විශේෂාංග

විශාලාවෙන් ඇමතුමක්

පසුගිය සති කිහිපය පුරාම මටත් මගේ බිරිදටත් නොයෙකුත් දෙනාගෙන් දුරකථන සහ අන් සන්නිවේදන මාධ්‍ය ඔස්සේ ලංකාවේ සහ අන් රටවල සිටින ඥාතීන්ගෙන් සහ මිතුරු මිතුරියන්ගෙන් ඇමතුම් ගණනාවක් ලැබුණි. ඒ, නව දිල්යේ මෙන්ම ඉන්දියාවේ අන් බොහෝ තැන්වල ද මේවන විට ඛේදනීය ලෙස දිගහැරෙමින් පවතින කොරෝනා ඛේදාන්තය පිළිබදව තොරතුරු ඔවුන් රූපවාහිනී නාලිකා ඔස්සේ සහ සමාජ මාධ්‍යය ඔස්සේ දැක, එමගින් චකිතයට පත්ව තිබුන නිසාය. එයින් ඇතැමුන්, විශේෂයෙන් වඩාත් වැඩිමහලු පුද්ගලයින්, සංකේතාත්මකව දිල්ලිය හැඳින්වූයේ ‘විශාලා මහනුවර වගේ’ කියාය. රූපවාහිනී සහ අන්තර්ජාල පුවත් ඔස්සේ ඔවුන්ව බෙහෙවින් කම්පනයට පත්කළ දර්ශන වූයේ, අදාහන ස්ථානවල නොනවත්වා ගිනිමැලවල මළවුන් ආදාහනය කරන ආකාරය සහ එවායේ දුමාරය අහසට නැගයන අයුරුයි. එය ඔවුන්ගේ මතකයට නැංවූයේත්, මාධ්‍ය මගින් ගොඩනැගුවේත් බනපොතින් හොදින් අසා ඇති, එමෙන්ම කුඩා කළ සිට අප බොහේ දෙනා පරිකල්පනය කර ඇති, බුද්ධකාලීන භාරතයේ විශාලා මහනුවර සිදුවූයේ යැයි කියන මහා දුර්භික්ෂයේ කතාවයි.

ඔවුනට ඇහුම්කන් දෙන විට මෙන්ම ලංකාවේ මාධ්‍යය සහ සමාජ මාධ්‍යය යම්දුරකට පරිශීලනය කරන විට මට බොහෝ විට පෙනී ගියේ, ඉන්දියාවේ තත්ත්වය මෙන්ම එමගින් ලංකාවට අදාළ කරගතයුතු දේ නිසියාකාරව බොහෝ දෙනෙකු තේරුම් නොගන්නා බවකි. මෙය දේශපාලන නායකයින්, නෑහිතවතුන් මෙන්ම අන් බොහෝ රටවැසියන් සම්බන්ධයෙන් ද එක ලෙසම විෂද වන බවයි මට පෙනුනේ.

මේ අවාසනාවන්ත, ඛේදනීය සහ කාලකන්නි කාලයේ දිල්ලියේ ජීවත්වන අයෙකු ලෙස මේ කාලය සහ එහි ආදීනව පිළබඳව කෙටියෙන් හෝ යමක් කිව යුතු යැයි මට සිතුනි. පැහැදිලිවම, දිල්ලියේ මෙන්ම සමස්ථයක් ලෙස මුළු මහත් ඉන්දියාවේ ම මේ වන විට සිදුවන්නේ, මීට පෙර මේ අකාරයෙන්ම කිසිදා සිදුනොවුන විනාශයකි. එනිසාම, ඊට අතීතයෙන් ලබාගතහැකි පාඩම් හෝ පූර්වාදර්ශ බෙහෙවින් අවමය.

