විශේෂාංග

ලෝකයම එකම රෝගයකින් පෙලී මරණය වැලඳගනිමින් සිටියදී අප සොයන්නෙ කුමක්ද?

අද විවේකී ඉරිදා දිනයේ නිවසට වී සිටින අතරේ අපි නැවත නැවතත් විමසා බැලිය යුතු පැනයක් ඔල්ගා තොකර්චුක් අපෙන් විමසයි. ඒ පැනයට ඔබට පිළිතුරක් ඇතිද? ඒ පැනය නම්,

අප දිගින් දිගටම සොයමින් යන්නේ කුමක්ද?

කවුළුවක් අසල කිසිවෙකු හෝ වාඩිවී සිටියි.

ළමාවියේ මතකයන් දිගින් දිගටම මගේ මනසේ මැවෙයි. අද මෙන් නොව ඇති තරමට කාලය තිබූ එදවස, කවුළුවෙන් පිටත බලාගෙන වරු ගණන් ‘නාස්ති කිරීමට’ සහ ‘කා දැමීමට’ හැකියාව තිබිණි.

මා වශීකෘත කළ, අද මා ජීවත්වන තැන තෝරාගැනීමට එක් හේතු කාරණාවක් වූ සුදු මල්බෙරි ගස කවුළුවෙන් මට පෙනේ. ත්‍යාගශීලි මල්බෙරි ගස හැම වසන්තයකම හා ගිම්හානයකම එහි මිහිරි හා ගුණදායක ඵල කුරුළු පවුල්වලට බෙදාදෙයි. මල්බෙරි ගස තවමත් දළු ලියලා දමා නැත. උද්‍යානය වෙත යන කිහිපදෙනෙකු ඉඳහිට හරහා යන නිහඬ මාවත ඈතට විහිදෙයි. දැවෙන හිරුගෙන්, නිල් පැහැති ආකාසයෙන් හා පැහැදිලි වටපිටාවෙන් පිරි ව්‍රොට්ස්වෆ් වල දේශගුණය මුළුමනින්ම පාහේ ග්‍රීෂ්මාධිකය. බල්ලා සමඟ ඇවිද යන විට මැග්ෆයිස්ලා දෙදෙනෙක් සිය කූඩුවේ සිට බස්සෙකු හඹා යන අයුරු අද මම දුටුවෙමි. ඌ ඈතට පියඹා යන විට අඩි දෙකක පමණ දුරකින් බස්සාත් මමත් එකිනෙකා දෙස බැලීමු. ඊළඟට කුමක් සිදුවේදැයි බලාපොරොත්තුවෙන් හා පුදුමයෙන් සතුන් පවා බලාසිටින සෙයකි. අධිවේගී, අධි ගෝෂාකාරී, ලෝකය දිගු කාලයක් පුරා උවමනාවටත් වඩා මට සමීප විය. ඉතින් මම කිසිවිටෙක ‘හුදෙකලා කිරීමේ කම්පනයෙන්’ නොපෙළුණා පමණක් නොව මිනිසුන් නොදැකීම මට දරාගත නොහැකි දෙයක්ද නොවීය. සිනමා ශාලා වසා දැමීම ගැන මම කණගාටු නොවීමි. සාප්පු සංකීර්ණ වසා දමා ඇතැයි යන කාරණාව ගැනද මට උනන්දුවක් නොවිණ. එහෙත් රැකියාව අහිමි වූ සියළු දෙනා ගැන සිතන විට මම සැබවින්ම දුකට පත්වෙමි. එනමුත්, එලඹෙන නිරෝධායන කාලසීමාව ගැන දැනගත් විට මට යම් සැනසීමක් ඇතිවිය. එයින් ලැජ්ජාවට පත්වුවද, අන් අයටද එලෙසම හැඟීගිය බව මම දනිමි. දිගු කාලයක් සිරගතව තිබූ සහ අධික්‍රියාකාරී සමාජශීලීන් විසින් අපයෝජනය කරන ලද මගේ කුලෑටිකම, එය විසින්ම මකා දමා සැඟවුණු තැනින් එළියට පැමිණ ඇත.

