනින්ම විනාශ වුනේ වියත්මග. පාලකයා පත් උනාට පස්සේ තමන්ට වඩා දක්ෂයෝ ඇවිත් කැපිලා පේනවට ඔවුන් කැමති නෑ. මොකද එතකොට අර කිව්ව Creative Destruction එක සිදු වෙනවා. එතකොට පවතින තත්වය වෙනස් වෙනවා. එහෙම උනොත් තමන්ටම පැවැත්මක් නැති වෙනවා.

ඒ නිසා ඔවුන් ඡන්දයට ඉදිරිපත් කලේ ඔක්කොම වාගේ අර පරණ හොරු රැල. උන් ඉන්න කම් මේ පවතින ක්‍රමය වෙනස් වෙන්නේ නෑ. ඒක තමයි පාලකයාට ඕනේ.

ඒ නිසා වියත්මග කිය කිය හිටියට ඒකට තැන දෙන්නේ නෑ කීයටවත්.

ඒ නිසා ඒ සියළුම වියතුන් මේ සිදු වූ දෙය තේරුම් ගන්න ඕනේ. Creative Destruction එකක් කරන්න නම් ඔය තියෙන දේශපාලන සංස්ථා දෙකෙන් එන්න බෑ. එහෙම කරනවා නම් අලුත් එකක් ඕනේ. අලුතින් හදන්න ඕනේ.

මේ ක්‍රමය වෙනස් කරන්න පුළුවන් එතකොට. ඔය සෙට් එක අයින් කරන කං, මේ තියෙන දේශපාලන සංස්කෘතිය වෙනස් කරන කං, රටේ දක්ෂයෝ උඩට එන, ඒ දක්ෂ කමට නිසි පිළිගැනීමක් ලැබෙන, ඒ දක්ෂ කමට නිසි වටිනාකමක් ලැබෙන සමාජයක් හැදෙන්නේ නෑ. පාලකයාට අභියෝගයක් නොවන තාක් කල් ඔබට ඉන්න පුළුවන්, වෙනදෙයක් බලා ගෙන.

රටක් ගොඩ දාන්න නම් Meritocracy හෙවත් දක්ෂයාට තැන දීම අනිවාර්යය අංගයක්. රටක ආයතනයක් දියුණු වෙන්නේ එතකොට. නමුත් අපේ රටේ එහෙම ඒවා වෙන්නේ නෑ. උදාහරණ විදියට එකක් දෙකක් කියන්න තියෙයි. නමුත් ඒක රටේ System එකට බද්ද වෙලා නෑ. System එක ඇතුලේ නෑ. ඔය ප්‍රශ්නය දේශපාලනයට විතරක් නෙවෙයි පිටතත් තියෙනවා. මේ රටේ දක්ෂයෙකුට ඉහළට මතු වෙලා එන්න බාධා ගොඩක් තියෙනවා. අලුතින් හිතලා අලුතින් නිර්මාණය කරන දේ වලට අවස්ථා ලැබෙන්නේ බොහෝම අඩුවෙන්. ප්‍රතිඵලය වෙලා තියෙන්නේ ඒ දක්ෂකම් රටින් පිට වෙනවා. රට ඇතුලේ නිසි ඇගයීමක් ලැබෙන්නේ නැත්නම් ඒවා නිසි ඇගයීමක් තියෙන වෙනත් පොළොවක පැලවෙනවා.

ඒ නිසා මේ රටේ පාලකයාට අභියෝගයක් වෙන දක්ෂයෙකුට මතු වෙන්න අවස්ථාවක් ලැබෙන්නේ නෑ. මොකද එහෙම උනොත් නිර්මාණශීලි විනාශය සිදු වෙලා පාලක පන්තිය කඩං වැටෙනවා. එහෙම වෙන්න දෙන්නේ නෑ. යම් ආකාරයකින් ස්වාභාවිකව පාලකයාට නවත්වාගන්න බැරි විදියට දක්ෂයෙක් මතු වෙලා ආවොත්, එතනදි රටේ මේ දේශපාලන සංස්ථා දෙකේ ප්‍රභූ පාලනය වෙනස් කරන්න පුළුවන්. එදාට රට අලුතින් පටන් අරගෙන දිගු ගමනක් යනවා. එහෙම මතු උනොත් ආන්න ඔබට පෙනේවි අනාගතය වෙනස් වීමට ඇරඹි බව.

Nokia ගඩොල් භාග ෆෝන් කාලයක් ලෝකේ හෙල්ලුවා. Smart Phone ආවාම ඒවා විනාශ වෙලා ගියා. Smart Phone හදන්න මුල් උනේ නව නිපැයුම්, නිර්මාණශීලිත්වය. නිර්මාණශීලි දේවල් ලෝකෙට එනකොට ඊට කලින් තිබුන දේ වැඩක් නැති වෙනවා. Nokia Phone නිකම්ම විනාශ වුණා. ආන්න ඕක තමයි ආර්ථික විද්‍යාවෙන් Creative Destruction කියන්නේ. ඕක දේශපාලනයටත් පොදුයි.

ඔය දේශපාලන සංස්ථා දෙකම කුණු වෙලා දැන්. කොහෙන් හරි ප්‍රමාණවත් නව දක්ෂයෝ මතු වෙලා ආවොත් Creative Destruction එකක් වෙනවා. ඒක උනොත් රට වෙනස් වෙනවා.

අලුත් තැනකින්, අලුත් විදියකින්.!


පැතුම් කර්නර්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button