ඉන්දියාවේ විශාලත්වය සහ එහි ජනගහනය පිළිබඳව සලකා බලන විට, කොරෝනා රෝගයට ගොදුරු වන්නේත්, ආරෝග්‍යශාලා වෙත යොමුවන්නේත්, ඒවායේ නේවාසිකව ප්‍රතිකාර ලබන්නේත්, අවසනදී මියගොස් විශාලා මහනුවර පිළබඳ ප්‍රතිරූප අප රටේ බොහෝ දෙනාගේ පරිකල්පනීය පරිභෝජනය සඳහා සම්පාදනය කර දෙන්නේත්, සංඛ්‍යානමය වශයෙන් සුළු ප්‍රතිශතයකි. මෙය එක් යථාවකි.

එනමුත් මේ ගැටලුව දෙස සරල සංඛ්‍යානමය ආකෘති ඔස්සේ පමණක් බැලීම අතිශයින් ගැටළුකාරී හා මුග්ද ප්‍රවේශයකි. මෙලස අසාදිත සහ මියයන ඊනියා අඩු ප්‍රතිශතය හුදු සංඛ්‍යානමය අගයක් නොව, සැබෑ මිනිසුන්ය. ඉන්දියාවේ සමස්ථ සෞඛ්‍ය පද්ධතිය සහ ඒ හා සම්බන්ධ අත්‍යාවශ්‍ය සේවා හා සම්පත් සැපයුම් මේ වන විට බොහෝ දුරට කඩාවැටී ඇත්තේ, මේ ඊනියා අඩු ප්‍රතිශතයේ බරෙනි. මෙය මීට වඩා වර්ධනය වුවහොත් ඉන්දියාවට පමණක් නොව, දකුණු ආසියානු කලාපයට සහ සමස්ථ ලොවට කෙසේ බලපානු ඇත්ද යන්න සිතාගැනීම ද අපහසුය. මේ වන විට මා හොදින් දන්නා හඳුනන සහ ඇසුරු කර ඇති බොහෝ දෙනා ආසාධිත වී හමාරය. නැතහොත්, මිය ගොසිනි. එසේත් නැතිනම්, ඔක්සිජන් සිලින්ඩරයක් හෝ ආරෝග්‍යශාලා ඇඳක් සොයන්නට සතර වටේ කරක් ගසා, එක්කෝ එය සොයාගෙන දැනට තම ජීවිත බෙරාගැනීමේ සටනේ මුල් අදියරට ප්‍රවිෂ්ට වී සිටිති. නැතහොත්, ඒ අවශ්‍යතා සපුරාගන්නට නොහැකි නිසාම මහ මග හෝ තම නිවසේම මිය ගොසිනි. මේ කිසිවෙකු හෝ කිසි ලෙසකින් මේ මොහොතේ මියයාමට කිසිම හේතුවක් නොතිබුණි. මා වඩාත් කම්පාවට පත්කරන්නේ, මේ බොහෝ දෙනා සඳහා කිසිවක් කිරීමට මට බලයක් හෝ හැකියාවක් නොමැති බව ඒත්තු යන විටය.

මේ සියල්ලම සිදු වී ඇත්තේ, අප සාමාන්‍යයෙන් නොසිතන තවත් සන්දර්භයක් තුළය. එනම්, මේ වන විට ඉන්දියාව තුළ ගැටලුකාරී ලෙස අරෝග්‍යශාලා සඳහා අවැසි ඔක්සිජන් සැපයුමේ අඩුවක් තිබුන ද ඉන්දියාව සමස්ථ ලොව සඳහාම ඔක්සිජන් නිෂ්පාදනය කරන ප්‍රධාන රටවලින් එකක් බව සිහියට ගන්නා විටය. එමෙන්ම, රෝගියෙකුට ඇදක් සොයාගැනීම දැන් බෙහෙවින් අපහසු වී ඇතත්, ඉන්දියාව අතිවිශාල ආරෝග්‍යශාලා පද්ධතියකට හිම්කම් ඇති රටකි. 2021 අප්‍රේල් මාසයේ අවසන් සතිය වන විට, කෝවිඩ් සඳහා ඉන්දියාව පුරාම එන්නත් සැපයුම අඩාලවී තිබුන ද එය ලොව ප්‍රධානතම එන්නත් නිෂ්පාදනය කරන රටය.