එල්ලෙන නීතීඥ ලෝගුව කරේ දමාගෙන වෙනදාට උදයේම වැඩට පිටව යන, අධිකව වෙහෙසෙන නීතීඥයෙකු වූ අපේ අසල්වැසියා දෙස මම කවුළුවෙන් බලාසිටිමි. එල්ලා වැටෙන ව්‍යායාම් ඇඳුමකින් සැරසී සිටින ඔහු දැන් වත්තේ කපා දමා තිබූ ගසක අතු කැබලි සමඟ ඔට්ටු වෙමින් සිටියි. ඔහු ඒවා පිලිවෙළකට තැබීමට උත්සාහ කරන බවක් පෙනෙයි. ගිය ශිත සෘතුවේ පටන් යාන්තමින් ඇවිදීමට සමත් වූ වයසක සුනඛයෙක් නිවසින් පිටතට කැඳවාගෙන එන තරුණ යුවලක් මම දුටුවෙමි. ඉතා මන්දගාමී වේගයකින්, ඉවසිල්වන්තව බල්ලාද කැටුව ඔවුන් ගමන් කරන විට, ඌ බැරි බැරි ගාතේ ඉදිරියට ඇදුනේය. මහා ගාල ගෝට්ටියක් කරමින් කුණු ලොරිය කුණු පටවා ගත්තේය.

මුළුමනින්ම වෙනස් රිද්මයකින් ජීවිතය ඉදිරියට යයි. කාමරය අස්පස් කර කියවා අවසන් කර ප්‍රතිචක්‍රීකරණ කසල බඳුනට දැමූ පුවත්පත් මම ඉවත් කළෙමි. මල් පැල නැවත සිටවීමි. විංකලයෙන් අළුත්වැඩියා කර තිබූ මගේ පාපැදිය රැගෙන ආවෙමි. උයන පිහන වැඩ වලින් සතුටු වීමි.

ළමාවියේ මතකයන් දිගින් දිගටම මගේ මනසේ මැවෙයි. අද මෙන් නොව ඇති තරම් කල් වේලා තිබූ එදවස, කවුළුවෙන් පිටත හිඳිනා කුහුඹුවන්ගේ ක්‍රියා නිරීක්ෂණය කරමින් හෝ මේසය යටට වී එය නෝවාගේ නැව යැයි සිතින් මවාගෙන, විශ්වකෝෂය කියවමින් වරු ගණන් කාලය ‘නාස්ති කිරීමට’ සහ ‘කා දැමීමට’ හැකියාව හිමිවිය.

සමහර විට මේ අපි ජීවිතයේ නිවැරදි රිද්මයට යළි පැමිණීමක් විය නොහැකිද? හරියට එය වෛරසය විසින් නියමයන් කඩාකප්පල් කිරීමක් නොව, වෛරසය පැමිණීමට පෙර තිබූ කලබලකාරී අස්වාභාවික ලෝකය ආපසු හැරවීමක් විය නොහැකිද?

අප ඉතාම කැමැත්තෙන් ප්‍රතික්ෂේප කරන දේවල් වෛරසය විසින් හැමවිටම අපට මතක් කරදෙයි. එනම් අප ඉතා පහසුවෙන් බිඳෙනසුළු දේවලින් නිර්මිත දුර්වල ජීවීන් පිරිසක් බවය. මරණයෙන් ගැලවිය නොහැකි අමරණීය නොවන ජීවීන් බවය. ‘මනුෂ්‍ය ප්‍රජාව’ යන අපේ නාමකරණයෙන් අප සෙසු ලෝකයෙන් විශේෂිත ලෙස පරිබාහිර නොවෙනවා මෙන්ම ඒ වෙනුවට යැපීමේ හා බලපෑමේ අදෘෂමාන බැමි වලින් අනෙක් ජීවීන් හා එකට බැඳී, පැටලී ඇති ජාලයක් වන් ලෝකයක ජීවත්වන බවය.

