ශ්‍රී ලංකාව

කොවිඩ් අවධානමට මුහුණ දීම සඳහා ඇඳන් 2000 ක නව ප්‍රතිකාර මධ්‍යස්ථානයක්

පවතින කොවිඩ් අවධානමට මුහුණ දීම සඳහා ඇදන් 2000 කින් සමන්විත කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ගම්පහ වැරැල්ලවත්ත ප්‍රදේශයේ දී ස්ථාපනය කෙරේ. දැනට වසා දමා ඇති ඇගළුම් කර්මාන්තශාලාවක් මේ සඳහා ලබා ගැනීමට අපේක්ෂිතයි.

මීට අමතරව කටුනායක සහ මීරිගම ප්‍රදේශ වල වසා දමා ඇති කර්මාන්තශාලා 02 ක ගොඩනැගිලි ද ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා ලබා ගැනීමට තීරණය කර තිබේ.

සංචාරක ඇමති ප්‍රසන්න රණතුංගගේ ප්‍රධානත්වයෙන් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පවතින කොරෝනා තත්ත්වය පාලනය කිරීම සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පැවති රැස්වීමක දී මෙම තීරණයට එළඹිණ.

ඊයේ දිනය තුළ පමණක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොරෝනා රොගීන් 234 දෙනෙකු හදුනාගෙන ඇතැයි මෙහි දී අනාවරණය විය. මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කයෙන් මෙතෙක් හදුනාගෙන ඇති කොරෝනා රෝගීන් සංඛ්‍යාව 20,029 කි. එය මෙරට සමස්ථ කොවිඩ් අසාදිත සංඛ්‍යාවෙන් පහෙන් එකක් බව ගම්පහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා සඳහන් කළේය. ඔහු පෙන්වා දුන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ ජනගහණයෙන් 248,387 දෙනෙකු කොවිඩ් එන්නත ලබාගෙන ඇති බවයි. ඉදිරි දින කීපය තුළ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය සේවකයන්ට එම එන්නත දෙවන මාත්‍රාව ලබාදෙන බව ද ඔහු සදහන් කළේය.

වර්ධනය වෙමින් පවතින කොවිඩ් තත්ත්වයට මුහුණ දීම සඳහා ප්‍රතිකාර මධ්‍යස්ථාන කීපයක් දිස්ත්‍රික්කය තුළ පිහිටුවීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා වැරැල්ලවත්ත, මීරිගම හා කටුනායක වසා දමා ඇති කර්මාන්තශාලා තුනක් මේ සඳහා හඳුනාගෙන ඇතැයි කීවේය.

ඒ සඳහා මැදිහත්ව එම කර්මාන්තශාලා තාවකාලික කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස ලබාදීමට කටයුතු කරන ලෙස ද ඔහු ඇමති ප්‍රසන්න රණතුංග මහතාගෙන් ඉල්ලා සිටියේය. වහා ක්‍රියාත්මක වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා ඒ මොහොතේම දුරකථනය ඔස්සේ ආයෝජන මණ්ඩල ප්‍රධානීන් සමග සාකච්ඡා කොට අදාළ කර්මාන්තශාලා කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස ලබාදීම සඳහා අවශ්‍ය පියවර ගත්තේය. යෝජිත වැරැල්ලවත්ත කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය ස්ථාපනය කිරීම සඳහා නාවික හමුදාව දැනටමත් සිය සහාය පළ කර ඇතැයි ද මෙහි දී අනාවරණය විය.


පුවත් මූලාශය – රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button