මේ සියල්ල මෙසේ සිදුව ඇත්තේ, කුමක් නිසාද? මට පෙනෙන ආකාරයට, මෙයට ඉන්දියාවේ මධ්‍යම ආණ්ඩුව මෙන්ම ප්‍රාන්ත ආණ්ඩු බොහෝමයක් සහ ප්‍රධාන දේශපාලන පක්ෂ සහ සාමාන්‍ය ජනතාව ද එක ලෙසම වගකිව යුතුය. මීට මාස දෙකකට පමණ පෙර, කොරෝනා සමග එතෙක් කළ සටන ඉන්දියාව සැලකිය යුතු දුරකට ජයගෙන තිබුණි. නමුත් එය පැහැදිලිවම සමතයකට පත්කරගැනීමට පෙර සහ අනාගතය සඳහා අවශ්‍ය සැලසුම් හා සම්පත් නිසියාකාරව සපයාගන්නට පෙර, ඉන්දීය රජය සිය ජයග්‍රහණය ප්‍රකාශ කර, එතෙක් ක්‍රියාත්මක වූ බොහෝ කොරෝනා පාලන විධි නවතා දමන ලදී. සාමාන්‍ය ජනයා ද තමන්ට පහසුවෙන් පිළිපැදිය හැකි ආරක්ෂණ විධික්‍රම වූ මුඛාවරණ පැළදීම හා සනීපාරක්ෂන පුරුදු අත්හරින ලදී. මේ සමගම, බටහිර බෙංගාලය ද ඇතුළුව ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයකම මැතිවරණ සංවිධානය කළ නිසා, සියලුම පක්‍ෂ ඒ සඳහා සුදානම් වූයේ, අතිවිශාල දේශපාලන රැලි සහ එවන් අන් දේශපාලන ක්‍රියාකාරකම් සහ උත්සව සංවිධානය කරමිනි. පාලක භාරතීය ජනතා පක්ෂය ද ඇතුළුව කිසිදු දේශපාලන පක්ෂයක් මේ මැතිවරණ කල්දමන ලෙස මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කළේ නැත. එමෙන්ම, ජනගහනය ඒකරාශී වීම අවම කිරීම සඳහා පක්ෂ දේශපාලන ක්‍රියාවලිය තුළ කිසිදු උපක්‍රමයක් යොදාගත් බවක් නොපෙනුණි.

සැබවින්ම, කෝවිඩ් මරණ සංඛ්‍යාව ඉහල යමින් සහ ආදාහන ස්ථානවල මලවුන් දරසෑය මත නිරතුරුවම ගිනිගනිද්දී, අගමැති නරේන්ද්‍ර මෝදී මහතා සහ භාරතීය ජනතා පක්ෂයේ අමිත් ශා මහතා බටහිර බෙංගාලයේ විශාල දේශපාලන රැලි අමතමින් සිටියහ. නිසැකව ම, මේ දේශපාලන ක්‍රියාවලිය කොරෝනා රට පුරා පැතිරීමේ ප්‍රධාන ගාමක බලවේගයක් වූ බව පැහදිලිය. නමුත් මේ සියලු දේශපාලන ක්‍රියාකාරකම් සඳහා මහජනයා සහභාගී වූයේ, තම වුවමනාවට මිස, කිසිදු භාහිර බලපෑමකින් තොරවය. ඒද, කිසිදු ආරක්ෂණ පියවරක් අනුගමනය නොකරමිනි.

බටහිර බෙංගාලයේ මැතිවරණ රැළියක්

මීට අමතරව, ‘කුම්භ් මේලා’ ලෙස හැඳින්වෙන උත්තරාකන්ද් ප්‍රාන්තයේ හරිද්වාර් යන පූජා නගරය කේන්ද්‍රකරගනිමින් පවත්වන හින්දු ආගමික උත්සවයට ලක්ෂ ගණනක් බැතිමතුන් සහභාගී වූයේත්, දින ගණනාවක් අවට ප්‍රදේශවල රැදී සිටිමින්, විශාල කණ්ඩායම් ලෙස ගංගා නදියේ දිය ස්නානය කළේත්, මොනම ආරක්ෂණ විධික්‍රමයක් හෝ සැලකිල්ලට නොගෙනය.