අප ජීවත්වන රටවල් කොතරම් දුරස් වුවද, කවර භාෂාවක් කතාකළද, හමේ වර්ණය කුමක් වුවද, අප සැවොම එකම රෝගයකින් පෙළෙන්නෙමු. එකම බියකින් පෙළෙන්නෙමු. එකම මරණය වැළඳ ගන්නෙමු.

අන්තරාය අභිමුවෙහි අප කෙතරම් දුර්වල හා අවදානම් තත්ත්වයක පසුවුද, අපටත් වඩා අවදානම් තත්ත්වයක පසුවන, අපගේ උපකාරය අත්‍යවශ්‍ය පිරිසක් අප වටා සිටින බව එය අපට අවබෝධ කර දී තිබෙයි. අපගේ වයස්ගත දෙමාපියන් මෙන්ම ආච්චිලා, සීයලා කෙතරම් දුර්වලද, අපගේ රැකවරණය ඔවුන්ට කෙතරම් අවශ්‍යද යන්න එය අපට මතක් කර දී ඇත. අපේ වියරු ක්‍රියාවන් ලෝකය කොතරම් අන්තරායකට හෙලා ඇතිද යන්න එය අපට පෙන්වයි. අපට අපෙන්ම අසාගැනීමට කලාතුරකින් ධෛර්යය ලැබෙන ප්‍රශ්නයක් වෛරසය විසින් මතුකර ඇත. ඒ කුමක්ද? හරියටම කිවහොත්, දිගින් දිගටම අප සොයමින් යන්නේ කුමක්ද? රෝගාතුර වීමට ඇති බිය විසින් අප වර්ණනා කරන හා ආරක්ෂිත බව දැනෙන කැදැල්ල අපට මතක් කරදෙයි. උද්යෝගීමත් සංචාරකයන් පවා මෙවැනි තත්ත්වයක් තුළ යම් ආකාරයක නිවසක් වෙත පිවිසෙයි. ඒ අතරවාරයේම ඉතා කණගාටුදායක සත්‍යයන්ද හෙලිදරව් වී ඇත.

මේ අනතුරුදායක මොහොතේ අපේ චින්තනය යළිත් වරක් සීමිත සහ ජාතීන් හා දේශසීමා යන සුවිශේෂි ඛාණ්ඩයන් දෙසට යොමුවේ. මේ දුෂ්කර කාලසීමාවේදී යුරෝපීය ප්‍රජාවක් යන අදහස ප්‍රායෝගිකව කෙතරම් දුර්වලද යන්න අපි දැක ඇත්තෙමු. අර්බුද කාලවල තීරණ ගැනීම ජාතික රාජ්‍යයන්ට පවරා දී යුරෝපා සංගමය තම අත පිහදාගෙන තිබේ. පැරණි ස්වෝත්තමවාදය යළි ඉස්මතු වී ‘දේශීය’ සහ ‘විදේශීය’ ලෙස බෙදා වෙන්කිරීම නැවත කරලියට කැන්දාගෙනවිත් ඇත. වෙනත් වචනවලින් කිවහොත් හරියටම එය කිසිදාක අපගේ මනස හැඩගස්වන්නට යළි නොපැමිණේවි යැයි බලාපොරොත්තුවෙන් පසුගිය දශක දෙක පුරා අප විරුද්ධව සටන් කළ දෙයමය. වෛරසයට ඇති භීතිය නිසාම අන්තරාය ගෙනා බවට විදේශිකයන්ට වරද පැවරීමේ පැරණි දණ්ඩ විනිශ්චය යළි කැඳවා ඇත. යුරෝපය තුළ වෛරසය පැමිණ ඇත්තේ ‘වෙනත් තැනකින්’ය. පෝලන්තයේ විදේශයන්හි සිට පැමිණෙන සෑම අයෙකුම සැකකටයුතු ලෙස සැලකේ. ‘දේශ සීමා පවතින බවත්, ඒවා දැඩිව ක්‍රියාත්මක වන බවත්’ වෛරසය අපට මතක් කර සිටියි.