ඒ, එසේ සැලකිල්ලට ගන්නා ලෙස මධ්‍යම ආණ්ඩුව සහ උත්තරාකන්ද් ප්‍රාන්ත ආණ්ඩු විසින් ඉල්ලීම් කර තිබියදීය. නමුත්, එවන් විධික්‍රම මේසා විශාල ජනගහනයක් සම්බන්ධයෙන් ක්‍රියාත්මක කිරීම බෙහෙවින් අපහසුය. මේ සියල්ල සිදුවූයේ දැනට ප්‍රචලිත වී ඇති කොරෝනා රැල්ල රට තුළ ව්‍යාප්තවෙමින් තිබෙන බව මැනවින් දන්නා තත්ත්වයක් තුළය. එනමුත්, මධ්‍යම ආණ්ඩුව හෝ උත්තරාකන්ද් ප්‍රාන්ත ආණ්ඩුව හෝ මේ උත්සවය සීමාකිරීමට හෝ නවතා දැමීමට කිසිදු උත්සාහයක් නොගත්තේය. එනමුත් එසේ වූයේ දිල්ලියේ ප්‍රසිද්ධ මුස්ලිම් දේවස්ථානයක ආගමික කටයුතු සඳහා දිනපතා සහභාගීවන බැතිමතුන් සංඛාව කොරෝනා තත්ත්වය මත සීමාකරන ලෙස ඉල්ලමින්, මධ්‍යම ආණ්ඩුව නඩුමගට බැස සිටි අවස්ථාවකය. උසාවිය විසින් එම ඉල්ලීමට ඇහුම්කම් නොදුන්නේ, එක් ආගමකට පමණක් එවන් සීමා පැමිණවීම සාධාරණ නොවන බව පවසමිනි.

හරිද්වාරයේ කුම්බ් මේලාව

මෙනයින් බලන කළ, ඉන්දියාවේ දැනට පවතින කොරෝනා ව්‍යසනය මධ්‍යම රජයේ, ප්‍රාන්ත ආණ්ඩුවල, දේශපාලන පක්ෂවල සහ සාමාන්‍ය ජනයාගේ සාමුහික හා ඒකාබද්ධ නිර්මාණයක් බව පැහැදිලි විය යුතුය.

මා මේ තත්ත්වය මෙලෙසින් විස්තර කළේ, ඉන්දියාව විශාලා මහනුවර ලෙස දකිමින්, අවංකව දුක්වෙන, එනමුත් තමන් සිටින තත්ත්වය නිසිලෙස නොදකින මගේ ඥාතීන්ට, හිතමිතුරන්ට සහ අන් රටවැසියන්ට යමක් කීම සඳහාය. ඉන්දියාවේ වර්තමාන තත්ත්වය මෙලෙසින් සිදුවෙමින් තිබෙන්නේ, දේශපාලන නායකත්වයේ දුර්වලතා නිසා මෙන්ම මහජනතාවගේ ද නොසැලකිලිමත් කම නිසාය.

ඉන්දියාවේ සිදු වූ වැරදි අප ද නොකරන්නේද? අලුත් අවුරුද්දට අලුත් රෙදි ගන්නට මහා මුදලක් වැයකරමින් පමුණුව ප්‍රදේශයට සහ දිවයිනේ නොයෙක් තැන්වල ඇති රෙදි සාප්පුවලට රටවැසියන් ලක්ෂ ගණනින් රොක් වූයේ, වසර ගණනාවක් නිර්වස්ත්‍රව සිටි පිරිසක් පිනට ලැබුණු රෙදි දීමනාවකින් සිය දොලදුක සපුරාගන්නට උත්සාහ ගන්නා ලෙසිනි . මෙහිදී සැබවින්ම සිදුවූයේ, මුදලට ගත් රෙදිපිළි සහිතව ඔවුන් බොහෝ දෙනා නැවත තම නිවෙස් වෙත ගියේ, පිනට ලැබුන කොරෝනාව ද අදිසි ලෙස සිය කරපින්නාගෙන, රෙදිත් සමග එය ද තම නෑ-හිතමිතුරන් සමග බෙදා ගන්නටය.

පමුණුවේ රෙදි සොයමින්….

අවුරුදු කාලයේ මෙන්ම දීර්ඝ නිවාඩු අවස්තාවලදී අනුරාධපුරය හා කතරගම යන පූජා නගර වෙත දහස් ගණනින් ජනයා රොක් වූයේ, ඉන්දියානු බැතිමතුන් හරිද්වාරයට රොක්වූ ලෙසමය. එසේනම්, එහි ආදීනව ද එලෙසම විය යුතුය.

මේ සියල්ලම සංචරණ සීමා පැනවීමෙන් මැනැවින් පාලනය කිරීමට රජයට හැකියාව තිබුන ද එසේ නොකළ බව පැහැදිලිය. නමුත් මෙය රජයේ වගකීමක් පමණක් නොවේ. කතරගම හා අනුරාධපුර වැනි බලසම්පන්න පූජා නගරවල පිහිටි පූජනීය ස්ථානවල අධිපතීන්ට තම ආගමික ස්ථාන වෙත නොඑන ලෙස බැතිමතුන්ට ආයාචනය කර, ඒ වෙනුවට අවශ්‍ය වතාවත් රුපවාහිනී සහ සමාජ මාධ්‍ය ඔස්සේ විකාශනය කරන්නට හැකියාව තිබුණි. එලෙසම, බැතිමතුන්ට අවශ්‍ය පූජා භාණ්ඩ හා පඩුරු ආදිය පුදදීම සඳහා බැංකු ගිණුමකට මුදල් බැරකර, අවශ්‍ය කටයුත්ත ආගමික ස්ථානය මගින් සිදුකර, එය කළ බව අදාළ පුද්ගලයින්ට දැන්වීම ඉතාමත් පහසුවෙන් කළ හැකි දෙයකි. තවද, එලෙස රැස්කරන ධනයෙන් ආගමික ස්ථාන නඩත්මෙතු කිරීම මෙන්ම බැතිමතුන්ගේ නොපැමිණීමෙන් තම ආර්ථික තත්ත්වයනට නිශේධනීය බලපෑම් එල්ලවෙන අවට ජීවත්ජවෙන ජනතාවට කෙටිකාලීන ආරක්ෂණයක් සම්පාදනය කිරීම ද කළහැකිව තිබුණි. එනමුත්, මේ කිසිවකට නායකත්වය රජයෙන් හෝ අදාළ ආගමික සංවිධානවලින් හෝ නොලැබුනි. ඒ වෙනුවට සිදුවූයේ, කොරෝනාව ද සමගින් ජනයා ඉවක් බවක් නැතිව රටපුරා කරක් ගැසීම සහ දේශපාලන නායකයින් මූලික වශයෙන් මුනිවත රැකීමය.