වෛරසය තවත් පැරණි සත්‍යයක් ගැන අප දැනුවත් කරාවි යැයි මම බියට පත්වෙමි. ඒ අප කොතරම් අසමානද යන්නය. අපෙන් සමහරු දූපත්වල හෝ වනාන්තරවල හුදෙකලාව ඇති නිවාස වෙත පුද්ගලික ගුවන් යානා වලින් පියාසර කරන අතරේ අනෙක් අය නගරවල රැඳී විදුලි බලාගාර හා ජලාප්‍රවාහන සේවාවල නිරතව සිටිති. තවත් කොටසක් තම ජීවිතය පරදුවට තබමින් සාප්පු සංකීර්ණවල හා රෝහල්වල වැඩෙහි යෙදී සිටිති. සමහරු වසංගතයෙන් මුදල් උපයාගන්නා අතරේම තවත් සමහරුන්ට තමන් සතු සියළු දේම අහිමි වෙයි. එළඹෙන අර්බුදය ඉතා හොඳ යැයි අපට පෙනෙන සියලු මූලධර්ම වලට වල කපයි. බොහෝ රටවල්වලට එය පාලනය කරගත නොහැකි වන අතර ඒ පසුබෑම් හමුවේ සෑම අර්බුදයකට පසුවම සිදුවන්නාක් මෙන් නව විධානයන් අවදිවනු ඇත.

පොත් කියවමින් සහ රූපවාහිනිය නරඹමින් ගෙදර රැඳී සිටින බව අප විශ්වාස කළද, සැබවින්ම නම්, කිසිවක් යළි පෙර තත්ත්වයට සමාන නොවන බව සෙමෙන් අවබෝධ කරගනිමින් අපට සිතාගන්නටවත් නොහැකි නව යථාර්ථයකට එරෙහිව සටන් වදින්නට අපි සූදානම් වෙමින් සිටිමු. අනිවාර්යය නිරෝධායනයේ කොන්දේසිය වන පවුල නිවස තුළ රඳවා තැබීමට, අප පිළිගැනීමට කිසිදු කැමැත්තක් නැති දේවල් පිළිබඳව අපව දැනුවත් කළ හැකිය. ඒ අපගේ පවුල අපව ක්ෂය කරන බවත්, විවාහයේ බැඳීම් බොහෝකලෙක සිට අඩුවී යන බවත්ය. අපගේ දරුවන් නිරෝධායනයෙන් පිටතට පැමිණෙනු ඇත්තේ අන්තර්ජාලයට ඇබ්බැහි වූවන් ලෙසින් විය හැකිය. ඉතිරිව ඇති අකර්මකතාවේ බලයෙන්, යාන්ත්‍රිකවම සිහිනුවණ නැතිකමේ සහ නිශ්ඵලභාවයේ තත්ත්වයයන් අපගෙන් බොහෝ දෙනෙකු දැනගනු ඇත. මිනීමැරුම්, සියදිවි නසාගැනීම් සහ මානසික රෝග වලින් පීඩා විඳින්නන්ගේ ප්‍රමාණය ඉහළ ගියහොත් කළ හැක්කේ කුමක්ද?

පසුගිය සියවස් දෙක පුරාම අපව හැඩගැස්වූ‍, ‘අප මැවීමේ ස්වාමීවරුන්ය, අපට ඕනෑම දෙයක් කල හැකිය, මුළුමහත් ලෝකයම අපට අයිතිය’ යනාදී ශිෂ්ටාචාරයේ සුසමාදර්ශයන් වල දුමාරය අපේ ඇස් පනාපිටම විසිරී යයි. නව කාලයක් ළංවේ.


ඔල්ගා තොකාර්චුක්

ඉංග්‍රීසි පරිවර්තනය – ජෙනිෆර් ක්‍රොෆ්ට්
සිංහල පරිවර්තනය – රශ්මික මණ්ඩාවල
(2020 අප්‍රේල් 08 වෙනිදා ‘ද නිව්යෝකර්’ සඟරාවේ පළවූ ලිපියකි)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button