මා මීට දින කිහිපයකට පෙර දුටුවේ, ඉදිරියේදී මතුවිය හැකි කොරෝනා රෝගීන් ට ඇඳන් අවශ්‍ය නම්, ඒවා දහස් ගණනින් සැපයීමට යුද හමුදාව සුදානම් බව හමුදාපතිතුමා පවසා තිබුන බවයි. නමුත් කොරෝනාව හුදු ඇඳන් පිළබඳ ප්‍රශනයක් පමණක් නොවේ. කොරෝන මර්ධනය සම්බන්ධයෙන් යුද හුමුදාවේ හා අන් ආරක්ෂක සේවාවල කාර්යභාරය අගය අරන අතරම අප ඇසිය යුත්තේ, ඇඳන් සම්පාදනයට අමතරව, අඩුවීගෙන යන ඔක්සිජන් සම්පාදනය, ශ්වසන යන්ත්‍රෝපකරණ සම්පාදනය, බෙහෙත් හා එන්නත් සම්පාදනය ද හමුදාවට හෝ රජයට කළහැකි ද කියාය. මා මෙසේ කියන්නේ, අතිවිශාල තාක්ෂණික හා කාර්මික හැකියාවක් තිබියදී ද මෙවන් කටයුතු සූක්ෂමව කිරීමට ඉන්දියාව ද අසමත් වී ඇති බව ඉතාමත් පැහැදිලව දකින විටය. මා මෙසේ අසන්නේ, මුල් වටයේ එන්නත්කරණ වැඩසටහන, පැහැදිලි සැලසුමක් තිබියදීම සහ අගනා අතීත අත්දැකීම් තිබියදීම අනවශ්‍ය දේශපාලන මැදිහත්වීම් නිසා ව්‍යාකුල වූ බව අප සියලු දෙනාම දන්නා නිසාය. ම මෙසේ අසන්නේ, පළමු කොරෝනා එන්නත නීත්‍යානුකූලව හෝ දේශපාලන බලපෑම් තුළින් ලබාගත්ත්වුන්ට දැන් දෙවන එන්නත ලැබේද, නැද්ද යන්න පිළබඳව මේ වන විට අපැහැදිලි තත්ත්වයක් ගොඩනැගී ඇති අවස්ථාවකය.

තවත් එක කරුණක් පමණක් මේ සටහන තුළින් ඉදිරිපත් කරන්නට මා කැමැත්තෙමි. මා ජීවත්වෙන දිල්ලි ප්‍රදේශයේ හා ඉන්දියාවේ එකම යතාර්ථය රූපවාහිනී නාලිකා මගින් ගෙනෙන විශාලා කතිකාව පමනක් නොවේ. මා මෙන් අන් බොහෝ දෙනාට ද තවමත් ඍජු කොරෝනා අවධානමක් නැත්තේ, අප හැකි සියලුම ආරක්ෂණ උපක්‍රම සැමවිටම භාවිත කරන නිසාත්, අත්‍යාවශ්‍ය භාන්ඩ හා සේවා තවමත් නොකඩවා ක්‍රියාත්මක වන නිසාත්ය. මේවා මෙසේ සිදුවන්නේ, අපට වඩා කොරෝනාවට විවර වෙමින් මෙම සේවා සපයන්නට බොහෝ දෙනා වෙහෙසෙන නිසාය. ‘Working from home,’ නැතිනම් ‘නිවසේ සිට වැඩකිරීම’ වැනි වාසනාවන්ත අවස්ථා ඔවුන්ට නැත. එනමුත්, මේ තත්ත්වය කුමන අවස්තාවක බිඳවැටී, දැනට පවතින තත්ත්වයට වඩා විනාශයක් කුමන මොහොතක අප මත පතිත වේ ද යන්න පිළබඳ අනාවැකි පලකළ නොහැක. මේ අදුරු යුගයේ මෙවන් අනේකවිද යථාවන් එක්වරම, එකම මොහොතක පැවතීම මා දකින්නේ, ඒකීය කාලරාමුවක් තුළ පවතින විකල්ප යථාවන් වශයෙනි (alternate realities in simultaneous time).

දිල්ලියේ මා අවට පවතින තත්ත්වය පිළබඳව හා ලංකාවේ මට පෙනෙන දේ මෙලෙසින් සටහන් කළේ, ලංකාවේ තත්ත්වය නිසි ලෙස තේරුම් නොගෙන, ඉන්දියාවේ තත්ත්වයෙන් අප පාඩම් ඉගෙන නොගත්තොත්, විශාලා මහනුවර ඉදිරියේදී දකින්නට වෙන්නේ රූපවාහිනියෙන් නොව, අපගේම වීදිවල හා ගම් නියම්ගම්වල බව මට සිතුන නිසාය.


මහාචාර්ය සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button